වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




මොන කෙහෙල්මලට ද තමුසේ එහේ ගියේ ?’

මොන කෙහෙල්මලට ද තමුසේ එහේ ගියේ ?’

‘උඹ කාගේ හයියක් අර ගෙන ද ළමයෝ පොලිසි ගානේ රස්තියාදු වුණේ’

තාත්තා කෑ ගෑවේ වහලේ උළු ඉහළ විසි වන තරමටය. තාත්තා කිසි දවසක මේ තරම් තදින් කතා කරනු බිනරි අසා තිබුනේ නැත.

චුට්ටං මුදලාලි එදා ගෙදර ආවේ වෙනදාට කලිනි. ඔහු ගෙට ගොඩ වුනේම බිනරි කොහේදැයි අසමිනි. විමලා දන්නේ ඇය කාමරයේ සිටින බව පමණකි.

‘බිනරි’

තාත්තා ගේ කෑගැසුම ඇසුණු බිනරි උඩ ගිහින් බිම වැටිණ. වෙනදා ඇය අමතා තාත්තා නම කියා කතා කරන්නේ නැත. ඇය චුට්ටං ට සුදූ විය. ඇයත් තාත්තාත් අතර පසු ගිය කාලයේ තිබුණේ කතා නොකළ සම්බන්ධයකි. චුට්ටං මුදලාලි බිනරිට වුවමනා නම් ඉර හඳ වුව ද අරන් දෙන්නට සූදානමින් සිටියේය. ලෑලි තට්ටුවක පළතුරු විකුණමින් සිටි තමා චුට්ටං මුදලාලි ගේ තත්වයට උසස් කරවනු ලැබුවේ දියණියගේ උපතින් පසු බැව් ඔහු විශ්වාස කළේය. කුඩා දවස්වල නිරන්තරයෙන් තම අත සුරතලයට බඳුන් වූ දියනිය හිටි අඩියේ ලොකු මහත් වූ පසු දුරස් ව ගියේය. බාල කල්හි මෙන්ම යළිත් සුරතලයට ගන්නට මුල් දවස් වල තැත් කළ ද බිරින්දෑ හෙමින් සීරුවේ තමන් එයින් වලක්වා ගත් අයරු ඔහු සිහිපත් කළේය.

‘දැන් මහත්තයෝ ඒකි පොඩි ළමයෙක් නෙවේ නේ’

ඇය කියා සිටියාය.පාසලෙන් පසු බිනරි ගෙදරටම කොටු විය. ඇයට වුවමනා ඕනෑම දෙයක් ඇය පැවසුවේ අම්මා හරහාය. දිනෙන් දින සරුවට වැඩෙන ව්‍යාපාරය දෙස බලමින් සතුටු වුන චුට්ටං සිත ගත දෙකම යෙදවූයේ එය දියුණු කරන්නටය. ඒ අනුව කඩයටම සින්න වුණ චුට්ටං ගේ කාලයෙන් දියනියට වෙන් කරන්නට වෙලාවක් ද නොවීය.ඇය විනෝද් සමග නාට්‍යයක ට සම්බන්ධයැයි ඔහුට කනින් කොනින් අසන්නට ලැබුන ද ඒ ගැන විමසීම අම්මාගේ කාර්යක් යැයි සිතා ඔහු ඒ ගැන විමසා නොසිටියේය.

අද දහවල් චුට්ටං මුදලාලි ට රත්නසිරි රාලහාමි හම්බවුණේ අහම්බෙන් මෙනි. පසුගිය කාලයේ රත්නසිරි රාළහාමි චුට්ටං මුදලාලිට බඩ බැඳගත් සහෝදරයෙක් මෙන් විය. රාළහාමි කොළඹ පොලිසියකට පැමිණියේ අනුරාධපුර පැත්තේ සිටය. එක් නිවාඩුවක බස් රථයට ගොඩ වන තුරු චුට්ටං මුදලාලිගේ කඩේ ගමන් මල්ල තබා ගන්නට ගිය හිතවත්කම බොහෝ දුර ගියේය. අනුරාධපුරයෙන් ඉඩමක් ගන්නට චුට්ටං ට සොයා දුන්නේ රත්නසිරිය.

