|
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්
‘ලංකා මාතාව’ නර්තනය තුළින් සිනමාවට ආ සුරතලී ලීනා ද සිල්වා
සිංහල සිනමාවේ සුරතලිය ඇයයි. ඇය රඟපෑ ‘සුරතලී’ චිත්‍රපටය දුටු එක්තරා සිනමා රසිකයකු වූ නුගේගොඩ ආනන්ද පියදාස 1957 ජුනි 1 වැනිදා ‘චලන චිත්‍ර’ සිනමා සඟරාවට කවි පන්තියක් ලියා තිබිණි. සිනමා ලෝලයින් හදවත් කවපු කිති පුන්සඳ කමල වැනි මුව කමලක් ද ඇති නිළියේ මගේ ලීනා සුදු සුහද වති ඔබ දැක ගන්ට තරුණන් පෝලිමේ එති 1955 තිරගත වූ ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේ ‘ලංකා මාතාව‘ ලෙස නර්තනයක් ඉදිරිපත් කරමින් සිනමාවට පිවිසි ලියනගේ දොන් ලීනා පියසීලි ද සිල්වා නම් ළාබාල තරුණිය පසුව ලීනා ද සිල්වා තිරගත වූ ‘සුරතලී’ චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රසාදයට පත් වූ චිත්‍රපටය විය. කවුද මේ ලීනා ද සිල්වාය. සිංහල සිනමා නළු නිළියන්ගේ උපන් දින විශ්ව කෝෂය භාරව සිටින අපගේ නන්විධ කරදර ඉවසා අපට තොරතුරු සපයන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, හින්දි භාෂා විශාරද සිරි කහවලයන්ට අනුව ඇය ඉපදී ඇත්තේ 1936 ඔක්තෝබර් 30 වෙනිදාය. 1970 වසරේ සිට සරසවිය කර්තෘ මණ්ඩලයේ සේවය කරන කාලයේ ලීනා හමු වී මට විශේෂාංග ලිවීමටත්, සමිපව ඇසුරු කිරීමටත් අවස්ථාව ලැබුණි. ලීනා කොළඹ උපත ලබා හැදී වැඩී ඇත්තේ මාලිගාකන්දේය. ඇගේ පියා වූ දොන් සයිමන් ද සිල්වා කාර්ගෝබෝට් සමාගමේ සුපවයිසර් කෙනකු ලෙස සේවය කොට ඇත. ඇගේ මවගේ නම ඇලිස් සිල්වාය. ලීනා පවුලේ බාලයාය. ඇයට වැඩිමහල් අක්කා ට්‍රිලිීෂියා කුසුමා වූ අතර ඊළඟ අයියා ජයම්පත් සෑම්ය. පුංචි අක්කා මර්ලින් තිලකාය. ‘මම මුල සිටම කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. මට මතක හැටියට මුලින් නාට්‍යයක රඟපෑවේ 2 වැනි පන්තියේ ඉගෙන ගනිද්දී. පාසලේ නර්තන හා සංගීත පන්තිවල මා වඩාත් කැපී පෙනුණා. අපේ පාසලේ ඉංග්‍රීසි පන්තියේදී ‘පයිප් පයිපර්’ නම් නාට්‍යයේ මම ප්‍රධාන චරිතය රඟපෑවා. එය මගේ ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රථම රංගනය වුණා. අපිට නැටුම් ඉගැන්නුවේ පණීභාරත, වසන්ත කුමාර හා ජයශාන්ත කියන විශිෂ්ට ගුරුවරු ඇය කිවාය. වයස අවුරුදු 12 දී ඇය ශේෂා පලිහක්කාරයන් ගෙන් වැඩිදුර නැටුම් ඉගෙන ගත් අතර, චිත්‍රපට නැරඹීමට ආසාවෙන් පසු වූවාය. ‘මම මුලින්ම (වයස අවුරුදු 12 දී පමණ) නැරඹුවේ රජ් කපූර් හා නාගීස් රඟපෑ ‘ආවාරා’ චිත්‍රපටය. මම පුදුමයෙන් මෙන් නාගීස්ගේ රඟපෑම් බලා හිටියා. රඟපෑම ගැන ආසාවක් මුල් වරට ඇති වුණේ ‘කැලෑහඳ’ චිත්‍රපටය බැලුවට පස්සේ. ‘කැලෑ හඳේ’ මාලිනී හා විෂ්ණුබායි ලෙසත් රඟපාමින් මගේ පන්තියේ හොඳම මිතුරියන් හතර දෙනා වූ නාලිනි නානායක්කාර, රුක්මණී ප්‍රනාන්දු, ස්වර්ණා සිල්වා, මානෙල් මාපලගම ඉදිරියේ රඟපා පෙන්නුවා. ‘ඇත්තට ලීනා ඔයා චිත්‍රපටයේ විදිහටම චිත්‍රපටයකත් රඟපාන්නකෝ. ඔයා අනාගතේ හොඳ චිත්‍රපට නිළියක් වේවි’ මිතුරියන් මාව දිරි ගැන්වූවාය. ලීනා තම පාසල් වියේ අත්දැකීමක් විස්තර කළාය. මිතුරියන්ගේ දිරිගැන්වීම නිසා ලීනා ගෙදර කට්ටියත් සමඟ මිගමුවෙ නෑදෑ ගෙදරක ගිය දිනකම දෙවැනි සොහොයුරිය වූ මර්ලින් අක්කා සමඟ එඩී හා රුක්මණීගේ නිවසට යන්න අවස්ථාවක් ලබාගත්හ. වාසනාවට එදා රුක්මණී හා එඩී ගෙදර හිටියහ. ආදරයෙන්, නිහතාමානීව පිළිගත් රුක්මණී තොරතුරු අසා සිටි අතර මර්ලින් අක්කා ලීනාගේ දස්කම් ඇය ඉදිරියේ කියා සිටියාය. ‘එහෙනම් ඔයාට නටන්න පුළුවන් නම් සංගීතයත් ඉගෙන ගත්තා නම් සින්දු කියන්නත් පුළුවන් ඇති’ රුක්මණී කීවාය. ලීනා කැලෑහඳේ රුක්මණී ගැයූ ‘දිවා ගිනි නිවා’ ගීතය ගැයුවාය. ‘නංගි කැමති නැද්ද චිත්‍රපටයක රඟපාන්න. ඔයා ලස්සනට සින්දුත් කියන්නත් දන්නවා’ රුක්මණී ඇසූ පැනයට ලීනාට ‘කැමතියි’ යයි කියැවිණ. ‘මම හිතනවා ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. මම බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහත්තයට ලියුමක් දෙන්නම්. එයා මේ ළඟ ඉන්නේ. දැන්ම ගිහින් හමුවන්න. එයා අලුත් චිත්‍රපටයකට නිළියක් හොයනවා’ ලීනාගේ සිතේ තිබූ ආසාවක් ඉටු කර ගැනීමේ අදහසින් බි. ඒ. ඩබ්ලිව්. ගේ නිවසට යන විට ඇය දාහතර වැනි වියේ පසු විය. එදා ඒ නිවසට සේනාධීර කුරුප්පුත් ඇවිත් හිටියා. කැලෑහඳට පසු ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා ‘දෛවයෝගය’ 1954 සිනමාවට නැගීමට සිතා මහනාද ලෙස සේනාධීරත්, ශිලා ලෙස රුක්මණීවත් තෝරාගෙන තිබුණි. රුක්මණීගේ ලිපිය කිය වූ බී. ඒ. ඩබ්ලිව්. ලීනාට මෙසේ කීවේය. ‘හොඳයි මම ‘දෛවයෝගයේ’ ලංකාගේ චරිතයට මේ ළමයව තෝරා ගන්නම්. ලංකා කියයන්නේ රුක්මණීගේ නංගිගේ චරිතයට’ බී. ඒ. ඩබ්ලිව්. කීවේය. එහෙත් ලීනාගේ සිහිනය බොඳ වී ගියේ බී. ඒ. ඩබ්ලිව්. හා නවකතා කතුවර අතර වූ මතභේදයකිනි. ලීනා මේ කාලයේ පාසල් ශිෂ්‍යාවකි. ඇය ආනන්ද