වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ජයන්ත චන්ද්‍රසිරි සමඟ ඇල්මෙන් රැඟුම් උගනෙව්

ජයන්ත චන්ද්‍රසිරි සමඟ ඇල්මෙන් රැඟුම් උගනෙව්

සරසවිය කියවන බොහෝ දෙනා ජයන්ත චන්ද්‍රසිරිව හැඳීන ගන්නේ අතිදක්ෂ අධ්‍යක්ෂ වරයෙක් ලෙසටය. නමුත් කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දන්නා පරිදි ඔහුගේ මුල්ම තෝරාගැනීම වූයේ කිසිසේත් අධ්‍යක්ෂණය නම් නොවේ. 70 දශකයේ අග ඔහු සිනමාවේ වේදිකාවේ අහු මුළු ස්පර්ෂ කරමින් සිටියදී එකවිටම පිවිසෙන්නේ රංගනය වෙතයි. එකල ජර්මානු සංස්කෘතික ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වුණු ආචාර්ය නෝබට් ජේ. මයර් ගේ රංගන වැඩමුළුවට ජයන්ත පැමිණෙන්නේ එම විෂය වඩාත් විද්‍යානුකූලව හැදෑරීමේ උවමනාව මතයි. අදත් බොහෝ ප්‍රකට නළු පෞරුෂ එදා ආචාර්ය මයර්ගෙන් රංගනය විද්‍යානුකූලව ඉගෙන ගත්තෝ වෙති. නමුත් අදටත් බොහෝ දෙනා නොදන්නා කරුණ නම් ජයන්ත එම වැඩමුළුවේ ඉහළින්ම රැඳුණු මතු බලාපොරොත්තු තබා ගත හැකි රංගන ශිල්පියෙකු බවට පත්ව තිබීමයි. නමුත් අදටත් එය එසේ වී නැත.

ආචාර්ය සාලමන් ෆොන්සේකාගෙන් ද රූපණය ප්‍රගුණ කොට එය තවත් මුවහත් කරගැනීමට ලෝකය වටා සංචාරය කර ඇත්තෙකි ජයන්ත චන්ද්‍රසිරි. 1990 දී නෝර්වේ ස්වීඩන් හා නැගෙනහිර ජර්මනියට යන ජයන්ත 1991 දී ඇමරිකාවට හා බ්‍රිතාන්‍යට යන්නේ රූපණය වඩා මුවහත් කරගැනීමටයි. 1999 දී රූපණය වඩාත් පර්යේෂණ තලයකින් හැදෑරීමට ඔහු යන්නේ ජපානයටයි. ඒ නෝර් හා කබුකි යන නාට්‍ය කලාවන් පර්යේණයට ලක් කිරීමටයි. එපමණකින් නොනැවතී ඔහු තමන්ගේ පරිචයෙන් නළු නිළි කැලක් පුහුණු කළ කෙනෙකි. අදටත් සැපයුම නොමැති වුවද එම ඉල්ලුම නොනැසී පවතී.

මේ මොහොතේ ඩිල් ෆිල්ම්ස් මැදිහත් වන්නේ එම සැපයුම මැදහත් ලෙස ස්ථාවර කරන්නටය. මන්ද කිසි කලක ජයන්ත සමඟ ඉල්ලුමට සැපයුම ස්ථාවර කළ නොහැක. ඒ අනුව රංගනය නම් මහා විෂයෙන් ලංකාව තුල බෙලහීන සිනමා රංගන අධ්‍යාපනය යම් විදිමත් තලයකට ගෙන ඒමට බත්තරමුල්ල තලාහේන ඩිල් ෆිල්ම්ස් සමඟ එකට එකතු වීමට මේ මොහොතේ ජයන්ත තීරණය කරයි. ලංකාවේ මේ මොහොතේ විශිෂ්ට රංගන පුහුණුකරුවෙකු සමඟ ඩිල් ෆිල්ම්ස් රංගන ඇකඩමිය පටන් ගැනීම ප්‍රවීන් ජයරත්න තම ආයතනය වෙනුවෙන් තැබූ සාධනීය පියවරකි. ඒ අනුව සිනමා රංගනය වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් මේ බිහිවන්නේ ඉතාමත් අනගි තැනක්ය.

