වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




රෝගවලින් පීඩිත වුවත් සිතේ දිරිය ඇති තරු

රෝගවලින් පීඩිත වුවත් සිතේ දිරිය ඇති තරු

සුරූපි නිළියක මෙන්ම ගායිකාවක වන සෙලීනා ගෝමස් කාලයක පටන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගී තත්ත්වයකින් පීඩා වින්දා. ඒ වෙනුවෙන් ඇය රසායනික චිකිත්සාවට මුහුණ දුන් අතර රෝගි තත්ත්වය උත්සන්න වීම නිසා පසුගිය කාලයේදී ඇයට වකුගඩුවක් බද්ධ කළා. ඒ වෙනුවෙන් සෙලීනාට වකුගඩුව පරිත්‍යාග කළේ, ඇයගේ හොඳම මිතුරිය ෆ්‍රැන්සියා රෙයිසා.

ඕනෑම කෙනෙක් කැමැති ලෙඩ දුක්වලින් තොරව නිරෝගි ජීවිතයක් ගත කිරීමටයි. නමුත් ලෙඩ රෝගවලට මුහුණ නොදුන් කෙනෙක් නම් සොයා ගැනීමත් අපහසු කරුණක්. ඒ වගේම ඇතැම් අයට වැලඳෙන රෝගවල නම් කිව්වත් අපි දන්නේ නැහැ. අපේ සමාජයේ වගේම හොලිවුඩයේත් මේ වගේ විවිධ වූ රෝගී තත්ත්වයන් ගෙන් පීඩා විඳීන තරු සිටින බව ඔබ දන්නවාද? ඇතැම් හොලිවුඩ් තරු මේ විදියට තමන් පීඩා විඳීන දුසාධ්‍ය රෝගී තත්ත්ව ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තිබෙනවා. නමුත් කුඩා හේතුවකට වුවද සැලෙන අය අතරේ මෙවැනි රෝගී තත්ත්වයන් සමඟින් දිරිමත්ව ඔවුන් ජීවිතයට මුහුණ දෙන ආකාරය නම් කාටත් ආදර්ශයක්.

ලේඩි ගාගා ලොව පුරා සංගීත ලෝලීන්‍ ගේ ආකර්ෂණයට ලක් වූ අමෙරිකානු පොප් ගායිකාවක්. විවිධාකාර මෝස්තර නිරූපණයේත් ඇය නමක් දිනා ගෙන සිටිනවා. ඇය ෆිබ්‍රොමැල්ජියා නම් රෝගී තත්ත්වයෙන් පීඩා විඳීන බව පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළා. මේ රෝගි තත්ත්වය හේතුවෙන් සිරුරට මහන්සි ගතිය අධිකව දැනෙන අතර, සිරුරේ මාංශ පේෂි වේදනාවට පත්වීම, මානසික ආතතිය, හිසරදය වැනි අපහසුතා ගෙන දෙනවා. මෙම රෝගි තත්ත්වය භාවනාව සහ ජීවන රටාව වෙනස් කිරීම මඟින් මර්ධනය කළ හැකි බවයි කියවෙන්නේ. ඇයගේ මෙම රෝගි තත්ත්වය ගැන කියවෙන වාර්තා චිත්‍රපටයක් පසුගිය කාලයේ නිර්මාණය වුණා. මෙම රෝගි තත්ත්වයෙන් මිදෙන්නට ඇය කළ සටන එහි දැක්වෙනවා.

කවුරුත් දන්නා සුපිරි තරුවක් වන කිම් කාඩේෂියන් නිරන්තරයෙන් පුවත් මවන්නියක ලෙසින් ප්‍රසිද්ධයි. ඇයත් යම් රෝගි තත්ත්වයක් සමඟින් සටන් කරන තරුවක් බවට පත් වී ඇති බව හොලිවුඩයෙන් ආරංචි ගෙන එනවා. කාඩේෂියන් පීඩා විඳීන්නේ සොරෙයිසිස් නම් චර්ම රෝගයක් හේතුවෙන්. ඒක හංගන්න තමන්ට කිසිම හේතුවක් නොමැති බව ඇය මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා. මෙය නිට්ටාවට සුව කිරීමට ප්‍රතිකාරයක් හමුවනු ඇතැයි ඇයගේ බලාපොරොත්තුවයි. මේ අතරේ එම රෝගී තත්ත්වය වෙනුවෙන් ප්‍රතිකාර ලබමින් ජීවිතයට මුහුණ දෙන්න ඉගෙන ගන්න බවත් ඇය පවසනවා.

හොලිවුඩයේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක වන බෙලා හැඩිඩ් පීඩා විඳීන්නේ ලයිම් ඩිසීස් නම් රෝගි තත්ත්වයෙන්. වෛද්‍ය වාර්තා සඳහන් කරන්නේ, කිනිතුල්ලන් සපාකෑම නිසා ඇති වන මෙම රෝගී තත්ත්වයට මුල් කාලයේදී හඳුනා නොගත හොත් එය දිගු කාලීනව පවතින රෝගි තත්ත්වයක් බවට පත් වන බවයි . මේ නිසා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට හානි සිදුවන අතර අධික මහන්සිය සහ හදවත් ගැටලු ද ඇතිවනු දැකිය හැකියි. බෙලා හැඩිඩ් 2015 වසරේදී මෙම රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් දින හයක් ඇඳෙන් බසින්නටත් නොහැකිව සිටි බවත් ආරංචියි.

Struck by Lightning, Vampire Academy වැනි චිත්‍රපට ඔස්සේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් සාරා හයිලන්ඩ් උපතේ සිටම වකුගඩු රෝගයකින් පීඩා විඳීන හොලිවුඩ් තරුවක්. මව් කුසයේ වැඩෙන විටදී වකුගඩු නිසි පරිදි වර්ධනය නොවීම හේතුවෙන් තමා මෙම රෝගී තත්ත්වයට මුහුණ දී සිටින බව ඇය සඟරාවක් සමඟ කළ සාකච්ඡාවක දී හෙළි කළා. "මම ගොඩක් සෞඛ්‍ය ගැටලු සමඟින් ඉපදුණ කෙනෙක්. මට කවදාවත් සාමාන්‍ය ජීවිතයක් ගත කළ නොහැකි බව වෛද්‍යවරු පවසන විටදි මගේ අම්මා පවසා තිබෙන්නේ, ඔව්. ඇය සාමාන්‍ය ජීවිතයක් ගත නොකරාවි. හැබැයි ඔබලා පවසන රෝගි තත්ත්වය නිසා නම් නොවේ කියලායි." 2012 වසරේදී සාරාට ඇයගේ පියාගේ වකුගඩුවක් බද්ධ කළා.

ජනප්‍රිය හොලිවුඩ් රැප් ගායකයකු වන ලිල් වේන් පීඩා විඳීන්නේ අපස්මාරය නම් රෝගී තත්ත්වයෙන්. බහුලව දකින්නට ලැබෙන ස්නායු රෝගී තත්ත්වයක් වන අපස්මාරය නිසා ලිල් වේන් හදිසි අබාධ තත්ත්වයන්ට මුහුණ දෙනු රසික රසිකාවන්ට අසන්නට නොලැබුණත් නිරන්තරයෙන් ඔහු රෝහල් ගත කිරීමත් නැවත නිවෙසට පැමිණීමත් අසන්න ලැබෙනවා. මෑතකදී රෝගි තත්ත්වය හේතුවෙන් ලාස්වේගාස්හි පවත්වන්නට නියමිත වූ ඔහුගේ සන්දර්ශනයක් පවා අවලංගු කරන්න සිදු වුණා.

ජනප්‍රිය බ්‍රිතාන්‍ය රූපවාහිනි තරුවක වන ජැක් ඔස්බර්න් multiple sclerosis නම් රෝගි තත්තවයට මුහුණ දී සිටිනවා. එම රෝගි තත්ත්වය මොළයේ ක්‍රියාකාරීත්වයට සහ කශේරුකාවට බලපෑම් කරන අතර ඇස් පෙනීම දුර්වල වීම මෙන්ම අත් පා ක්‍රියාකාරීත්වයටද බලපෑම් එල්ල කරනවා. මේ හේතුවෙන් ඔහුගේ එක් ඇසක පෙනීම සියයට හැටකින් අඩු වූ බවත් වාර්තා වෙනවා.