‘අද මුදලාලි ගේ දුව ආවානේ පොලිසියට.මං වෙලාවට ඇඳීන ගත්තා. පණිවිඩයක් දුන්නා නම් ඉවරයිනේ’

රත්නසිරි චුට්ටං පෙන්වන්නට කලින්ම පුටුවක වාඩිවිණ. විනෝද් පොලිස් කූඩුවේයැයි චුට්ටං දැන ගත්තේ ඒ දවසේය.රත්නසිරි රාළහාමි තමා පොලිසියට ආ විත්තිය තාත්තාට කියාවියැයි බිනරි බලාපොරොත්තු වූයේ ද නැත. එය සිදුවූයේ අහම්බෙනි. පොලීසියටගිය බිනරිට පොලිස් කූඩුවේ වාඩි වී සිටි විනෝද් දැක හෝස් ගා පත්තු වූයේය.ඔහු ගේ මුහුණේ තිබුණේ ඇඬූ ලකුණු දැයි ඇය කල්පනා කළාය. ඔහු ගේ මුහුණ මැළ වී තිබිණ.

‘ඒ මිනිහ ඔය ළමයගේ කවුද ?’

පොලිස් නිලධාරියා විමසුවේ බිනරි අන්දමන්ද කරවන ආකාරයෙනි.හොඳ වෙලාවට දසයා ටෙලි නට්‍යය දෙක තුනක මුහුණ දමා පෙනී තිබීමත් ඒ ටෙලි නාට්‍යය පොලිස් නිලධාරින් දැක තිබීමත් වාසියට හේතු විය.

‘දැකල පුරුදුයි’

පොලිස් නිලධාරියා දසයාට පැවසුවේය. දකුණු පළාතෙන් කොළඹ පැමිණ රට අල්ලා ගැනීමේ හැකියාව තරමක් දුරට දසයාට ද තිබිණ. වැඩක් ගන්නට දසයාට ඒ ටිකම ඇත.

‘අපේ යාළුවෙක්. අපි එකට නාට්‍යය කරන්නේ‘

දසයා පැවසුවේ තරමක් බැගැපත් වෙමිනි.

‘ලබන සතියේ අලුත් නට්‍යයක් හදලා පෙන්වන්ඩ ඉන්නේ. ඒ ටිකට තමයි. මේ ලෙඩක් පැටලුණේ’

‘නාට්‍ය කොයි හැටි වෙතත් මිනිහා ගෙවල් බිඳලා තියෙන්නේ.අර ලක්ෂ්මන් ගේ. ගෙදර තිබුණ රත්තරන් බඩු ටිකට වැඩේ දීල නේ. මූ කියන්නේම මං දන්නේ නෑ කියලානේ’

රාළහාමි පැවසුවේ තරමක් උස් හඬිනි.

‘ඊයේ අපි බෝඩිමේ නේ හිටියේ.’

‘රෑ එළියට ගියා කියලා එතැන හිටිය එකෙක් කිව්වේ’

