වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඇත්තටම ඒ ලෙවල් කට්ටියක්

ඇත්තටම ඒ ලෙවල් කට්ටියක්

රොහාන් පෙරේරාගේ නවතම නිර්මාණය

ඔවුන්ගේ ජීවිත තුළ ඇත්තේ එකම එක බලාපොරොත්තුවක් පමණි. ඒ අපොස උසස් පෙළ ඉහළින්ම සමත්වීමය. ඒ වෙනුවෙන් ඔවුහු බොහෝ කැප කිරීම් කරති. අනුත්තර, අශාන්, යොමාල් ඒ කණ්ඩායමය. අනුත්තර ඔවුන්ගේ නායකයාය. කෙටියෙන්ම කිවහොත් කණ්ඩායමේ බ්‍රයිටාය. මහත යොමාල් ඔවුන් අතරින් කෑම බීමේදී මුල්තැන ගනියි. කොච්චර කෑවත් බඩ නොපිරෙන ඔහුගේ බඩේ හිඟන්නකු ඇත්දැයි සැක සහිතය. අනුත්තරට සිටින්නේ මව පමණි. ඇයට අවශ්‍ය අනුත්තරව ඉගෙනීමෙන් ඉහළටම ගෙන ඒමටය. අනුත්තර ද මවගේ බලාපොරොත්තු ඉටු කිරීමට මහත් වූ උනන්දුවෙන් කටයුතු කරයි.

උසස් පෙළ පන්තියට අලුත් ශිෂ්‍යාවක් පැමිණෙයි. ඇය අහිංසාය. නමේ හැටියටම ඇය අවිහිංසකාවකි. අහිංසා කොළඹ ජීවත් වුව ද ගමේ පාසලට පැමිණීම ගැන ඇතැමෙකු සැක පළ කරති. කොළඹ පාසලකින් ඇයව නෙරපුවා යැයි සිතති. අනුත්තරගේ අවධානය අහිංසා වෙත යොමු වෙයි. ඇතැම් පිරිස් ඇයව කොන් කළ ද අනුත්තර එසේ නොකරයි. අහිංසා යම් කිසි දෙයක් හිතේ සඟවාගෙන සිටින වගක් පෙනෙයි. එනමුදු එය කුමක්දැයි කිසිවෙකුටත් නොකියයි.

අහිංසා නිතරම කොළඹ පැමිණෙයි. ඒ ඇගේ අක්කණ්ඩිය වූ පාරමීව බැලීමටය. පාරමීට සුරතල් දියණියක සිටියි. මේ දැරිය අහිංසාගේ මාමා දෙස බලන්නේ බියපත් වූ දෑසිනි. පවුලේ අයට මෙය යම් ප්‍රශ්නයක් වෙයි. කාට කොහොම කෙසේ වුව ද එතැන ඇති ගැටලුව ගැන අහිංසා හොඳින් දනියි. ඇය හිතේ සිර කරගෙන සිටින රහස වන්නේ ද එය වේ. මේ සියල්ල පෙරදැරිව අහිංසා සහ අනුත්තර තම පාසල් සමය සුන්දරව ගෙවති. එහෙත් අඳුුරු සෙවනැල්ලක් මෙන් අහිංසාගේ ගැටලුව වරින්වර මතු වෙයි.

මෙම මස 18 වැනිදා සිට ඊ. ඒ. පි. මණ්ඩලයේ සිනමා ශාලාවන්ට පැමිණෙන්නේ එකී කතා පුවත රැගත් චිත්‍රපටයයි. ඒ ලෙවල් නම් වූ එය හීන හොයන සමනල්ලු අධ්‍යක්ෂණය කළ රොහාන් පෙරේරාගේ අධ්‍යක්ෂණයකි. සීමාසහිත කැපිටල් මහරාජා සමාගම ඒ ලෙවල් නිෂ්පාදනය කොට තිබේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ අනුත්තර අහිංසා ඇතුළු ඒ ලෙවල් කණ්ඩායම ඇත්ත වශයෙන්ම ඒ වයසේ නළු නිළියන් බැවිනි.