වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




නන්දා මාලිනිය සමඟ සංගීත ආශ්‍රමයට

නන්දා මාලිනිය සමඟ සංගීත ආශ්‍රමයට

ආචාර්ය විශාරද නන්දා මාලිනිය ලාංකික සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ට මෙහෙවරක යෙදුණාය. ඇය පසුගිය දශක ගණනාවක සිට නව පරපුරකට සංගිතය ඉගැන්වීමේද යෙදුණාය. යහපත් සංගීත රුචියක් ඇති ප්‍රබුද්ධ සංගීත රසික පිරිසක් බිහි කිරීමේ අභිප්‍රායෙන් ඇගේ සංගීත ආශ්‍රමයේ පවත්වාගෙන එනු ලබන මෙම පන්ති මාලාව දෙමව්පිය - ගුරුවර - වැඩිහිටි බොහෝ දෙනාගේ ඉමහත් පැසසුමට භාජනය වී තිබේ.

මෙම සංගීත පන්තිවලදී වයස අවුරුදු 8 සිට 12 දක්වා වූ කුඩා දරු දැරියක් සඳහා ඒ වයස් සීමාවන්ටම විශේෂිත වූ මූලික ස්වර අභ්‍යාස සහිත දරුවන්ගේ මුවට පහසුවෙක් ගායනා කළ හැකි මධුර ගීත මාලාවක් ඔවුන්ගේ කටහඬ පුහුණුව සඳහාම නන්දා මාලිනිය විසින් උගන්වනු ලබන්නීය.

වයස අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට පාසැල් විෂය මාලා හා සම්බන්ධ කරුණු දේශීය ජන ගායනා සහ රාගධාරි විෂය ඇතුළත් සංගීත පාඨමාලාවක් ද තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා තම ගායන හැකියාවන් ප්‍රගුණ කර ගැනීම සඳහා ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ ප්‍රවේශ, ප්‍රථම සහ ඩිප්ලීමා යන පාඨමාලාවක් ද නන්දා මාලිනිය මෙහෙයවන්නීය.

මේ මස 30 වැනිදාට පූර්වයෙන් ඒ සඳහා අංක 30, විජයබා මාවත, නාවල පාර, නුගේගොඩ ලිපිනයට දන්වන ලෙස ඇය දන්වා සිටියි.


ඉස්කෝලෙට මං ආවාට අනුමැතිය

ලක්මි කියේෂන් වෙනුවෙන් සඳුන් දොළමුල්ල නිෂ්පාදනය කළ ඉස්කෝලෙට මං ආවා ළමා සිනමාපටය සඳහා ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලය මඟින් ප්‍රදර්ශන සහතිකය පසුගියදා ලබා දුනි. එමෙන්ම එහි පූර්ව ප්‍රචාරක පටය ද ඉකුත් දා අන්තර්ජාලයට මුදා හැර තිබේ. මුහුණුපොත හරහා එය නැරැඹූ ප්‍රමාණය මේ වනවිට ලක්ෂය ඉක්මවා ඇත. ප්‍රසාද් සමරතුංග අධ්‍යක්ෂණය කළ ඉස්කෝලෙට මං ආවා සිනමාපටයේ කුමාර වඳුරැස්ස, එඩ්නා සුගතපාල, රජිත හිරාන් චාමිකර, උපුල් වීරසිංහ, රොෂානා ඔන්ඩච්චි, විරාජ් මධුශාන්, තේජා නදීශානි, ජයතිස්ස අතුලසිරි, ජගත් ඇපලදෙණිය ඇතුළු පිරිසක් රංගනයෙන් දායක විය. සුමිත් කුමාරගේ ගේ කැමරා අධ්‍යක්ෂණයකි. අශෝක චාමින්ද වාස් කලා අධ්‍යක්ෂවරයාය. උදාර සමරවීර සංගීත අධ්‍යක්ෂණයෙන් දායක විය. නිශ්චල ඡායාරූප නිශ්ශංක විජේරත්නගෙනි. ප්‍රසන්න විජේසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද, රන්ජන් ප්‍රසන්න නිෂ්පාදන සම්බන්ධිකරණයෙන් ද, රසික තෙන්නකෝන් අංග රචනයෙන් ද මේ සඳහා දායක විය. සුජීව රොහාන් නිෂ්පාදන කළමනාකරුයි. ඉස්කෝලෙට මං ආවා සිනමාපටයේ ගායනා කුසල් වීරමන්ත්‍රිගෙනි.


රුවන් ජයසිංහගෙන්

කටුනායකට රූ සිනමා

මීගමුව කටුනායක ප්‍රදේශයට පැවැති අඩුවක් සපුරාලමින් අධි සුඛෝපභෝගී සිනමාහලක් පසුගියදා කටුනායක ඇවරියවත්ත ප්‍රධාන බස් නැවතුම්පළ අසල දී විවෘත කෙරිණි.

රූ සිනමා නමින් නම් කළ මෙම සිනමාහල චිත්‍රපට නිෂ්පාදක රුවන් ජයසිංහට අයත්ය.

මෙහි පළමුවරට ප්‍රදර්ශනය වූ සිනමාපටය වූයේ ප්‍රියන්ත කොළඹගේ ගේ දේදුනු ආකාසේය. රුවන් මාතා, ඉර හඳ යට, සමනල සංධ්වනිය යන චිත්‍රපට මෙන්ම හතර දෙනෙක් සෙන්පතියෝ, කිඳුරු අඩවිය, චක්‍රායුධ ආදී ටෙලි වෘතාන්තයන්ගේ ද නිෂ්පාදකවරයාය.


