වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ස්වර වර්ණ සමඟ එන අලුත් පරපුරේ මයන්ත කාවින්ද

ස්වර වර්ණ සමඟ එන අලුත් පරපුරේ මයන්ත කාවින්ද

නවක ගායකයකු වන මයන්ත කාවින්ද ඇතුළුව අමරසිරි පීරිස්, කසුන් කල්හාර, උරේෂා රවිහාරි ගී ගයන වින්දනීය ගී සැදෑව ‘ස්වර වර්ණ’ මේ මස 05 වැනිදා සවස 6.30ට මහරගම ජාතික තරුණ සේවා සභාවේ යොවුන් රඟහලේදී පැවැත්වෙයි. ප්‍රවීණ ගායන ශිල්පීන් හා ශිල්පිනියක සමඟ නවක ගායකයකු ලෙස එකම වේදිකාවේ ගී ගයන මයන්ත කාවින්ද ගුවන්විදුලියේ සිටි එෆ්. එම්. සේවයෙන් කෙරෙන යූත් ටැලන්ට් කියන වැඩසටහනේ දහවැනි ස්ථානයේ තරගවදින තරගකරුවෙකි. සිය කලා ගමනේ ආරම්භය ගැනත්, සිය නිර්මාණ ගැනත් මයන්ත පැවසූයේ මෙවැනි කතාවකි.

* ඔබ කුඩාකල පටන්ම සංගීතයට කැමැත්තක් දක්වන තරුණයෙක්ද?

මා මුලින්ම පාසල් ගියේ කොස්වත්ත එම්.ඩී. එච්. ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලටයි. එහි අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්න මා ඒ ලෙවල් කිරීමට ඇතුළත් වන්නේ කොළඹ අශෝක විද්‍යාලයටයි. ඒලෙවල් වාණිජ අංශයෙන් හදාරන මා දෙවැනි වර කලා අංශයේ විෂයයන්වලින් උසස් පෙළ හදාරනවා. ඒ අතර කාලයේ මගේ ප්‍රියතම විෂයය වන සංගීතය මා දිගින් දිගට ම හැදෑරුවා. ඉන්පසුව තරුණ සේවා සභාවේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට පිවිසෙන මා වසර තුනක කාලයක් සංගීතය කියන විෂය පිළිබඳ හදාරනවා. එහිදි මා මූලික වශයෙන් ම හැදෑරුවේ ගායනයයි. ඊට අමතරව ගිටාර් වාදනය ප්‍රගුණ කළා. මේ වනවිට මා විශාරද පළමු විභාගය ලියා අවසන්. එහි අවසන් විභාගයේ දෙවැනි වසර තිබෙන්නේ මේ දෙසැම්බර් මාසයේයි. ඒ කටයුතුවලට සූදානම් වන ගමන් ම මා සංගීතය පිළිබඳ පන්ති පවත්වා ගෙන යෑමත් සිදුකරනවා.

* මේ වනවිට ඔබගේ ගීත කිහිපයක් ගුවන්විදුලියේ විකාශය වෙනවා?

මා ගයන අලුත්ම ගීත තුනක් ඊට ඇතුළත්. ඒ ‘මතක නෙතුඅග’, ‘සෝ සුසුම්’, ‘දන්න තරම් කීවා මං’ යන ගීත තුනයි. මෙහි මුල් ගීත දෙකම ලිව්වේ හා සංගීතය යෙදුවේ ගිහාන් ප්‍රබ්‍රද්ධ කියන මගේ යහළුවකුයි. අනෙක් ගීතය ලිව්වේ සෝමදාස සූරියආරච්චියි. එහි සංගීතය නිර්මාණය කළේ සිදත් සෝමසිරියි.

* මේ ගීත නිර්මාණය වීමට හේතුවුණු කාරණය කුමක්ද?

ගුවන්විදුලියේ සිටි එෆ්. එම්. සේවයෙන් කෙරෙන යූත් ටැලන්ට් කියන වැඩසටහනට මා ඉදිරිපත් වීමත් සමඟ ඒ සඳහායි මුල්ම ගීත දෙක නිර්මාණය කරන්නේ. එහිදි නව ගීත පදමාලා දෙකක් හා නව සංගීත නිර්මාණ ඇතුළත්ව අලුත් ම පදරචකයකු, සංගීත නිර්මාණකරුවකු හා ගායකයකු විසිනුයි ඒ වැඩසටහනට ඉදිරිපත් විය යුතුව තිබුණේ. ඒ අනුව මා අලුත්ම නිර්මාණ දෙකක් සමඟ මේ යූත් ටැලන්ට් තරගයට ඉදිරිපත් වුණා. මේ වනවිට මා අවසන් දහදෙනා අතරයි සිටින්නේ. මේ ගීතවලට ලැබෙන ප්‍රතිචාර බොහොමයි.

* ඔබ අද පවතින කා අතරත් ජනප්‍රිය රියැලිටි තරගයක් තෝරා ගන්නේ නැතිව ගුවන්විදුලියෙන් කෙරෙන තරගයක් තෝරා ගත්තේ ඇයි?

මා දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයට සහභාගි වුණා. එහි අවසන් හැත්තෑ දෙක යනතුරු එහි රැඳී සිටියා. ඉන්පසුව ඉවත් වුණා. ඒ ජනප්‍රිය තරගයෙන් ඉවත් වී මේ තරගයට පිවිසියාට පස්සේ ගුවන්විදුලියේ තරගයෙන් බොහෝ දේ අපට උගත හැකියැයි කියන අවබෝධයක් මට පැමිණියා. ඒ අදහස මගේ සිතට පිවිසියේ මේ වැඩසටහනට සහභාගි වුණාට පස්සේ. ඒ හරහා මගේ ජීවිතයට නැවුම් ආලෝකයක් ලැබුණ බවත් පැවසිය යුතුයි.