බාලිකාවේ ක්‍රීඩා නායිකාව වූවාය. ඇය මේ අතර පාසලේ කරුණාතිලක ගුරු මහත්මිය නිෂ්පාදනය කළ ‘සීචපාතිකා’ නාට්‍යයේ කුවේණි ලෙස රඟපෑවාය. ‘අපේ පවුලේ සමීප මිතුරන් වුණේ සුමිත් බිබිලේ හා ස්ටැන්ලි පෙරේරා කියන ජනප්‍රිය නළුවෝ. මේ අතර මම ශේෂා පලිහක්කාර මහතාගෙන් නැටුම් ඉගෙන ගනිමින් සිටියදී දිනක් ඔහු මගෙන් මෙහෙම ඇහැව්වා. ‘ලීනා අපි මේ දවස්වල ‘අහංකාර ස්ත්‍රී’ කියලා චිත්‍රපටයක් කරනවා. ඒකේ ‘ලංකා මාතා’ නැටුම කරන්න කැමතිද? මට කොතරම් සතුටුදායක ආරංචියක්ද ඒ. මම අම්මා තාත්තාගෙන් අවසර ගත්තා. මා ‘ලංකා මාතා’ නැටුම ඉදිරිපත් කරන කොටයි රවීන්ද්‍ර රූපසේන නම් චිත්‍රපට නළුවා මුලින්ම දැක ගත්තේ. ‘ලංකා මාතා’ නැටුමේ මගේ පින්තුරයක් ජයවිලාල්ගේ සිනමා පිටුවේ පළ වුණාට පසු විද්‍යාලයේ විදුහල්පතිනි මට දොස් කිව්වා. 1955 පැවැත් වූ පංච කල්‍යාණි තරගයෙන් 5 වැනියට තේරුණා. ශේෂා මහතා මාව ‘රේඛාව‘ චිත්‍රපටයේ ළමා නැටුමකට ඉදිරිපත් කිරීමට යෝජනා කළත් ගෙදරින් අකමැති වුණා. මෙයින් මම ගෙදර දී හිතුවක්කාරියක් වුණා. මා ගැන ගෙදර අය බය වුණා. සිංහල සිනමාට පිවිසීමට ද්වරය විවෘත කර දුන් ‘ලංකා මාතා’ ගීතමය ජවනිකාවට මම සදහටම ණය ගැති වෙනවා. ශේෂා සර් අද ජීවතුන් අතර නැතත් එතුමාට පිං සිදු වේවා’ දිනක් රවීන්ද්‍ර රූපසේනත්, සිරිල් පී. අබේරත්නත්, විල්ප්‍රඩ් සිල්වාත් ලීනාගේ නිවසට ආහ. ඒ ‘සුරතලී’ චිත්‍රපටයට ලීනා තෝරා ගැනීමටය. ඇය රවීන්ද්‍රව දන්නේ ඔහුගේ සහෝදරියන් ආනන්ද බාලිකාවේ යාළුවෝ නිසාය. මේ නිසා ‘සුරතලී’ චිත්‍රපටයේ රඟපෑමට යාමට ගෙදරින් අවසර ලැබිණ. මේ අනුව ලීනා ‘සුරතලී’ චිත්‍රපටයේ සුරතලිය වුවාය. මේ චිත්‍රපටයට තෝරා ගන්නා ලෙස යෝජනා කර සිරිල් පී. අබේරත්න හා විල්ප්‍රඩ් සිල්වාට ඡායාරූපයක් දී තිබුණේ ආරියදාස පිරීස් විසිනි. ‘සුරතලී’ චිත්‍රපටයේ රඟපෑමට ලැබෙන තෙක් මා සිතා සිටියේ රඟපෑම ලෙහෙසි පහසු දෙයක් ලෙසයි. එහි රඟපෑමට ගොස් දින දෙකක් පිට පිටම රාත්‍රියේ සිට පාන්දර පහ දක්වා වතුර බාල්දි ගණනක් මා නාවද්දී සීතලේ වෙව්ල වෙව්ලා කැමරාවට මුහුණ දීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව ඔබ සිතනවා විය හැකිය. පිට පිට සීතල වතුර නෑමෙන් හටගත් ශාරීරික රෝගයක් නිසා මට තුන් මාසයක් රෝගාතුර වීමට සිදු වුණා. මේ චිත්‍රපටයේ රවීන්ද්‍ර රූපසේන, ආනන්ද ජයරත්න, සිරිමතී රසාදරී සමඟ රඟපෑමට ලැබීම මට අලුත් අත්දැකීමක් වුණා. ‘සෙහොයුරෝ’ චිත්‍රපටයේදී බටහිර ඇඳුම් ඇඳගෙන සංකර විලාසයකින් ලීනාට රඟපෑමට සිදු වූයේ තමාගේ බලවත් අකමැත්ත නිසා බව පවසන ඇය ‘සුනීතා’ චිත්‍රපටයේ වනගත කෙල්ලකගේ චරිතය නිරූපණය කරන විට ඇයට අවශ්‍ය ලෙස අශිෂ්ට නොවන සේ ඇඳුම් ඇඳ ගැනීමට හැකි වූ බව සඳහන් කළාය. තමාගේ ඡායාරූපයක් මුලින්ම ලේක්හවුස් ආයතනයේ පුවත්පතකින් ප්‍රථම වරට හඳුන්වා දුන් මියගිය රියැන්සි විජේරත්න මහතාට මම ණයගැතියි.” ලීනා තම ජීවිතයේ වැදගත් අවස්ථා කිහිපයක් මතක් කිරීමට අමතක නොකළාය. “වයස අවුරුදු 14 සිට ම මට විවාහ යෝජනා ආවා. මගේ දෙමව්පියන් කීවේ මා තවම පුංචි වැඩියි කියලා. 1960 නොවැම්බර් 11 වෙනිදා මගේ ජීවිතයේ ලස්සනම දවස. ඒ මමත් රවීන්ද්‍ර රූපසේනත් සමඟ විවාහ වූ දවස. ‘සුනීතා’ චිත්‍රපටය කිරීමට ඉන්දියාවේ සිටියදී මා බලවත් ලෙස රෝගාතුර වුණා. මගේ දුක සැප බැලුවේ රවීන්ද්‍ර. අපි දෙන්නා අතර ආදරයක් ඇති වුණේ එදා. ඒක විවාහයකින් කෙළවර වුණා. මගේ දෙමාපියන් මේ විවාහයට විරුද්ධ වුණා. රවීන්ද්‍ර ඉස්සර ප්‍රසිද්ධ වෙලා හිටියේ ඩබ්ලිව්. කේ. රූපසේන නම් ගායකයා වශයෙන්. ‘මගේ සකුන්තලා මගේ සකුන්තලා’ නම් ගීතයෙන් ජනප්‍රිය වෙලා හිටිය ඩබ්ලිව්. කේ. රූපසේන, රවීන්ද්‍ර රූපසේන කියලා නම වෙනස් කළේ එයා සමඟ නාලන්දේ එක පන්තියේ ඉගෙන ගත් කරුණාරත්න අබේසේකර. ලීනා තම සිතැඟි මුදුන්පත් කරමින් රුක්මණී දේවි සමඟ රඟපැවේ ‘නළඟන’ චිත්‍රපටයේ. ඇය රඟපෑ චිත්‍රපට මෙසේය. අහංකාර ස්ත්‍රී (1954), සුරතලී (1956), සොහොයුරෝ, සුනීතා (1950), සුන්දර බිරිඳ (1960), සුලලිත සෝබනී, සුජාගේ රහස (1964), අමතක වුණාද, රන්රස (1967). 1961 සැප්තැම්බර් 13 වෙනිදා රවින්ද්‍ර - ලීනා කැදැල්ලට පුතෙකු එක්විය. යෝග ශ්‍රී රූපසේන පුතා ඉපදී දෙවසරකින් 1963 ජූනි 01 වෙනිදා පූර්ණා ප්‍රියදර්ශනී රූපසේන උපන්නාය. 1978 අප්‍රේල් 15 වෙනිදා ලීනාගේ ජීවිතයේ දුක්බර දිනය ලෙස ඇය සළකයි. ඒ ලීනාගේ දයාබර සැමියා වූ රවීන්ද්‍ර ඇයත්, පුතාත්, දුවත් සදහටම අතහැර මියයාමය. රවින්ද්‍ර මියයෑමට වසරකට පමණ පෙර 1977 වසරේ සරසවිය කර්තෘ ධර්මදාස බොතේජුත්, මාත්, කැමරා ශිල්පී බන්දු කොඩිකාරත් ලීනා - රවීන්ද්‍ර හමුවීමට කොළඹ 10, 05, පන්සල පාරේ නිවසට ගියෙමු. එසේ අප අහම්බෙන් ඒ නිවසට ගියේ රවීන්ද්‍රගේ නැගනිය විවාහ වී සිටි චිත්‍රපට නළු, නාට්‍ය නිෂ්පාදක ස්ටැන්ලි ද සිල්වා (රොම්ලස් ද සිල්වා මාස්ටර්ගේ පුතා) හමුවීමට යන ගමනේදීය. ස්ටැන්ලි