වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ශෂී 1938-2017

ශෂී 1938-2017

සිනමාව කෙරෙහි අප්‍රමාණ ආදරයකින් යෙදෙන්නට මා පොලඹවා ලූ චිත්‍රපට ත්‍රිත්වයක් වෙයි. එයින් තුන් වැන්න මට වඩාත්ම බලපෑම් කරන ලද්දේ මේ අපූරු විෂයයෙහි වූ භාෂාව කෙතරම් රමණීයදැයි මුල් වරට මට වටහා දුන් නිසාවෙන්ය. නිකම්ම සිනමාලෝලියකු වනවාට වඩා එහි වසඟ කරවන්නාවූ බසක් ඇතැයි මට මුලින්ම වැටහුණේ එකී සිනමා නිර්මාණය සමගය. ඒ අපර්ණා සෙන් අධ්‍යක්ෂණය කරන ලද 36 චෞරන්ගී ලේන් චිත්‍රපටය සමගය.පිටු ගණනක් වචන දහස් ගණනක් නාස්ති නොකර එක රූප රාමුවකින් සියල්ල විස්තර කළ හැකි මහ බලයක් සිනමාවට ඇතැයි මා මුල් වරට වටහා ගත්තේ එය නරඹද්දීය. ජීවිතයේ සතුට ද සොම්නස් ද පාළුව ද තනිකම ද සියල්ල ආලෝකය සහ අඳුර අතර ඇති කරන රූප රාමු අපට දැනෙන්නට සලස් වන වග එදින මම වටහා ගතිමි.අද මෙන් ලොව හැදෙන ඕනෑම චිත්‍රපටයක් හිතන පරක්කුවෙන් සොයා ගන්නට නොහැකි එකල මේ චිත්‍රපටය මට මහත් ආහ්වාදයක් ගෙන දුන්නේය. 1985 වසරේ පමණ කොළඹ රීගල් සිනමාහලේ පැවැත් වූ ඉන්දියානු සිනමා උලෙළක දී නරඹන්නට යෙදුණ එම චිත්‍රපටය අපර්ණා ගේ මුල්ම නිර්මාණය විය.

එය නිපද වන ලද්දේ ඒ වන විට හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙකි.ඔහු ට රඟපාන්නට ලැබුණ බොහෝ චිත්‍රපටද සමකාලින සෙසු නළුවන්ට ලැබුණ වර්ගයේ ආදරවන්තයන්ගේ කතන්දරය. ඔහු සිනමාවේ හොඳ ආදරවන්තයෙක් විය.එහෙත් ඔහු නිපදවූයේ විශිෂ්ට ඝණයේ චිත්‍රපටයන්ය.මේ පසුගිය සඳුදා එනම් දෙසැම්බර් 4 වැනි දින පස්වරුවේ මුම්බායි නගරයේ සුප්‍රකට කෝකිලාබෙන් රෝහලේ දී ජිවිතය අවසන් කළ ශෂී කපූර් ගේ කතාවයි. අද වන විට ස්ටීවන් ස්පීල්බර්ග් ගේ ඩ්‍රීම් වර්ක්ස් සමාගම ඇතුළු හොලිවුඩ් හා බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනයේ දැවැන්තයකුව සිටින අනිල් අම්බානිට අයත් කෝකිලාබෙන් (අනිල් ගේ මවගේ නමයි) රෝහලේ ශෂී දිවි හමාර කළ ද එයට දශක ගණනාවකට පෙර හොලිවුඩ් ඇතුළු ජාත්‍යන්තර සිනමාවේ වඩාත්ම නමක් දිනූ ඉන්දියානු නළුවා වූයේ ශෂී කපූර්ය. ඒ කාලයේ බොම්බායේ හින්දි සිනමාවක් විනා බොලිවුඩ් හංවඩුවක් නොවිණ.

