වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

 අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

වනමෝහිනි’ චිත්‍රපටයේ කෙටි ඇඳුමට එරෙහි වූ උදුලා දාබරේ

මීට අවුරුදු 65 කට ඉහත මදුරාසියේ අඩයාර් බලාගිය ‘කැලෑ හඳ’ චිත්‍රපටයේ පිරිසට සම්බන්ධ අයගෙන් අද ජීවතුන් අතර සිටින එකම තැනැත්තිය ගැන ඔබ දන්නවාද? ඇය දැන් පදිංචිව සිටින්නේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ 5ඕ,20/8 නිවාසයේය. නමින් ඇය ගංගොඩවිලගේ උදුලා දාබෙර්ය. තම ජීවිතය මුළුමනින්ම ආගමික වතාවත්වලට කැප කර සිටින ඇය මට ටික කලකට ඉහත මත්තෙගොඩ බෞද්ධ සංගම් ශාලාවේදී හමු විය.

‘මම දැන් සම්පූර්ණ ආගමික ජීවිතයක් ගත කරන්නේ. හැම පෝයකටම බම්බලපිටියේ වජිරාරාමයට සිල් ගන්න යනවා. අපේ බෞද්ධ සංගමයේ උප සභාපති හැටියට කරන වැඩවලින් මානසික සුවයක් ලබනවා’ ඇය කීවාය.

“උදුලා විතරයි අද ‘කැලෑහඳ’ චිත්‍රපටයට සම්බන්ධ අයගෙන් තොරතුරු අපිට දැනගන්න ඉන්නේ’ මම කතාව පටන් ගත්තෙමි.

‘මම කැලෑහඳ කට්ටියත් එක්ක ඉන්දියාවට ගියේ අහම්බෙන්. මගේ අයියා විවාහ වෙලා හිටියේ ‘කැලෑහඳේ’ ඇඩා ජයපාල ලෙස රඟපෑ මිලී කහඳවල එක්ක. ඒ කාලේ පත්තරේක දැන්වීමක් පළ වෙලා තිබුණා ‘කැලෑ හඳ’ චිත්‍රපටයට නිළියෝ ඕනෑ කියලා. මිලී ඒකට ඉල්ලුම් පත්තරයක් දැම්මා හොරෙන්. අක්කාව තෝරා ගත්තට අයියගේ කැමැත්ත ලැබුණේ නෑ. අපේ අම්මාව හම්බවෙලා මිලී බොහෝම අමාරුවෙන් අවසර ගත්තා. මිලී ඉන්දියාවට යනකොට තනියට ගියේ මම. මට ලංකාවෙන් පිට කුමන හෝ රටක් බලන්න ආසාවෙන් හිටියේ. 1952 වසරේ දෙසැම්බර් මාසේ මට ඉස්කෝලේ නිවාඩු. මම අක්කගේ තනියට ගියා. අපි ගියේ මදුරාසියේ අඩයාර්වලට. එහි ලොකු බංගලාවක අපි හිටියේ. ඇලෝ අන්කල්ගේ (බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න) දූවරුන් එහේ ඇවිත් හිටියා. ඒගොල්ලොත් මගේ වයසේම පුංචි ළමයි. අපේ වැඩේම සෙල්ලම් කරන එක. ඒ අතර රුක්මණී, එඩී, ස්ටැන්ලි, රීටා, මිලී චිත්‍රපටයේ දර්ශන සති දෙකක් රිහස් (පුහුණු) කරනවා. තිමෝතියස් පෙරේරා දෙබස් කියලා දෙනවා. ඇලෝ අයියා ඇට් කරන හැටි කියලා දෙනවා. එයාම ඇට් කරලා පෙන්වනවා’ උදුලා අතීතයට යොමු වෙමින් කීවාය.

උදුලා කියන ආකාරයට දිනක් උදයේ රුක්මණී දේවි හා එඩී ජයමාන්න මිලීගේ කාමරයට ඇවිත් කතා කර කර සිටියහ.

‘අනේ කෙල්ලෙ, අපිට උදුලාව පුංචි සීන් එකකට ඕනෑ. බැහැ කියන්න එපා’ රුක්මණී කීවාය.

උදුලා රඟපෑමට අකමැත්තෙන් කාමරය පුරාම දුවන්ට වූවාය. මේ අතර බී. ඒ. ඩබ්ලිව්. එහි පැමිණියේය.

‘ඇලෝ අයියා මේ කෙල්ල පුංචියි . . . එයා රඟපාන්නත් අකමැතියි’ එඩී කියා සිටියේය.