සුරූපි නිළියක මෙන්ම ගායිකාවක වන සෙලීනා ගෝමස් කලායක පටන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගී තත්ත්වයකින් පීඩා වින්දා. ඒ වෙනුවෙන් ඇය රසායනික චිකිත්සාවට මුහුණ දුන් අතර රෝගි තත්ත්වය උත්සන්න වීම නිසා පසුගිය කාලයේදී ඇයට වකුගඩුවක් බද්ධ කළා. ඒ වෙනුවෙන් සෙලීනාට වකුගඩුව පරිත්‍යාග කළේ, ඇයගේ හොඳම මිතුරිය ෆ්‍රැන්සියා රෙයිසා.

මයිකල් ජේ ෆොක්ස් එමී සම්මාන සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ලාභි හොලිවුඩ් තරුවක්. ඒ කෙසේ වෙතත් ඔහුට පාකින්සන් නම් රෝගි තත්ත්වය සමඟින් සටන් කරන්නත් සිදු වෙලා. සාමාන්‍යයෙන් පාකින්සන් රෝගි තත්ත්වය වැලදෙන්නේ වයස්ගත වූ පසුව වුණත් මයිකල්ට එය වැළඳුනේ වයස අවුරුදු විසි නවයේදීයි. "මම මේ බව දැන ගත්තේ මීට අවුරුදු විසි පහකට කලින්. වෛද්‍ය මතය වුණේ, තවත් අවුරුදු දහයකට වඩා වැඩ කරන්න නොහැකි බවයි. එහෙම නම්, මේ වෙන විටත් මම බෙහෙවින්ම දුර්වල වෙලා ඉන්න ඕනි. නමුත් මම ඔවුන් හිතන ඒ තත්ත්වයට ගොඩක් දුරින් ඉන්නේ " පසුගියදා ඔහු සම්මුඛ සාකච්ඡාවකදි පැවසුවා.

අසූව දශකයේ හොලිවුඩයේ කඩවසම් නළුවකු ලෙසින් ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් චාර්ලි ෂීන්, තමා එච්අයිවී ආසාදිතයකු බව ප්‍රසිද්ධියට පත් කළේ 2015 වසරේදීයි. ඊට සිව් වසරකට පෙර මේ බව දැනගත් විට එය දරා ගැනීම තරමක් අපහසු වූ බවත් මේ අකුරු තුනේ වචනය තම ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ බවත් ඔහු මාධ්‍යයට පැවසුවා. නමුත් ධෛර්යයෙන් තම ජීවිතය ඉදිරියට ගෙන යන්න අධිෂ්ඨාන කර ගත් බවත් ඔහු එහිදී සඳහන් කළා.

ජනප්‍රිය නළු හියු ජැක්මන් චර්ම පිළිකාවකින් පීඩා විඳීන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. කාලයෙන් කාලයට මේ තත්ත්වය මතු වන නිසා ශල්‍යකර්ම මඟින් තාවකාලිකව එය සුව කර ගන්නත් ඔහු පුරුදු වෙලා. අහිතකර හිරු එළිය නිසා ඔහුට හය වරක්ම මේ වෙනුවෙන් ශල්‍යකර්මවලට මුහුණ දෙන්න සිදු වෙලා. මේ නිසා හිරු ආවරණ ආලේපන දැන්වීම් රැසකට පෙනී සිටින්නත් ඔහුට ආරාධනා ලැබිලා. වරක් ශල්‍යකර්මයකට මුහුණ දී සුව වී නිවෙසට පැමිණි විගස සිරුර සම්පූර්ණයෙන් වැසෙන ලෙස ඇඳුම් ඇඳ ඔහු තම සුනඛ සුරතලුන් සමඟින් පාරේ ඇවිද ගිය බවත් හොලිවුඩයෙන් ආරංචි වෙනවා.