සැබැවින්ම ශෂී කපූර්ගේ විශිෂ්ට රංගනයන් ඇතුළත් ව තිබුනේ ඔහු අතිශය ජනාදරයට පත් කළ ජබ් ජබ් පූල් කිලේ, සත්‍යම් ශිවම් සුන්දරම්, ශර්මිලි, වක්ත්, ප්‍යාර් කා මෝසම්, චෝර් මචායේ ෂෝර් වැනි චිත්‍රපටයන් ගේ නොවේ. ජේම්ස් අයිවරි වැනි අධ්‍යක්ෂවරුන් යටතේ රඟපෑ ශේක්ෂ්පියර් වාල්ලා, ද බොම්බේ ටෝකිස්, ද හවුස් හෝල්ඩර්, හීට් ඇන්ඩ් ඩස්ට්, ඉන් කස්ටඩි, කොන්රඩ් රූක්ස් ගේ සිද්ධාර්ථ, ස්ටීවන් ෆියර්ස් ගේ සැමී ඇන්ඩ් රෝස් ගෙට් ලේඩ් වැනි සිනමා කෘතින්වලය.

ඔහු 2015 වසරේ දී ඉන්දියානු කලාකරුවකු ලබන ඉහලම සම්මානය වන පද්ම භූෂණ සම්මානය ලබනුයේ විශිෂ්ට සිනමා කලා කෘති සඳහා කළ දායකත්වයටය.ඉන්දියානු සිනමාවේ පිදෙන ඉහළම සම්මානය වන දාදා සහේබ් පාල්කේ සම්මානය ඔහු දිනා ගත්තේ එකී සම්මානයට උරුම කම් කියන කපූර් පවුලේ තුන්වැන්නා හැටියටය.ඔහුට පෙර තාත්තා ප්‍රිත්විරාජ් ද අය්යා රාජ් ද එම සම්මානයට හිමිකම් කියා තිබිණ.

ශෂී නිපද වන චිත්‍රපට සෙසු බොලිවුඩ් සිනමාකරුවන් නිපද වූ චිත්‍රපට වර්ගයේ චිත්‍රපට නොවේ.තමා විසින් ගොඩ නගා ගත් ෆිල්ම් වාලාස් සමාගමෙන් ශ්‍යාම් බෙනෙගාල්ගේ ජුනූන්,කලියුග්,ගොවින්ද් නිහලානිගේ විජේතා,ගිරිෂ් කර්නාඩ් ගේ උත්සව් ද නිෂ්පාදන විය.උත්සව් චිත්‍රපටය සඳහා පාදක වනුයේ සුප්‍රකට සංස්කෘත නාට්‍යයක් වන ශුද්‍රක ගේ ම්චකතිකා (මැටි කරත්තය)යි.ඔහු එහි රඟපෑවේ සම්සතනික් නම් රජුගේ චරිතයයි. තම නිෂ්පාදන අතර ඔහු රංගනයෙන් දායක නොවූයේ 36 චෞරංගී ලේන් චිත්‍රපටයේ පමණී.එහි ප්‍රධාන චරිතය රඟපෑවේ භාර්යාව වන ජෙනිෆර් කැන්ඩෝල්ය.

තම නිෂ්පාදන හරහා චරිතාංග නිරූපනය විනා පොරක් වීමට ඔහු උත්සාහ කළ වගක් පළ නොවීම විශේෂ ලකුණකි.එය තවත් සනාථ වනුයේ සිය කීර්තිමත් පියනන් මෙන්ම කපූර් සිනමා රංගන මහා පරම්පරාවේ ආදිතමයා වන ප්‍රිත්විරාජ් කපූර් ගෙන් පසු අභාවයට යා හැකිව තිබුණු ප්‍රිත්වි තියටර් නාට්‍ය ආයතනය යළි පණ ගැන්වීමට ඔහු කළ කැපවීමය. එමෙන්ම ඔහු සිය චිත්‍රපට අධ්‍යක්ෂණය පැවරුවේ එම සමයේ ඉන්දියානු ජනප්‍රිය රැල්ලෙන් මිදී නව සිනමාවක් සඳහා දායක වන පරම්පරාවක සිනමාකරුවන් ටය.