බී. ඒ. ඩබ්ලිව්. සන්සුන්ව කතාව පටන් ගත්තේය.

‘දුව, මම කියන දේ අහන්න. මේක රඟපෑමක් නෙවෙයි, පෙනී සිටීමක්. ඩේසි ඇන්ටි මැරිලා ඉන්න කොට මම (නන්ද සීයා) අඬනවා. සෙනඟ වට වෙලා. මේ සෙනඟ මදුරාසියේ අය. මම කැමති නෑ ඒ එක ගැහැනියකගේ ඇඟට අත තියලා අඬන්න. ඒ අයත් කැමති වෙන එකක් නැහැ. ඔයා අපේ කෙල්ලෙක්. මට ඔයාගේ කරට අතදාගෙන අඬන්න පුළුවන්. ඔයා අපේ කෙල්ලෙක්.’

‘ඔව් නංගි, ඇලෝ අන්කල් එක්කනේ රඟපාන්න තියෙන්නේ. කැමති වෙන්න’ මිලී ද උදුලාට කීවාය.

උදුලා එයට කැමති වී ඇත. අඩයාර්වල ඔවුන් සිටි බංගලාව පරිශ්‍රයේ මේ දර්ශනය රූගත වී ඇත. විෂ්ණ බායිගේ ඇඳුමින් සැරසුණු මාලිනිය (රුක්මණි දේවි) මිය ගොස් බිම වැතිරී ඇත. ඒ අසල ජෝන් ජයපාල (ස්ටැන්ලි පෙරේරා)ය. නන්ද සීයා විලාප දෙමින් අඬන විට ඒ අසල සිටි උදුලාගේ කරට අත දමාගෙන අඬයි. උදුලාගේ පෙනී සිටීම එපමණය. මේ දර්ශනයේ රුක්මණී ගඟට පනින දර්ශන රූපගත වී ඇත්තේ ලංකාවට පැමිණ අරනායක මාඔය ගඟ අසලදීය.

‘කැලෑහඳ’ නවකතාව ලියූ ඩබ්ලියු. ඒ. සිල්වා මහත්තයා මදුරාසියේ අඩයාර්වලට ඇවිත් නළු නිළියක් හා කතා කරනවා මම දැකලා තියෙනවා. එතුමා කළුයි. උසයි. එතුමා ඇලෝ අයියාට උපදෙස් දෙන අයුරුත් මට මතකයි. මම පෙනී සිටියේ ඩේසි අක්කා එයාගේ හැට්ටයක් කොට කරලා මහල දුන් මගේ ඇඟේ ප්‍රමාණයට හදල දුන්න පුංචි හැට්ටයකින් හා චීත්තයක් ඇඳගෙන ගමේ යුවතියක් හැටියට’. උදුලා කීවාය.

නාරාහේන්පිට මහවත්තේ උපත ලැබූ උදුලා නාරාහේන්පිට පරාක්‍රම විද්‍යාලය, කොළඹ ලෝරන්ස් විද්‍යාලය, පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලය ආදී පාසල්වලින් අධ්‍යාපනය ලබා ඇත.

‘මගේ තාත්තාගේ ගම නාරාහේන්පිට. අම්මා පන්නිපිටියේ. අපේ පවුලේ හත් දෙනයි. අක්කා, අයියා, ඊළඟට ඉපදුණ සහෝදර සහෝදරියෝ තුන් දෙනෙක්ම එක ළඟ මිය ගිහින්. අපේ අම්මා සමන් දේවාලයට ගිහින් බාර වුණාලු ‘අනේ දෙයියනේ මගේ දුක අහලා මට දුවක් ලබා දෙන්න’ කියලා. ඒ දුව තමයි මම. අපේ පවුලේ වැඩිමහල් අයියා අක්කා මිය ගිහින්. මට බාල නංගි නන්දා’ උදුලා පවුලේ තොරතුරු කීවාය.

උදුලාගේ මවට අවශ්‍යව තිබුණේ උදුලා දුව ඕනෑම දෙයක නිර්භයව ඉදිරිපත් කිරීමටය. ගුවන් විදුලියේ ‘ළමා පිටිය’ට කුඩා උදුලා රැගෙන ගොස් කරුණාරත්න අබේසේකරට භාර දුන්නේ ද අම්මාය. එවිට ඇගේ වයස අවුරුදු 12 කි. එදා ළමා පිටියේ සිටි ඇග්නස් තිසේරා (සිරිසේන), ගුණරත්න අබේසේකර, දයා අබේසේකර උදුලාට තවමත් මතකය. උදුලා ‘ළමා රංග පීඨයේ’ ද රඟපෑවාය. දිනක් උදුලාගේ රංගන හැකියාව දුටු කරුණාරත්න අබේසේකර ඇයට කතා කළේය.

