වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සිරස ජූනියර් සුපර් ස්ටාර් හරහා රටම කතා කළ සුරතලිය

කිව්වට වස් නැත වලාකුළෙත් විදුලිය කෙටුවා

සිරස ජූනියර් සුපර් ස්ටාර් හරහා රටම කතා කළ සුරතලිය

ගීතය මිලියන ගණනින් යූ ටියුබ් හරහා දැනටමත් නරඹලා

ගීතය ආරම්භ වුණා පමණී. එක් විනිසුරුවරියක් මුල් පදපේලිය්දීම ඔහුගේ විනිශ්චය ලබාදුන්නේය. විනිසුරුවරිය ඇගේ ගායන ස්වරයෙන් ඇඟ කිලිපොලා යන බව හැඟවූවාය.

ඇගේ ගායනයෙන් වශිකෘත වූ විනිශ්චය මණ්ඩලය අසුනින් නැගිට්ටාහ. ඉන් ඉක්බිති ඔවුන් ඇයට පැවසුවේ එය ඉතා විශිෂ්ට ගායනයක් බවයි. මෙ කතා නායිකාව මතු වන්නේ සිරස ජූනියර් සුපර් ස්ටාර් වැඩසටහනෙනි. 'මගේ නීල නෙතු සඟලෙන්' ඇය එහිදී ගැයු පළමු ගීතය විය. අනතුරුව පණ්ඩිත් අමරදේවයාණන්ගේ වක්කඩ ළඟ ගීතයට ඇය හඬින් ජවය දුන්නේ රටක් වසඟ කර ගනිමිනි'. මේ වනවිට ඇය පිළිබඳ නොදන්නා කෙනෙක් නොමැත. විදෙස් රටවලින් පවා ඇයට අමතන්මෝ බොහෝය.

ඉෂිනි නවෝද්‍යා.

සිරස ජූනියර් සුපර් ස්ටාර් වැඩසටහන එළිය කරන්නිය ඇයයි.

* ඉෂිනි මේ වැඩ සටහන හරහා ඔබ ඉතාම ඉක්මනින් ජනප්‍රසාදය ලැබුවා. ඒක ඔබ බලාපොරොත්තු වුණාද?

ජනප්‍රියත්වය ගැන නම් ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැකියාව ලෝකයට පෙන්වන්නයි වුවමනාව තිබුණේ. නිතරඟයෙන්ම ජනප්‍රියත්වය දැනෙන්නම ලැබුණා. ඒක සතුටක්.

* කවුද ඔබව මෙම තරගාවලියට යොමු කළේ?

මගේ අම්මා තමයි.

* ඇයි අම්මට හිතුණේ ඔබව මෙයට යොමු කරන්න?

බහ තෝරන වයසේ ඉඳලා මං සින්දු කියන්නයි ආස. අම්මා මට කියනවා මං පොඩි කාලේ තොටිල්ලේ ඉන්නකොට අමරදේව සර්ගේ සින්දුවක් ඇහුණොත් මං නිසොල්මනේ ඒක අහනවා කියලා. මට විහිළුත් කරනවලු ගිය ආත්මෙ අමරදේව සර්ගේ ගෝලයෙක් ද දන්නේ නැහැ කියලා. පසුව මං නිතරම ලොකු ලොකු අයගේ සින්දු කියනවලු ගෙදර ජනේලේ එල්ලිලා. ළමා ගීත කියලා නම් නැහැ අම්මලා හිතලා තියෙනවා මාව සංගීතය පැත්තෙන් ඉදිරියට යවන්න.

* ඔබ එදා පණ්ඩිත් අමරදේවයන්ගේ වක්කඩ ළඟ ගිතය ගයද්දී විනිශ්චය මණ්ඩලය පවා පුදුම වුණා?

මං මුලින්ම ගීතය ගයද්දිත් එහෙමයි. විනිසුරු මඬුල්ල අසුන්වලින් නැගිට්ටා. මෙවර ගායනයේදීත් එහෙමයි. හේෂාන් සර් මං ළඟට ඇවිල්ලා මට ප්‍රශංසා කරලා තොප්පිය මගේ ඔළුවට දාපු වෙලාව නම් මට අමතක කරන්න බැහැ.

* ඇයි ඔබ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීවලට වැඩිපුරම කැමැති?

එතුමාණන්ගේ ගීත හරිම සෞමයයි. මං හරියට ඒවා විඳිනවා. සන්නාලියනේ ගීතයට තමයි මං වඩාත්ම ප්‍රිය කරන්නේ. අමරදේව සර් ජීවතුන් අතර ඉන්නකොට කිිප වතාවක්ම මං එතුමාණන්ව මුණ ගැසෙන්නට හැදුවා. ඒත් බැරි වුණා. එතමාණන් වියෝ වුණා කියලා දැනගත්තාම මං හොඳටම ඇඬුවා. දන් මං අම්මලට කිය කිය ඉන්නවා මට අමරදේව සර්ව හමුවන්නට නොහැකි වුණත් අඩුම තරමේ එතුමාණන්ගේ නෝනව හරි බලන්න එක්කගෙන යන්න කියලා.