ශෂී කපූර් උපත ලබනුයේ 1938 මාර්තු 19 වැනි දිනය.ඒ එවකට කල්කටා නගරයේය.ඒ සුප්‍රකට රංගවේදි ප්‍රිත්විරාජ් කපූර්ගේ හා භාර්යා රම්සරන් ගේ දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලේ බාල පුත්‍රයා හැටියටය.ඉන්දියානු සිනමාවේ බිහි කළ විශිෂ්ටයකු වන රාජ් කපූර් ලොකු අය්යා ශෂී ටවඩා වසර 16කින් වැඩිමහල්ය.අතිශය ජනප්‍රිය දෙවැනි සොහොයුරු ශම්මි වසර 6කින් වැඩිමහල්ය.සොයුරු රාජ් ආග් සහ අවාරා වැනි ඔහුගේ මුල්ම චිත්‍රපට නිර්මාණය කරද්දී එහි රාජ් ගේ බාල විය නිරූපණය කළේ ශෂී ය.

ශෂීගේ උප්පත්ති නාමය බල්බීර් ප්‍රිත්විරාජ් ය.ඔහු සිනමාවට එක්වනුයේ ශෂී නමිනි. සොයුරු රාජ් කපූර් ට මෙන්ම එවකට සිනමා ලොව දැවැන්ත රංගන ශිල්පියකු වන අශෝක් කුමාර් ගේ ද චිත්‍රපට සඳහා (සංග්‍රාම) ළමා විය නිරූපණය කළේ ශෂිය.යොවුන් වියට පිවිසෙන ශෂී රවීන්ද්‍ර දේව් අධ්‍යක්ෂණය කළ පෝස්ට් බොක්ස් 909,ගෙස්ට් හවුස් වැනි චිත්‍රපට සඳහා සහාය අධ්‍යක්ෂණයෙන් දායක විය.ශෂී සුපිරි නළුවකු වන්නට අත් පොත් තබනුයේ ධර්මපුත්‍ර චිත්‍රපටය හරහාය.ඒ 1960 වසරයි.

එය සුප්‍රකට සිනමාකරු යාශ් චොප්රා ගේ දෙවැනි චිත්‍රපටයයි.එයින් පසු ඔහු චිත්‍රපට 161 කට රංගනයෙන් දායක වූ අතර එයින් 68 කම ප්‍රධාන නළුවා විය.මුල් යුගයේ චිත්‍රපට 8කම ප්‍රධාන නිළිය වූයේ නන්දාය.නන්දා හා ඔහු එකිනෙකාට බෙහෙවින් ගෞරව කළහ.පසු කලක රාඛි,පර්වින් බාබි,සීනත් අමාන්,හේමා මාලිනි,ආශා පරේක් වැනි නිළියන් රැසක් සමග රඟපෑව ද තමා ගේ සිනමාවේ හොඳම සහකාරිය වූයේ නන්දා බැව් ශෂී වරක් පැවසීය.නන්දා ද එය සැබෑවක් ලෙස පිළිතුරු දී සිටියාය.

ශෂීගේ භාර්යාව වූයේ ජෙනිෆර් කැන්ඩෝල්ය. ඇය බ්‍රිතාන්‍ය ජාතික ශේක්ෂ්පියර් නළුවකු වන ජෙෆ්රි කැන්ඩෝල් ගේ දියනියකි. ඇය ගේ පියා ගේ නාට්‍ය කණ්ඩායම කලක් ඉන්දියාවේ ශේක්ෂ්පියර් නාට්‍ය රඟ දැක්වූහ .ශෂි ට වඩා පස් වසරකින් වැඩිමහල් ජෙනිෆර් හා ආදර කතාව ලියලද්දී එයට උපකාර කළේ සොයුරු ශම්මි ගේ දයාබර භාර්යාව ව සිටි අකල් මරණයට පත් වූ ගීතා බාලි ය. විවාහ වන විට ශෂි විසි වයස් සම්පූර්ණ කළා පමණී.1984 දී පිළිකා රෝගයට ගොදුරුව ඇකල් මරණයකට පත් වන තුරු ඔවුහු ඉතා හොඳ විවාහ දිවියක් ගත කළහ.