‘උදුලා නංගී ‘කම්කරු පැය’ කියන වැඩ සටහනට පොඩි විකට ජවනිකාවක් ඉදිරිපත් කරන්න කැමතිද’

‘කරු අයියා කියලා දෙනවා නම් මම කරන්නම්’

එදා උදුලා විකට ජවනිකාව ඉදිරිපත් කළේ චන්ද්‍රසෝම දසනායක සමඟය. මේ කාලයේ කරු අයියා ‘වරද කාගේද’ චිත්‍රපටයේ ගීත රචනය කිරීමට මදුරාසියට ගිය අතර නිෂ්පාදක ගුණරත්නම් හමු වී ඇත.

‘කරු, අපේ ෆිල්ම් එකේ කොමඩි සෝන්ස් දෙකක් තියෙනවා. බර්ට්‍රම් ප්‍රනාන්දු එක්ක කොමඩි කරන්න අලුත් නිළියක් ඕනේ’

කරුට එකවරම හිතට ආවේ උදුලාවය. ඒ නම ගුණරත්නම්ට කරු යෝජනා කළේය. කරුගේ රෙකමදාරුවට ගුණරත්නම්, සිරිසේන විමලවීර සමඟ උදුලාගේ නිවසට පැමිණියහ. උදුලා දුටු හැටියේම ගුණරත්නම් ‘අපෝ මේ ළමයා පුංචි වැඩයි’ කියා අකමැත්ත ප්‍රකාශ කොට ඇත. උදුලාට දැනුණේ ලොකු සතුටකි. මන්ද ඇය චිත්‍රපටයක රඟපෑමට තිබූ නොකැමැත්ත නිසාය. අම්මාගේ වදේට ඇයට අවනතවීමට සිදු විය.

‘මට නං ආයිත් නිළියෝ සොයන්න නම් කියන්න එපා. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ ළමයාට ඒ චරිතය කළ හැකියි කියලා’ සිරිසේන විමලවීර කියා ඇත.

එදා සිදු වූ හාස්‍යජනක සිද්ධිය උදුලා මට මෙසේ විස්තර කළාය.

‘අන්තිමේදී සිරිසේන වීමලවීර මාස්ටර් යෝජනාවක් ගෙනාවා. අපි සතයක් උඩ දාමු. මිස්ටර් ගුණරත්නම් දිනුවොත් උදුලා නොගෙන ඉමු. පැරදුණොත් උදුලව ගම්මු’ මේක හරියට පොඩි ළමයින්ගේ සෙල්ලමක් වගේ. පස්සේ විමලවීර මාස්ටර් දිනුවා. මට මදුරාසියට යන්න ලැබුණා. ඒත් මම අකමැති. පසුව කරු අයියා අපේ ගෙදර ආවා. ඒ 1953 වසරේ.

කරු අයියාගේ කීමට වඩාත් සතුටු වුණේ අම්මාය. මේ චරිතයට මුලින්ම තෝරා ගෙන හිටියේ සිරිමතී රසාදරී බවත්, ඇය රඟපෑමට පැමිණියොත් තමා රඟනොපා ලංකාවට යන බව ශාන්ති ලේඛා තරයේම කියා තිබූ බව මට ඉන්දියාවට ගියාට පස්සේ දැනගන්න ලැබුණා. ඒ දෙන්නා තරහ වෙලා. මේ නිසා මට මාගරට්ගේ චරිතය රඟපාන්න ලැබුණා විතරක් නෙවි විකට ගීත දෙකක් ගයමින් (සෝමපාල ලෙස රඟපෑ බර්ට්‍රම් ප්‍රනාන්දු එක්ක) රඟපාන්නත් ලැබුණා. (පසුබිම් ගායනය කළේ බර්ට්‍රම් හා ස්වර්ණලතා).