‘ජීවත් වීම සඳහා රඟපෑම’ යන තේමාවෙන් රංගනය ජීවන වෘත්තියක් ලෙස ඉගෙනීමට අවශ්‍ය පසුබිම ජයන්ත සහ ඩිල් ෆිල්ම්ස් එක්ව සකසා තිබේ. එළඹෙන කාලය තුල මෙම රංගන පාසල කිනම් පියවරක් තබාවිද යන්න අප ඇසිය යුත්තේ ජයන්ත චන්ද්‍රසිරිගෙන්මය. වඩාත් හොඳ සිනමා පරිසරයක සිනමා රංගනය ඉගෙනීම වෙනුවෙන් ජයන්තගේ දායකත්වය කුමක්ද? සියල්ල අපි මේ මොහොතේ සරසවිය වෙනුවෙන් ඔහුගෙන් අසා දැනගත්තෙමු.

* ඔබ වැන්නකු වැඩමුළුවලින් එහාට රංගන අධ්‍යපනයට දායකත්වය දැක්වූයේ නැත්තේ ඇයි?

රූපණය විෂයයක් වශයෙන් හා විද්‍යාවක් වශයෙන් හැදෑරිමට මා තුළ වූ නොතිත් ආශාව මා එහි විවිධ ඉසව් කරා රැගෙන ගියා කියා මා හිතනවා. ඒ නිසාම දෙස් විදෙස් වශයෙන් මට එය හදාරන්නට බොහෝ අවස්ථාත් ලැබුණා. ඒ දැනුම බෙදා දෙන්නට මා අපේ රටේ සමහර ප්‍රවීණ නළුනිළියන්ගේ පටන් නවක අය දක්වා විවිධ අවස්ථාවල විවිධ රූපණ වැඩමුළු පැවැත්වූ බව ඇත්තයි. ඒ බොහෝ දෙනා බොහෝ අවස්ථාවල මට කීවේ වැඩමුළුවලින් එහා යන ඊටත් වඩා විධිමත් රූපණ පාඨමාලාවක් සඳහා ඔබ යොමු නොවන්නේ මන්ද යන්නයි. ඇත්ත වශයෙන්ම වරක් ශී‍්‍ර ලංකාවේ ජාත්‍යන්තර පාසලකිනුත් මට එවැනි විධිමත් පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා ආරාධනාවක් ලැබුණා. නමුත් එක් අතකින් වෘත්තීය පුවත්පත් කලාවේදියෙකු වශයෙනුත්, අනෙක් අතින් නිර්මාණකරුවකු වශයෙනුත් කටයුතු කරමින් සිටි නිසා එබඳු නිශ්චිත වැඩ පිළිවෙළකට යාමට මා උත්සාහ කළේ නැහැ. කොහොමටත් මා නිර්මාණකරුවකු වශයෙන් ගත කරන ජිවිතයට අවශ්‍ය කාලය සහ විවේකය රංගන ගුරුවරයකුත් වීම තුළ තවත් ඇහිරෙයි කියලා බයකුත් මට තිබුණා. නමුත් පත්‍ර කලාවෙන් සමු ගැනීමත් සමඟ දැන් මට ඒ සඳහාත් විවේකයක් තිබෙනවා. ඉතින් එතකොට තමයි ඩිල් ෆිල්ම්ස් ආයතනයේ අධිපති ප්‍රවීන් ජයරත්න මහතා මට රූපණ පාඨමාලාවක් මෙහෙයවීම සඳහා ආරාධනා කරන්නේ.

* මේ රූපණ අධ්‍යාපන කාර්යයට ඔබගේ කාලය යෙදවීම කෙතරම් දීර්ඝ කාලීන එකක්ද?

එය වසර 39 ක කාලයක්. වර්ෂ 1978 දී ශී‍්‍ර ලංකාවට බටහිර ජර්මනියෙන් පැමිණෙන ආචාර්ය නෝබට් ජේ මයර් මහතාගේ රූපණ පාඨමාලාවට මා තෝරා ගැනීම තමයි එහි ආරම්භය. එදා මා සමඟ මෙම පාඨමාලාව හදාරන කීප දෙනා අතර කමල් අද්දරආරච්චි, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, චිත්‍රා කළුබෝවිල, රත්නා පුෂ්ප කුමාරි, ඉන්දු වර්ණපුර, ජූඩ් ශී‍්‍රමාල් වගේ අද බොහොම ප්‍රසිද්ධ චරිතත් හිටියා.