‘ආදර ඔන්චිල්ලා’

ඉන්දියාවට හා කොරියාවට

ප්‍රවීණ නාට්‍යවේදි එම්. සෆීර් නවතම ජාත්‍යන්තර නිෂ්පාදන වන ‘ආදර ඔන්චිල්ලා’ ඉන්දියාවේ පූනේ නුවර පැවැත්වෙන ‘අයිපාර්’ ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදී මේ මස 08 වෙනිදා ජාත්‍යන්තර මංගල දර්ශනය පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව කොරියාවේ සොල් නුවර ‘ඩියෝ ජාත්‍යන්තර රංගකලා නාට්‍ය උළෙලේදී දර්ශන වාර තුනක් පවත්වනු ලබන අතර එය නොවැම්බර් 15 වෙනිදා සිට 20 වෙනිදා දක්වා පැවැත්වෙයි.

මීට අමතරව එම්.සෆීර් පූනේ විශ්ව විද්‍යලායේ සිසුන් වෙනුවෙන් සමාජ නාට්‍ය පිළිබඳව වැඩමුළුවක් පවත්වන අතර, මෙම නාට්‍යයේ ප්‍රධාන රංගන ශිල්පිනිය වන ජූලියා පිලිප්පො ද ඒ විශ්වවිද්‍යාලයේ ‘රංගනය පිළිබඳව’ වැඩමුළුවක් පවත්වයි.මේ සංචාරය සඳහා එම්. සෆීර් සමඟ සුජීව පතිනිසේකර, ජීවන්ති පෙරේරා, ඒ. කේ. රෝජාන්, තරුෂි කාවින්දි, ඉෂාන් උදයංග සහභාගි වෙයි. ආදර ඔන්චිල්ලා මංජුල වෙඩිවර්ධනගේ රචනයකි.

‘ආදර ඔන්චිල්ලා’ ඉන්ටර් ඇක්ට් සහ අයිටේනෙරා නාට්‍ය කණ්ඩායම් ඉදිරිපත් කිරීමකි.


මාර්සල් වාර්තාගත තිරගත කිරීමක

හොර ඩී. වී. ඩී. වෙළඳපොළට

දමිළ සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පී විජේ රඟන නවතම සිනමාපටය වන මාර්සල්් ඉකුත් දීපවාලි දින ලොව පුරා තිරගතවීම ඇරැඹිණ. මේ වන විට මාර්සල් උන්මාදයක් බවට පත් වී මෙරට ඇතුළු රටවල් රැසක ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ අතිශය සාර්ථකව තිරගත වෙමින් තිබේ. දින 3 ක් ඇතුළත මෙරට සිනමා ශාලා 60 ක ප්‍රේක්ෂකයන් 2,50000 ක් මෙම චිත්‍රපටය නරඹා තිබිණ. එහි ලද ජනප්‍රියත්වය නිසාම එහි ව්‍යාජ ඩී. වී. ඩී. තැටි නිෂ්පාදනය වී ඇති බව ජාතික චිත්‍රපට සංස්ථාව සරසවියට දන්වා තිබේ. ඉකුත් 23 වැනිදා වන විට එම චිත්‍රපටය එලෙස වෙළෙඳපොළට නිකුත්ව තිබේ. ඒ සඳහා නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව සුදානම වේ.


සීතල යුද්ධයට ගී පටිගත කෙරේ

කීර්ති බණ්ඩාරගේ නවතම සිනමාපටය වක සීතල යුද්ධයේ ගීත පටිගත කිරිම පසුගියදා නුගේගොඩ දෙල්කඳ ශබ්දාගාරයේදී සිදු කෙරිණ. මෙහිදී නිරෝෂා විරාජිනි ගීත ද්විත්වයක් ගායනා කරන ලදී. චිත්‍රපටයේ ගීත රචනා ධම්මික සල්වතුරගෙනි. රංජිත් නවරත්න සංගීත අධ්‍යක්ෂවරයාය. අනුපමා ෆිල්ම්ස් වෙනුවෙන් ආර්. පී. තිස්ස සීතල යුද්ධය නිෂ්පාදනය කරයි. සම නිෂ්පාදනය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. කරුණාරත්නගෙනි. නිෂ්පාදන සහාය ආර්. පී. අනුරගෙන්ය.


 සැවෝයි යළිත්

අලුත්වැඩියාව හේතුවෙන් තාවකාලිකව වාසා දමා තිබූ වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාව මෙම මස 04 වැනිදා සිට යළි විවෘත වේ. ඉහළම තාක්ෂණික අංගයන්ගෙන් සමන්විත මෙහි තිරගත වනුයේ තෝර් සිනමාපටයයි.


නුවරඑළියේ රීගල් එකට

අලුත් රීගල් දෙකක්

සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමේ නුවරඑළියේ පැරැණි රීගල් සිනමා ශාලාව තිබූ තැන එනමින් නව සිනමා ශාලා දෙකක් පසුගියදා විවෘත විය. නවීන තාක්ෂණයෙන් යුතු මෙහි ආසන සංඛ්‍යාව 120 කි. විජේ රඟන මාර්සල් සිනමාපටය මේ දිනවලදී එහි තිරගත වේ. මෙම සිනමා ශාලාව සී. ඊ. එල්. මණ්ඩලයේ චිත්‍රපට බෙදා හැරීම් යුතුව පවත්වාගෙන යනු ලැබේ. මෙම ස්ථානයේම තවත් සිනමාහලක් රීගල් නමින්ම මෙම මස අවසානයේ විවෘත වනු ඇත.