‘සිකුරා ලබයි - කාලේ හොඳයි

ඒවී මංගල යෝගේ ඒවි මංගල යෝගේ’

මේ එක ගීතයක්. අනික් ගීතය නම්

‘ජොලිය - ජොලිය - ජොලිය

අපි දෙන්නගෙ පිනකි පණා’

‘වරද කාගේද’ දෙබස් ලිව්වේ පසුව ඇමතිවරයකු වූ ටි. බී. ඉලංගරත්න මහත්තයා. අපිට උපදෙස් දුන්නෙත් ඔහු. මේ චිත්‍රපටයේ රඟපාලා ඇවිත් මාස තුනකට පස්සේ 1954 වසරේ ගාමිණී සිනමාහලේ තිරගත වුණා. මම ඉස්කෝලේ ගියා. ධර්මපාලේ පිරිමි ළමයි ‘මගේ මාගරට්’ කියලා විහිළු කරන්න පටන් ගත්තා. මම පාසලට යන්න බැහැ කියලා ඇඬුවා. විදුහල්පතිවරයා මාව කැඳවලා ‘මේ ළමයා හිටපු චිත්‍රපටය මමත් බැලුවා. රඟපෑම දියුණු කර ගන්න’ කියලා කිව්වා.

ඒ කාලේ ‘වරද කාගේද’ චිත්‍රපටය අතිශයින්ම ජනප්‍රිය වී ඇති අතර එහි රඟපෑ ‘සෝමපාල මාග්‍රට්’ චරිත දෙක ඊටත් වඩා ප්‍රේක්ෂක සිත් දිනාගෙන ඇත. කොණ්ඩ බැදපු පිරිමින්ට ‘සෝමපාල’ නමත්, ගෙදර මෙහෙකාරියන්ට ‘මාග්‍රට්’ කියාත් මිනිස්සු කියන්නට පටන් ගෙන ඇත. උදුලාගේ දක්ෂ විකට රංගනය ගැන කවුරුත් කතා කළ නිසා සිනමාස් සමාගමේ මාසිකව පඩි ලබන නළු නිළි කණ්ඩායමට ඇය ඇතුළත් කර ගත්තේය. ඇයට මසකට රු: 3000 ක වැටුපක් ලැබිණ. එය ඒ කාලයේ ලොකු මුදලකි. (සිවිල් නිලධාරියකුගේ පඩිය රු: 2500 කි). මේ වැටුපට ඇය සිනමාස් සමාගමේ ‘රදළ පිළිරුව‘(1954), දොස්තර, දුප්පතාගේ දුක (1956) චිත්‍රපටවල රඟපෑවාය. ඉන්පසු දස්කම (1958), ගැහැනු ගැට (1959), නළඟන, පිරිමියෙක් නිසා (1960), සුවිනීත ලාලනී, දරුවා කාගේ ද (1961), සුලලිත සෝබනී, සුබ සරණ සැප සිතේ (1964) , සැකය (1965), සීගිරි කාශ්‍යප, කපටිකම (1966), මනමාලයෝ, සරණ (1967), අක්ක නගෝ (1968), සූරයන්ගෙත් සූරයා (1969), දැන් මතකද (1970), හිතුවක්කාරයෝ (1977) චණ්ඩි සිරියා (1983), රන්දිය දහර (2004) චිත්‍රපටවල රඟපෑමෙන් පසු සිනමාවෙන් සමුගත්තාය.

1956 ‘දුප්පතාගේ දුක’ මා සිනමාස් සමාගමට රඟපෑ අවසන් චිත්‍රපටයයි. ගුණරත්නම් මහතාත් මාත් අතර ගැටුම ඇති වුණේ ‘වනමෝහිණී’ චිත්‍රපටයේ මට ලැබුණු චරිතය නිසා. ඒ චිත්‍රපටයේ මට තිබුණේ ඉතා කෙටියට ඇඳුමක් ඇඳගෙන රඟපාන්න. චිත්‍රපටයේ හැටියට හැම නිළියක්ම ඇන්දේ ඒ ඇඳුම. ඒකට වරදක් කියන්න බැහැ. ඒ චිත්‍රපටයේ හැටි. අධ්‍යක්ෂ ටී. ආර්. සුන්දරම් ඉන්දියාවේ සිට ඇවිත් අපේ ඇඳුම ගැන විමසිලිමත් වුණා. මම එදා හිටියේ කේන්තියෙන්. මට වඩා අම්මා තරහෙන් හිටියේ - ‘මේ වගේ විලි ලැජ්ජා නැති ඇඳුමක් ඇදගෙන උදුලාට රඟපාන්න මම දෙන්නේ නෑ. අපි යමු ගෙදර’ අම්මා කිව්වා. එතකොටම හියුගෝ මාස්ටර් ඇවිත් කිව්වා ‘අන්න සුන්දරම් මහත්තයා කතා කරනවා. එයාට කොස්ටියුම් එක බලන්න ඕනෑලු. ඉක්මනට උදුලාට කතා කරනවා’ කියලා. මම ඇඳන් හිටපු කෙටි ඇඳුමට උඩින් රෙද්දක් ඇඳගෙන වේවල වේව්ලා හිටියේ. මගේ ප්‍රමාදය ගැන ගුණරත්නම්ට හොඳටම කේන්ති ගිහින්. මට තිබුණේ ‘ කොළ කඩ කඩ බොරුවට දෙනවා’ ගීතයට රඟපාන චරිතය. දෙවෙනි ප්‍රධාන චරිතය. සහාය නළුවා රිචඩ් ඇල්බට්. මම මේ චරිතය කරන්න බෑ කිව්වා.