ආචාර්ය මයර් අපගේ රූපණ හැකියාවන් පමණක් නොවෙයි අපගේ ප්‍රඥාවත් අවදි කළ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. බටහිර රූපණ විධික්‍රම පමණක් නොවෙයි, පෙරදිග දර්ශන පිළිබඳවත් එතුමාට මහා පුදුම දැනීමක් තිබුණා. විශේෂයෙන් අප රටේ සංස්කෘතිය පිළිබඳව එතුමාගේ මහත් ගෞරවයක් තිබුණා. මේ නිසාම රූපණය පිළිබඳව යම් ඒකමානීය හැදෑරීමකට වඩා බොහෝ පුළුල් බහුමානීය හැදෑරීමකට යන්නට අපට පෙලඹවීමක් ලැබුණා.

ඉන් පසුවයි මට මගේ අසහාය ගුරුවරයා හමු වන්නේ. ඒ ආචාර්ය සාලමන් ෆොන්සේකා. කවර වෘත්තියක නියැළී සිටියත්, කවර නිර්මාණයක නියැලී සිටියත්, නළුවකු වශයෙන් නොසිටියත්, රූපණය නැමැති මහා විෂය නොකඩවා හදාරන්නැයි මා හැමවිටම දිරිමත් කළේ එතුමායි. ඉන් පසුව රූපණය හැදෑරීම මගේ ජීවිතයේ කොටසක් බවට පත්වෙනවා. එය මගේ නිර්මාණ කෘතිවලටද මහත් ආලෝකයක් සපයනවා. එපමණක් නොවෙයි මේ සදාකාල රූපණ ශිෂ්‍යයාට ඒ අරභයා විදේශීය ශිෂ්‍යත්ව, ගවේෂණ චාරිකා ආදිය විශාල සංඛ්‍යාවක් ලැබෙනවා. නෝර්වේ, ස්වීඩන්, නැ.ජර්මනිය, බ්‍රිතාන්‍යය, අමෙරිකා එක්සත් ජනපදය, ජපානය ඒ අතර විශේෂයි.

මා මෙතැනදී ඔබට කිව යුතුම වන්නේ මේ දීර්ඝ කාලය මුළුල්ලේ මම රූපණය පිළිබඳ දැනීමෙන් සන්නද්ධ වුණා වගේම මගේම නිර්මාණ කෘති ආලෝකවත් කර ගත්තා පමණක් නොවෙයි, හැකි සෑම විටම මම රූපණය පිළිබඳ නව දැනීම් සම්භාරයක් විශාල පිරිසකට නොමිලේ ලබා දුන්නා. හැබැයි ඒ හැම දෙයකින්ම ප්‍රසිද්ධියක් ලබා ගැනීමෙන් මා හැම විටම වැලකුණා.

විවිධ වෘත්තීය නළු නිළියන්, නවක නළු නිළියන්, රූපවාහිනී නිවේදක නිවේදිකාවන්, නාට්‍ය හා රංග කලා ගුරුවරුන් බොහොමයක් අරභයා මා පසුගිය වසර 39 ක කාලය මුළුල්ලේම ක්‍රියාත්මකව සිටියා. නමුත් මේ තමා මා මුල්වරට නිශ්චිත රූපණ පාඨමාලාවකට පිවිසෙන්නේ.

* ඒ සදහා ඩිල් ෆිල්ම්ස් සුදුසුම තැන වන්නේ ඇයි?

ඩිල් ෆිල්ම්ස් අධිපති ප්‍රවීන් ජයරත්න මහතා මට මේ ආරාධනාව කරන්නේ මේ පාඨමාලාව සඳහා මට අවශ්‍ය කරන, මා ඉල්ලා සිටින සියලුම යටිතල පහසුකම් සූදානම් කර අවසානයේදීයි.

