වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඇමරිකාවේ සිට සයිබර් අවකාශයට “සිහින සිතුම්”  රැගෙන ගිය අපේ නුවන් ලක්ශ්‍රී

ඇමරිකාවේ සිට සයිබර් අවකාශයට “සිහින සිතුම්”  රැගෙන ගිය අපේ නුවන් ලක්ශ්‍රී

නුවන් ලක්ශ්‍රී සමරනායක මින් විසි වසරකට එහා ගිය කාලයක් මුළුල්ලේ ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යපාරිකයෙක් වුව ද, අපේකම අගයන, එමෙන්ම දේශීය සංගීතයට, කලාවට පෙම් කරන්නෙකි. සිංහල ගීතයක් නොඇසෙන තරම් වූ විදේශයක තනි වුණ අපේ අයට, අපේ ගීත කුමන මාධ්‍යයකින් හෝ ශ්‍රවණය කරන්නට අවශ්‍ය පසුබිම සැකසීමට පියවර තබන්නට ඔහු එදා සිටම වෙර දරන්නෙකි. ඒ වෙනුවෙන් 2002 වසරේදී ‘මේරියන්ස්’ සංගීත කණ්ඩායම ද ඇමරිකාවට ගෙන්වා ගැනීමට ද ඔහු තම අනුග්‍රාහකත්වය දැක් වීය. ඉන් නොනැවතුණ ඔහු ගායනය පිළිබඳ තම හැකියාවන් ද මුදුන් පමුණුවාලමින් ඔහුගේම ගී නිර්මාණ ශ්‍රාවකයාට තිළිණ කිරීමට මේ වනවිට සමත් වී සිටින්නෙකි. පසුගිය දිනෙක කලා ශිල්පිනී ස්වර්ණිකා සාරංගිගේ සම්බන්ධිකරණයෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර සිට සරසවිය ඇමතුවේ සංගීතය සමඟ ඔහුගේ සැබැඳියාව අපට කියන්නටය.

නුවන් අධ්‍යාපනය ලැබුවේ මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයෙනි. පාසල් සමයේදී සමස්ත ලංකා මට්ටමින් ගායන අංශයෙන් ජයග්‍රහණ හිමිකර ගන්නට ද ඔහුට හැකියාව ලැබී ඇත. ඉන් පසුව එම හැකියාවන් වැඩි දියුණු කර ගන්නට ද ඔහු අමතක කළේ නැත. ඒ සඳහා ඔහු වෙත නලින් පෙරේරා ප්‍රමුඛ ‘මේරියන්ස්’ දැක් වූ සහයෝගය ඔහු පළමුව සිහිපත් කළේය.

ඒ ආ ගමන් මඟ ඔස්සේ ඔහු දැන් ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංග සඳහා ද සහභාගි වන ගායකයෙකු වී හමාරයි. එමෙන්ම සිංහල සංගීතය වගේම බටහිර ආරේ රෙගේ, පොප්, ලතින් ඇමරිකානු මෙන්ම බයිලා ශෛලියේ ගීත ද රසවත්ව ගැයීමට නුවන් හට ඇත්තේ ඉතා සුවිශේෂී හැකියාවකි.

ඔහු ගායනා කළ ඔහුගේ ප්‍රථම ගීතය ‘සිහින සිතුම්’ රංගන ශිල්පී සුරේෂ් ගමගේ විසින් රචනා කරන ලදුව ශයන් ප්‍රනාන්දු විසින් සංගීතවත් කරන ලද්දකි. ඉන් සංගීත ගමන ඇරඹූ නුවන් මේ වන විට තමන්ගේම ගී පොකුරක හිමිකරුවෙක්. ඒ නිර්මාණ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සුජාතා අත්තනායක, සනත් උඩුගම මෙන්ම ශයන් ප්‍රනාන්දු, දිනේෂ් ජයරංග යන නව පරපුර නියෝජනය කරන ශිල්පින් ද දායක වී තිබේ. මේ වන විට අන්තර් ජාලයේ ශ්‍රාවක ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට එසේ නිර්මාණය වූ ගීත අතර ඇති ‘යාළුවෝ’, ‘කුමාරියක් සේ සිනාසුණා’, ‘ආතල් නෑ ජීවිතේ’, ‘කළු මැණිකෙ කෙනෙක් නොව‘, ‘තනිකමයි මේ ලෝකේ’ යන ගීත බොහෝ සෙයින් සමත් වී තිබේ.