ඔවුන් ඒ විවාහයෙන් කරන්, කුනාල්සංජනා යන දූපුතුන් ලදහ. චිත්‍රපට කිහිපයක පෙනී සිටිය ද දරුවන්ගේ ඉංග්‍රිසි පෙනුම ඉන්දියානු සිනමාවේ දොරගුළු ඔවුන්ට අහිමි කරන්නට හේතු විය.කරන් ඉන්දියානු වෙළඳ දැන්වීම් කෙෂ්ත්‍රයේ දැවැන්තයෙකි.ඔහුගේ ඇඩ්වාලාස් සමාගම ඉන්දියානු වෙළඳ දැන්වීම් කෙෂ්ත්‍රයේ ඉහළ පෙලේ ආයතනයකි. කුනාල් වෙසෙන්නේ එංගලන්තයේය.සංජානා උත්සව් වැනි චිත්‍රපට කිහිපයක චරිත නිරූපණය කළාය.මේ තිදෙනාම ප්‍රිත්වි තියටර් නාට්‍ය කණ්ඩායමේ භාරකරුවන්ය. එහි ඉදිරිය සඳහා විවිධ නාට්‍ය නිෂ්පාදනයෙන් ද රංගන වැඩ මුළු පැවැත්විමෙන් ද නාට්‍ය‍ය උත්සව සංවිධානයෙන් ද කැපවී කටයුතු කරති.ඒ අතින් ඔවුන් කපූර් පවුලේ සෙසු පරම්පරාවේ සාමාජිකයන්ට වඩා වෙනස්ය.

ශෂී හොඳම නළුවා ලෙස ඉන්දියානු ජාතික සම්මානය දිනා ගත්තේ 1985 වසෙර්ය.ඒ රොමේශ් ෂර්මා අධ්‍යක්ෂණය කළ නිව් දිල්ලි ටයිම්ස් චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි.ඉන්දියානු දේශපාලන සහ මාධ්‍ය ලෝකයේ ඇතුල් පැත්ත නිරාවරණය කළ එහි විකාශ් පාණ්ඩේ නම් මාධ්‍යවේදියෙකුගේ චරිතය ශෂී කපූර් විසින් නිරූපණය කරන ලදී.කෙසේ වෙතත් මෙම චිත්‍රපටය ඉන්දියානු සිනමා සමාගම් ප්‍රදර්ශනය සහ ටෙලිවිෂන නාලිකා මගින් විකාශය සඳහා බාර ගත්තේ නැත.ඒ එය එතරම් කර්කශ අනාවරණයක් වූ නිසාය.(වර්තමානයේ එය යූ ටියුබ් ඔස්සේ නැරඹිය හැක)

ශෂී කපූර් සමග ඉන්දියානු සිනමාවේ එක් පරම්පරාවක තවත් පරිච්ඡේදයක් නිමා වෙයි.ඔවුන් ගේ සිනමාව ඉන්දියානු කලාපයට පමණක් තැනුණු එක් පරම්පරාවක ආදරය සදහටම දිනා ගත් පවුලේ චිත්‍රපට කතන්දර විය. ඒවා සකලාන්තයෙන්ම ඉන්දියානු විය.එකල ලොව පුරා සිනමා වෙළඳ පොළක් හින්දි සිනමාවට තිබුණේ නැත.එය බොලිවුඩ් අන්වර්ථ නාමයෙන් හැඳීන්වූයේ ද නැත. එම පරම්පරාවේ සිටි මිනිසුන් අතර සිනමාව උරුමයක් කොට ලැබුන ද එයට වඩා එකී කාර්යයට ගෞරව කළ මිනිසෙක් හැටියට ශෂී කපූර් ඉතිහාසයට එක් විය.

ඔහු 1984 වසරේ පමණ ලංකාවට පැමිණි අතර එවර සරසවිය සම්ග සංවාදයක ද යෙදිණ.ශෂී ඉතාමත් නිහතමානි මිනිසකු ලෙස ද පතළය. 1984 වසරේ ඔහු ලංකාවට පැමිණියේ සිය වැඩිමහලු සොයුරු රාජ් කපූර් ගේ වැඩිමහල් පුත් රන්ධීර් (ජනප්‍රිය නිළි කරීෂ්මා සහ කරීනා ගේ පියා) සහ බාල පුත් රජීව් සමගය.එවර සරසවිය සමග සංවාදය අතරතුර ප්‍රමාද වී පැමිණ හිස උදුම්මාගෙන සැරිසැරූ මේ දෙසොහොයුරන්ට සියල්ල ඉදිරියේ ශෂී බාප්පා බැණ වැදුණේ මිනිසුන් ඉදිරියේ නිහතමානිව හැසිරෙන්නයැයි උගන්වමිනි.