ලොව පුරාම වසන මිනිසුන්ගේ ජීවිත අර්ථකථනය කිරීමේ වගකීම තමන්ට පවරා ගත් අයටනේ නළු නිළියන් කියන්නේ. හැබැයි ඒක හරිම බැරෑරුම් වැඩක්. ඒ සඳහා නළුවා චරිත නිරූපණ කලාවත් චරිත නිරූපණ විද්‍යාවත් එකසේම හැදෑරිය යුතු වෙනවා. රූපණයට අදාළ “සිදත් සඟරාව” හැදෑරිය යුතු වෙනවා.

ඒ ව්‍යාකරණයට අද වේදිකාව පමණක් නොවෙයි චිත්‍රපටය, රූපවාහිනිය, ගුවන් විදුලිය Voice Acting ඇතුළත්. මේ නිසා අද රූපණය ඉගෙන ගැනීම වගේම උගැන්වීමත් ඉතාම ප්‍රශස්ත මට්ටමක සිදුවිය යුතු වෙනවා. ඩිල් ෆිල්ම්ස් ආයතනයේ මුළුමණින්ම වායු සමනය කළ පුහුණුවීම් ශාලාව, කුඩා චිත්‍රපට ශාලාවන්, කැමරා උපකරණ, මයික්‍රෆෝන මේ කාර්යය සඳහා මුළුමණින්ම යෙදෙවෙනවා. ඒ නිසාම මා දන්නවා එය ඩිල් ෆිල්ම්ස් ආයතනය මේ සඳහා එළැඹෙන්නේ හුදු ලාභ ප්‍රයෝජන ලැබීමේ අවශ්‍යතාවයකින් නොවන බව. මා මේ වැඩේට එකඟ වෙන්න ප්‍රධාන හේතුවත් එයයි.

* ඔබ ඉගැන්වීමට නියමිත විෂය අන්තර්ගතය කුමක්ද?

ඔබ ඉතාම වැදගත් වගේම කෙටියෙන් පිළිතුරු දීමට අසීරු ප්‍රශ්නයක් නගන්නේ.

වර්ෂ 1923 දී මේ ලෝකයේ ඉතාම බලසම්පන්න, ඒ වගේම දේශපාලනික වශයෙන් ඉතාම පසමිතුරු රාජ්‍ය දෙකක් අතර ඉතාම සිත්ගන්නාසුළු සංස්කෘතික හුවමාරුවක් සිද්ධ වෙනවා. ඒ තමා සෝවියට් දේශයේ මොස්කව් ආර්ට් තියටර් නළු මුළුවේ අමෙරිකානු එක්සත් ජනපද සංචාරය. මෙහි ප්‍රධානත්වය දරන්නේ රූපණ විෂය ක්ෂේත්‍රයේ ලෝක විප්ලවය සිදු කළ කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලවුස්කි යි. නළුවා නැමැති ප්‍රපංචයේ මනෝ කායික යාන්ත්‍රණය පිළිබඳව විශ්මය ජනක ගවේෂණයක් මඟින් නූතන ලෝකයට අදාළ විශිෂ්ටතම රූපණ ක්‍රම වේදය හෙවත් Method of Physical Actions බිහිකළ ස්ටැනිස්ලවුස්කිට මේ එක සැරයෙන්ම අමෙරිකානු රූපණ ක්ෂේත්‍ර‍යට මහත් බලපෑමක් කරනු හැකි වෙනවා. ඔහුගේ ක්‍රමයෙන් මහත් ආභාසයක් ලබන ප්‍රබල අමෙරිකානු රූපණ කලා විශාරදයන් පස් දෙනෙකු ගැන මම කියන්නම්. ඒ තමා ලී ස්ට‍රාස්බර්ග්, ස්ටෙලා ඇලර් , හැරල් ක්ලූමන්, සැන්ඩි මයිස්නර්, එලියා කසාන්.

මේ පස් දෙනා ස්ටැනිස්ලවුස්කිගේ ක්‍රමවේදය අමෙරිකාව පුරා ව්‍යාප්ත කළා පමණක් නොවෙයි, එය වඩාත් වැඩි දියුණු කර එකිනෙකාට අනන්‍ය කරගැනීමටද වෑයම් කළා. ප්‍රතිඵලය වූයේ බොහෝ විට බොහෝ දේට සිදුවන විදිහට ඒවා එකිනෙක විනාශ වී යෑම නොවේ. ප්‍රබල ගුරුකුල වශයෙන් මේවා අද දක්වාම පැවතීමයි.ඊට හේතුව වෙන මොකක්වත් නොවෙයි, මෙම රූපණ විද්‍යාවේ පදනමේ පැවති ප්‍රබලකම ම තමයි. එහෙත් මේවා අතරින් ලෝකයේ බොහෝ රටවල රංගන පාඨශාලා තුළ සැන්ඩි මයිස්නර් දියුණු කළ ස්ටැනිස්ලවුස්කි ක්‍රමවේදය ජනපි‍්‍රයයි.