නුවන් මේ වන විට ඇමරිකාවේ පැවැත්වෙන සිංහල ගී ප්‍රසංග සඳහා නැතිවම බැරි ගායකයෙකි. සහභාගි වන සෑම ප්‍රසංගයකදීම ප්‍රේක්ෂක රුචිකත්වය සහ ඉල්ලීම් මත ඕනෑම ආරක ගී ගැයීමට ඔහු අමතක නොකරයි. එහිදී ඔහුගේ ගීත මෙන්ම, විදේශයක ජීවත්වන ලාංකිකයන් බෙහෙවින් ප්‍රිය කරන එච්. ආර්. ජෝතිපාල, කීර්ති පැස්කුවෙල්, ශාලිත අබේවික්‍රම, රොෂාන් ප්‍රනාන්දු යන ප්‍රවීණ ශිල්පීන්ගේ ගීත ගායනා කිරීමට ද ඔහු සමත් වෙයි.

ඇමරිකාවේ ජිවත් වුවද මෙම ගී නිර්මාණ සමාජගත කිරීමේදී ශ්‍රී ලාංකික ශිල්පීන් අද මුහුණදෙන සියලු අභියෝග එලෙසම ඔහුට ද බලපෑම් එල්ල කරයි. ඒ කිසිදු ගැටලුවකදී නුවන් සිය නිර්මාණ එළිදැක්වීම සඳහා මුදල් මූලික කර නොගනී. ඒ සඳහා ඔහු ප්‍රකට සමාජ වෙබ් අඩවි යොදා ගනී. මෙතුවක් ඔහු විසින් කර තිබෙන සියලුම ගී නිර්මාණයන් ප්‍රේමය, විරහව පමණක් නොව එම බොහෝ නිර්මාණයන් තුළින් යමක් ශ්‍රාවකයාට ලබාදීමට ද නුවන් සමත් වෙයි. ඒ අතරම සෑම නිර්මාණයකදීම සුළු වශයෙන් හෝ නිර්මාණකරණය තුළ ඉදිරියට යෑමට ද ඔහු සැමවිටම වගබලා ගනී.

නුවන් අඛණ්ඩව තම නිර්මාණ කටයුතුවල නියැළෙන්නෙකි. ඉදිරි නිර්මාණ කීපයකින් අනතුරුව ඔහුගේම ගිී සංයුක්ත තැටියක් නුදුරු අනාගතයේම රසික රසිකාවන්ට තිළිණ කිරීමට ද ඔහු අපේක්ෂාවෙන් හිඳී.

මෙතෙක් ඔහු පැමිණි මඟ පිළිබඳ ඔහු අප සමඟ පැවසීමේදී ඔහුගේ පවුලේ සෑම දෙනෙක්ම ලබා දෙන සහයෝගය කෘතවේදීව සිහිපත් කරයි. නුවන් සෑම විටම ආදරණීය චරිතයකි. තවමත් සංගීතයට පෙම් බඳින ඔහු සිය අනාගත සහකාරිය පිළිබඳ පළ කළේ මෙවැනි අදහසකි.

‘ජීවිතේ පිළිබඳ මනා අවබෝධයකින් ලැබෙන සුදුසුම සහකාරිය මගේ ජීවිතය වෙනස් කරාවි’

ඒ අත්දැකීම් ඔස්සේ ඔහු සැමවිටම නිර්මාණකරණයේ යෙදෙයි. එහිදී ඔහු හඳුනා ගන්නා සියලු ප්‍රේක්ෂකයින් තුළ ඇති විවිධ වූ රුචිකත්වයන් මෙන්ම රස වින්දන මට්ටම් ද ඔහු මනාව හඳුනා ගන්නේ ඔහු තුළ වූ එකී අවබෝධයෙනි. ඒ අනුව ඔහුගේ ගී නිර්මාණ තුළින් ඔහු සිය රසික රසිකාවන්ගේ හදවතට ආමන්ත්‍රණය කිරීමට සමත් වෙයි. එය මත ශ්‍රී ලාංකිකයින් මෙන්ම නොයෙක් විදෙස් ජාතිකයින් ද මේ වනවිට ඔහුගේ රසික ගොන්නට ඇතුළත් වී ඇත.

නුහුරු දේශයක සිට සංගීතය නම් විශ්ව භාෂාවේ අපේකම සනිටුහන් කරනට වෙර දරන නුවන් ලක්ශ්‍රී සමරනායකට එකී සියලු අරමුණු ඉටුකර ගැනීමට හැකි වේවායි යන්න ‘සරසවිය’ අපගේ පැතුමයි.