* ඔබ ගයන ගීත තෝරා ගත්තේ හා ඒ ගීතවල පදමාලා රචනා වුණේ කුමන පදනමක ඉඳලද?

මේ ගීත රචනා වෙන්නේ යූත් ටැලන්ට් කියන වැඩසටහනට මූලිකකර ගෙනයි. ඒ නිසා අප දෙදෙනා උත්සාහ ගත්තේ වර්තමානයේ ඇසෙන ගී පදමාලාවලින් තරමක් හෝ ඔබ්බට ගිහින් ගීපද මාලා රචනා කරන්නයි. ගායනයට වුණත්, ඒ සඳහා යොදන සංගීතයට වුණත් යම් වෙනසක් කිරීමට අප උත්සාහ ගත්තා. ඒ වගක් අපගේ ගීත අසන විට ඔබට දැනේවි.

* ඔබ ප්‍රිය කරන ගායක ගායිකාවෝ කවුරුන්ද?

සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, කසුන් කල්හාර වැනි ප්‍රවීණ ශිල්පීන් ගයන ගීතවලට මා බෙහෙවින් කැමැතියි.

* ඔබ ඔවුන්ට කැමැති වුවත් ඔවුන් ගයන ගීතවල තිබෙන විශේෂත්වය ඔබගේ අවධානයට ලක්වුණාද?

ඔවුන්ගේ ගීතවල තිබෙන්නේ ශාස්ත්‍රීය ගායන ශෛලියක්. කසුන් කල්හාරගේ ගීත ශෛලිය වෙනස්ම ආරක්. මගේ ගීපද රචනා වන්නේ මගේ ජීවිත අත්දැකීම් ආශ්‍රයෙන්. ඒ ගීපදයි රසිකයන් ආදරය කරන ප්‍රවීණයන්ගේ ගීපදයි විමසන විට මට පෙනෙන්නේ අපේ ගීපද රචනා ඒ නිර්මාණවලින් වෙනස් වන බවයි. අප තවමත් මේ ක්ෂේත්‍රයට පා නඟා පැමිණියා පමණයි. එහිදි මා තවමත් සොයන්නේ ඔවුන්ගේ ගීතවල තිබෙන වචන මොනවාද? එවැනි වචන ඔවුන් ගීපදවලට යොදා ගත්තේ ඇයි? ඒ පදවලින් මොනවගේ තේරුමක් ද තිබෙන්නේ? කියන දේවල් ගැන තවමත් මා ඉන්නේ අධ්‍යයනයක නිරත වෙමින්. ඔවුන්ගේ ගීපදවලින් හැඟෙන අර්ථය දිවෙන්නේ යටිපෙළෙන්. ඒත් අපේ ගීපදවලින් ඒක කෙළින් ම කියන වගක් මට හැඟෙනවා. ඒ නිසා ප්‍රවීණයන්ගේ තත්ත්වයට පැමිණීමට මා කැමැතියි. මේ සඳහා යම් අධ්‍යයනයක් කරමින් ඉදිරියේදී එවැනි නිර්මාණ තෝරා ගැනීමට මා කැමැතියි.

* ඔබ ගුවන්විදුලියේ ගායන පරීක්ෂණයට සහභාගි වුණාද?

මේ වනවිට මා ගුවන්විදුලි සේවයේ සී ප්ලස් ශ්‍රේණියේ ගායකයකු ලෙසයි තෝරාගෙන තිබෙන්නේ. ඒ පරීක්ෂණයට ඉදිරිපත් වීම මඟින් මා බොහෝ දේ වටහා ගත්තා. ගුවන්විදුලියේ සිටි එෆ්. එම්. සේවයෙන් කෙරෙන යූත් ටැලන්ට් කියන වැඩසටහනේදි ඒ සඳහා සහභාගි වුණු අනෙක් තරගකරුවන් අතරින් ඉදිරියට පැමිණීමට ලැබුණේ අප දෙදෙනාගේ තිබුණු විශේෂත්වයක් නිසා. ඒ විශේෂත්වය දිගින් දිගටම රදවා ගෙන යෑමට මා බොහොම මහන්සි ගන්නවා. මේ ‘ස්වර වර්ණ’ ප්‍රසංගය පැවැත්වෙන්නේත් මගේ ඒ ගීත රසිකයන් අතරට රැගෙන යෑමේ ප්‍රතිඵලයක් විදියටයි. එහිදි ප්‍රවීණයන් පිරිසක් සමඟ නවකයකු විදියට මටත් ගයන්නට ලැබීම මගේ ජීවිතයේ ලද භාග්‍යයක් ලෙසයි මා සලකන්නේ.

* ඉදිරියේදි ඔබගේ කටයුතු පෙළ ගැසෙන්නේ කෙසේද?

මේ වනවිටත් මා අපේ දේශීය සංගීතය, හින්දුස්ථානී සංගීතය, බටහිර සංගීතය තවදුරටත් ඉගෙන ගනිමින් ඉන්නවා. ගායකයකු ලෙස ස්ථාවර වීමේදී මේ සියලු දේ ඉගෙන ගැනීමත් සමඟ නැවුම් යමක් කිරීමයි වැදගත් වන්නේ. එවැනි අලුත් හරවත් නිර්මාණ සමඟින් රසිකයන් හමුවට යන්නටයි මා අදහස් කරගෙන සිටින්නේ. ඒ වගේ ම මේ ගමන පැමිණෙන්නට උදව් කළ මගේ සියලුම ගුරුවරුන්ටත්, අනෙක් අයටත් ස්තුති කිරීමට මා මේ අවස්ථාවක් කර ගන්නවා.