ලෝකයේ බොහෝ රටවලදී මේ බොහෝ ක්‍රම සමඟ කටයුතු කරන්නට මට අවකාශ ලැබුණා. ඉතින් මා හිතනවා ඒවා නොකඩවා හැදෑරීමේ ප්‍රතිඵලයක් වශයෙන් Method of Physical Actions උගැන්වීම සඳහා අපටම අනන්‍ය වූ ක්‍රමයක් මා සොයා ගත්තා කියලා. කෙටියෙන් කීවොත් එය තමා මෙම පාඨමාලාව පුරා ක්‍රියාත්මක වන විෂය අන්තර්ගතය.

* අද දවසේ සිනමා රංගන ලෝකයේ ශී‍්‍ර ලංකාව ස්ථානගත වී ඇත්තේ කොතැනද?

අප එය මැන බැලිය හැකි ස්ථානයක් වශයෙන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සලකනවා නම් පසුගිය දශක කීපය තුළ එහෙම ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වූ චරිත නිරූපණ ගණනාවක් තිබෙන බව අපට පෙනෙනවා. හැබැයි පුදුමයකට වගේ ඒවායින් වැඩිම ප්‍රමාණයක් ස්ත්‍රි චරිත නිරූපණයි. අපේ රූපණ කලාකාරියන් බොහෝම දෙනකුට තමන් නිරූපණය කළ චරිතවල පැවැති භාවාත්මක ස්වභාවය කිසියම් මානවවාදී පර්යාලෝකයක් ඔස්සේ ප්‍රකාශයට පත් කරන්නට හැකි වී තිබෙන බව එයින් පෙනෙනවා. එය රටකට රූ රැජන තරගයකින් ජයග්‍රහණයක් ගෙන එනවාට වඩා විශිෂ්ට තත්ත්වයක් බවයි මගේ පෙද්ගලික අදහස.

* රංගනය නම් මහා විෂයයෙන් සිනමා රංගනය වෙන් කර ගන්නේ කෙසේද?

රංගනය යන්න ලෝකයේ පැරණිතම ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය විදිහට සලකන නාට්‍ය කලාවටත් වඩා පැරණියි. අප දැන් පිළිගන්නවා ලෝකයේ නාට්‍ය කලාවන් බිහිවන්නටත් පෙර පටන්ම මනුෂ්‍යයා තත්ත්වානුරූපණය Improvisation භාවිතා කළ බව. ඒ කෙසේ වෙතත් රූපණය කලාවක් වශයෙන් වර්ධනය වෙන්නේ නාට්‍ය කලාව නිසයි. අදත් ලෝකයේ ශ්‍රේෂ්ඨතම රඟපෑම් පිළිබදව හදාරන්නට අප හැරෙන්නේ නාට්‍ය කලාව දෙසට තමයි. හැබැයි සිනමාව බිහිවීමත් සමඟ රූපණය කලාවක් වශයෙන් එයට යා හැකි අතිශය සියුම් තැන්වලට ගමන් කළා කියලයි මම හිතන්නේ. ඒ පිළිබදවත් මේ පාඨමාලාව විශේෂ අවධානයක් යොමු කරනවා. එය ටෙලි නාට්‍ය කලාවටත් එකසේම වැදගත් වෙයි.

අපේක්ෂකයන් සියලු විමසීම් කලයුතු වන්නේ බත්තරමුල්ල තලාහේන ඩිල් ෆිල්ම්ස් ආයතනයේ 0112 789827 , 0773 305805 , 0777 353747 යන අංක වලින් මෙන්ම ඩිල් ෆිල්ම්ස් ෆේස්බුක් පිටුවෙන්ද [email protected]  යන විද්‍යුත් ලිපිනයෙන්ය.