‘සර් මේ චරිතය රඟපෑවොත් මේ දරුවගේ ආත්ම ගෞරවයට කැලැලක්. මේක කරන්න බෑ’ අම්මා කිව්වා.

‘උදුලා අපිව අමාරුවේ දැම්මා. අපි එයා ගැන කොච්චර විශ්වාසය තිබ්බද?’ ගුණරත්නම් කෝපයෙක් කිව්වා.

මේ වන විට මම සිනමාස් සමාගමෙන් වැටුපක් මාසිකව ලබනවා. ගිවිසුම මාස 4 ත් ඉදිරියට තියෙනවා. මම සිනමාස් සමාගමෙන් අයින් වෙලා ආවට ගිවිසුම අනුව ඉදිරි මාසවලත් මට පඩිය ලැබුණා. පසුව මගේ චරිතයට රෝහිණී ජයකොඩි තෝරා ගෙන තිබුණා. හැබැයි ගුණරත්නම් මට පාඩමක් ඉගැන්නුවා. සිනමාස් සමාගමෙ ඉදිරි නිෂ්පාදනවලට රඟපෑමෙන් මාව ඉවත් ්කරන්නැයි අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී තිබුණා’ උදුලා කීවාය.

උදුලා අවිවාහකයි. ප්‍රේමයක් ගැන හිතුවේ නැද්ද? කෝච්චිය මිස් වුණාදැයි’ මම විහිළුවට ඇසීමි.

‘මම පාසල් යන කාලේ ආදරයක් ගැන හිතුවේම නෑ. චිත්‍රපටවලම රඟපෑමට හිත යොමු කළේ. මගේ ප්‍රථම ප්‍රේමය ඇති වුණේ ‘රන් එතනා’ කියන වේදිකා නාට්‍යයේ රඟපාන කොට. ඒ නාට්‍යයේ සොල්දාදුවෙක් හැටියට රඟපෑ කඩවසම් තරුණයෙකු මට ප්‍රේම කළා. ඔහුත් මට ප්‍රේම කළා. ඔහුට කාර් එකකුත් තිබුණා. නාට්‍ය කරන කාලේ මාවත්, අම්මවත් ගෙදරට ඇරලුවේ එයාගේ කාර් එකෙන්. එයාට ශිෂ්‍යත්වයක් ලැබිලා චිත්‍රපට කැමරා ශිල්පය හදාරන්න ලන්ඩනයේ ආතර් රෑන්ක් ආයතනයට ගියා. ඊට පස්සේ එයා මට හමු වුණේ නැහැ. එයා යන්න ඉස්සර මට විවාහ යෝජනාවක් ගෙනාවා. විවාහ වී ලන්ඩන් යමු කිව්වා. මගේ නංගි විවාහ වෙනකල් මම කල් ඉල්ලුවා. මම අම්මා තාත්තා දාල රට හැර යන්නත් අකමැති වුණා’ උදුලා අතීත ප්‍රේම කතාව දිග හැරියාය.

ඇය අම්මා තාත්තා බලාගන්න ජීවිතයටම කැප කළාය. ඇය ජාතික ලොතරැයි මණ්ඩලයේ වසර 20 ක් සේවය කළාය. අද මේ දෙදෙනා ජීවිතයෙන් සමුගෙනය. ඇය දැන් හුදෙකලාව කැප කොට ඇත්තේ තම දෙමාපියන්ට පින් දීමටය. දාන දීමටය. ආගමික කටයුතුවල නිරතවීමටය. දහම් පොත් කියවීමටය. 50 වසරක මගේ සිනමා පුවත්පත් කලා ජිවිතයේ දුටු විශේෂය නම් පැරැණි නළු නිළියන්ගේ තිබෙන ගුණ ගරුක බව, නිහතමානිකම, කළගුණ සැලකීම හා සහෝදරත්වයයි. උදුලා දාබරේ එවැනි එක් නිදසුනකි. කොතැන දුටුවත් ඇය මා සොයා පැමිණ ‘කොහොමද රන්ජිත්’ යයි ඇසීමට අමතක නොකළාය. “චිරං ජයතු” උදුලා.