* ඔබගේ පළමු රියැලිටි තරගාවලිය ද ජුනියර් සුපර් ස්ටාර්?

ඔව්.

* ඇයි ඔබගේ මව වෙනත් ළමා රියැලිටි වැඩසටහන්වලට ඔබව යොමු කළේ නැත්තේ?

මං සාමාන්‍ය පෙළ හදාරන කාලයේ මං මුල් තැන දුන්නේ අධ්‍යාපනයට. ගායන හැකියාව තිබුණත් අම්මලා මාව තරගවලට යොමු කළේ නැහැ. ඒ විභාගේ පාස් වෙලා දැන් මං උසස් පෙළ හදාරනවා. දැන් තමයි හොඳ කාලේ කියලා හිතලා මාව ජුනියර් සුපර් ස්ටාර් තරගයට යොමු කළා.

* ඔබ සංගීතය හදාරලා තියෙනවාද?

ඔව්. රශ්මි සංගීතා මිස් ගාව මං සංගීතය හදාරනවා.

* ඔබ කොහොමද ගායනය පුහුණු වෙන්නේ?

සින්දුවක් දෙතුන් වරක් ඇහැව්වට පස්සේ මට ගයන්න පුළුවන්. ඒ වගේම ඕගනය හරහා එම ගීතවල කෝඩ්ස් ප්ලේ කරන්නත් මට හැකියාවක් තියෙනවා. ඒ ඔස්සේ මං ප්‍රැක්ටිස් කරනවා.

* නොසිතූ විරූ අන්දමින් ලැබුණු ජනප්‍රියත්වය ගැන මොකද හිිතෙන්නේ?

සිරසෙන් දුරකතන අංකය ඉල්ලගෙන මට කතා කරන අය අනන්තයි. අප්‍රමාණයි. ඒ අතරින් විදෙස් රටවලින් මට නොසෑහෙන්න කතා කරනවා. සංචාරවලටත් අඬ ගහනවා. තවම අපේ වැඩසටහන ඉවර නැහැනෙ. ඒක නිසා ඒවට යන්නේ නැහැ. සිරසෙන් තමයි මට අතදුන්නේ. ඒ මඟ පෙන්වීම ඔස්සේ ඉදිරියට යනවා. අනෙක් කාරණා දෙවනුව හිතනවා.

* ජූනියර් සුපර් ස්ටාර් වෙන්නද කල්පනාව?

මේ වනවිටත් මං යම් යම් ජයග්‍රහණ ලබා තියෙනවා. තරගාවලියෙක් ජයග්‍රහණය ලබන්න අපේක්ෂා කරනවා. ඉදිරියට තමයි ඒ ගැන හිතන්නේ.

* ජූනියර් සුපර් ස්ටාර් තරගාවලිය අතරතුරදි වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද?

එක වටයකදී මං ගායනා කළේ උණ හැදිලා තියෙද්දී. වමනෙත් ගියා. ඒ සියලු අපහසුතා මැඬ ගෙන මං ගායනා කළා. ඒ මොහොත අමතක වෙන්නේ නම් නැහැ.

* ඔබ හිටිවන කවිකාරියක් කියලත් මං අහලා තියෙනවා?

මට හිටිවන කවි කියන්න පුළුවන්. කවිවලින් නාට්‍ය රඟ දක්වන කාව්‍ය රූපන පර්ෂදයෙත් මං ඉන්නවා.

* සරසවියට හිටිවන කවියක් කිියන්න පුළුවන්ද?

මොකද බැරි. ඔන්න අහගන්නකො.

පෙර පාසලේ සිට වින්දෙමි රසය කලා
මින් පෙර මෙවැනි තරගෙක නැත දෙවැනි වෙලා
සරස්වති ඇත දැන් මට බැල්ම හෙලා
පියවර තබා යන්නෙමි ජය කණුව බලා
දස්කම් තුළින් නව පරපුරෙ දිලෙන පිපි
ගී මල් කැකුළු වේ සරසවි මුහුණ සිපි
තව කවි නොකීවට නොම වෙනු මැනවි කිපි
සරසවිය පුවත්පත වෙත තුති පුදමු අපි

* බොහොම ස්තූතියි ඉෂිනි. දැන් උදව් කළ අයව මතක් කළොත් හොඳයි කියලා හිතෙනවා?

මගේ අම්මා චින්තා. තාත්තා ජයතිලක, මගේ පාසල් වන කොලොන්නාව බාලිකාව සහ ගෝතමී බාලිකාවේ සියලුම පිරිවර, මගේ යාළුවෝ, සිරසෙ මාමලා නැන්දලා ඒ අයට හැමෝටම තුති.