පදිංචිව සිටියේ කැටවලමුල්ල පාෙර්ය. එදා ලීනාගේ නිවසේදී ඇය හා රවීන්ද්‍රගේ ඡායාරූප කිහිපයක් ගත් අතර එය ඒ දෙදෙනා එකට සිට ගත් අවසාන ඡායාරූප වෙයි. රවීන්ද්‍ර සේවය කරමින් සිටියේ කොළඹ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම්කරුවකු ලෙසය. රවීන්ද්‍රගේ සොහොයුරු ඩබ්ලිව්. ඒ. කීර්තිසේන අප සමග ආනන්දයේ ඉගෙන ගත් මිතුරෙකි. රවින්ද්‍ර මියගිය පසු ලීනාට එවකට අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාසගෙන් රැකියාවක් ලැබුණි. මේ කාලයේම ඇයට නැවත ගඟ අද්දර චිත්‍රපටයේ රඟපැමට ආරාධනය ලැබිණි. මේ අවස්ථාව ලබා දුන්නෙ නිෂ්පාදිකා මිලිනා සුමතිපාල මහත්මිය, ටෝනි රණසිංහ, සුමිත්‍රා පිරිස් මහත්මියගෙනි. ‘ගඟ අද්දර’ (1980), චිත්‍රපටයේ වසන්ති චතුරානිගේ මව ලෙස රඟපෑ ලීනා එතැන් සිට ‘වාලම්පූරි’, ‘ආරාධනා ‘, ‘සාරංගා’ (1981), ‘යස ඉසුරු’, ‘කිරි සුවඳ’, ‘කැලෑ මල්’, ‘පාදෛ මාරිය පරුවන්ගල්’, ‘මලට නොඑන බඹරු’, ‘පාරමිතා’, ‘යහළු යෙහෙළි‘ (1982), ‘කලියුගය’, ‘සමනල සිහින’ (1983), ‘හිතවතිය’ (1984), ‘ආදර කතාව‘, ‘වාසිටි කෙල්ල’, ‘කිරි මදු වල්’, (1985), ‘දුශ්‍යන්ති’, ‘කොටි වලිගය’, ‘සිංහ පැටවු’, ‘දිනුම’ (1986), ‘චණ්ඩියන්ගෙත් චණ්ඩියා’ (1986), ‘බදුලු කෝච්චිය’, ‘සෙබළියෝ’ (1989), ‘තණ්හා ආශා’, ‘වීර උදාර’ (1990), රජ කෙල්ලෝ’, (1991), ‘රජ දරුවෝ’ (1992) ‘ශර්මිලාවින් ඉදය රාගම් (1993), ‘සුජාතා’ (1994), ‘අවරගිර’ ‘සීමා පවුරු’ (1996), ‘අනුරාගයේ අනන්තය’ (2000), ‘පොරොන්දුව‘ (2001) චිත්‍රපටවල රඟපෑවාය. ලෙස්ටර්ගේ ‘සැළලිහිණි ගම්මානය’ ඇතුළු පියවරු සහ පුත්තු, සුදු පරෙවියෝ, හිමි අහිමි ටෙලි නාට්‍යවලත් ‘තට්ටු ගෙවල්’, ‘දොළොස් වැනි රාත්‍රිය’, ‘ජුලියස් සීසර්’ යන වේදිකා නාට්‍යවලත් රඟපෑ ලීනා දැනට කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදිංචිව සිටින්නීය. 1991 වසරේ පුතා හා දුව සමඟ කැනඩාවට ගිය ලීනා පදිංචිව සිටින්නේ දියණියගේ හා බෑණාගේ නිවෙසේය. පුතා සිටින්නේ දුව ඉන්න පළාතට හුඟාක් දුරින්. පුතාටයි ලේළිටයි පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඇය තම දියෟණියගේ පුතා (මුනුබුරා) බලාගෙන සැහැල්ලු ජීවිතයක් ගත කරන්නීය. ලීනා දැන් ලංකාවට එන්නේ ඉඳහිට නෑයන් බැලිමටය. ‘මම දැන් ලංකාවට අමුත්තියක්’ වගේ. කැනඩාවේම ඉන්නයි කල්පනාව. එත් මට ‘ලංකා මාතාව‘ කිසිදා අමතක වන්නේ නෑ.
|