ගත වූ රාත්‍රි කාලයේ ලක්ෂ්මන්ගේ නිවස ට ඇතුළු වූවෙක් එහි උකසට ගෙන තිබූ රත්තරන් භාණ්ඩ රාශියක් සොරකම් කර තිබිණ. උදේ පාන්දර බ්‍රහ්ම මූර්තියෙන් අවදි වූ ලක්ෂ්මන් දෙවියන්ට පහන තබන්නට සැරසෙද්දී දුටුවේ කාමරයේ තිබුණු අල්මාරිය බාගෙට ඇර ඇති වගය. හතර වටින් උගස් ගත් රත්තරන් බඩු මෙන්ම ඉඩකඩම් ඔප්පු ද ඇප නැතිව දීමට මුදල් ද තිබුණේ එහිය. එය මුලින් ලක්ෂ්මන්ගේ ඇසට අසුවුණේ නැත.ඔහු දුම්මල පුරවා ගත් සුවඳාලේපය අල්මාරිය වෙත යොමු කරද්දි මොකක් හෝ වෙනසක් සිදුව ඇති බව තේරුම් ගත්තේය. දුම්මල වරම අතට ගත් කපුවකු ඔහුට ආවේශ වූයේය. ඔහු අල්මාරිය ඇර බැලුවේය. හිස ගිනි ගත්තේය. ඒ වන විටත් පිබිද සිටි බිරින්දෑ දුව ගෙන ආවේ ඒ කෑ ගැහිල්ලටය. කෝසල දුව ගෙන ආවේ තවත් වරක් කෑ ගෑ පසුය. ඔවුන් ඊළඟට දිව ගියේ පොලීසියටය. අනුන්ගේ රත්තරන් බඩු ලක්ෂ්මන් ගේ ඉහ මොළ රත් කර තිබිණ. රාලහාමි ලා කිහිප දෙනෙක් අඳුනා ගෙන සිටීම ඔහුගේ වාසියට හේතු වූයේ ඒ වෙලාවේය. එක් රාලහාමි කෙනෙකුට සිහිපත් වූයේ මාස් පතා ගෙවන්නට ඇති පොලි කන්දරාවෙන් කීයක් හෝ අඩු කරගන්නට මේ උදව්ව හොඳම වෙලාව වන බවය. ඔවුන්ගේ උනන්දුව වැඩි වි තිබිණ.

‘සැක කරන්නේ කවුද ?’‘

‘මට කවුරුවත් සැක නෑ’

ලක්ෂ්මන් පැවසුවේය. කෝසල ලක්ෂ්මන්ගේ කනට කර යමක් සිහිපත් කළේ ඒ වෙලාවේය. ලක්ෂ්මන් ගේ ඇස් උඩ ගියේය. තම සේවකයා පිළිබඳ කෘතවේදී හැඟීමක් ඇති විය.

‘විනෝද් කියලා හාදයෙක්. ගැන මට සැකයි’

ඒ සැකය ලක්ෂ්මන් ගේ වාසියටත් විනෝද් ගේ අවාසියටත් හේතු විය. පොලිසිය මුලින් ගියේ විනොද් ගේ නිවසටය. ඔහු එහි නොවීය. ඉන්නා තැන පිළිබඳ ඔත්තුවෙන් සෑහිමට පත් වූ ඔවුහු අනතුරුව එහි ගියහ. අවාසනාවට එකිනෙකා ගෙන් වෙන වෙනම ප්‍රශ්න කරද්දි රාත්‍රියේ දොර හැර විනෝද් එළියට බට විත්තිය සගයෙක්ගෙන් කියැවිණ. ඒ එළියට ගියේ නින්ද නොයා එලිපත්ත ට වී සිටීමටයැයි පිළිගන්නට පළපුරුදු පොලිස් නිළධාරින් කැමැතිවූයේ නැත.

‘ඔයා හිතන්නේ මං ඒ වැඩේ කළා කියල ද ?’

විනෝද් ඇසුවේ හිත කම්පා කරමිනි. බිනරි සුසුමක් හෙලුවාය.

‘බඩගින්නේ මළත් මං ඒ වගේ ජරා වැඩ කරන්නේ නෑ.මේක මගේ කරුමයක් වෙන්ඩැති. හැබැයි මං ඕකව ඉතුරු කරන්නේ නෑ’

විනෝද් ගේ මුහුණේ ඇති වුණ කෝපය වෙන කවරදාටත් වඩා තීරණාත්මකයැයි බිනරිට සිතිණ.

‘අපි මචං කොහොම හරි උඹව එළියට ගන්නං කෝ’

දසයා බලාපොරොත්තු පළ කළේය. ඔහු සමග බිනරි ආපසු එද්දි විනොද් ගේ පියා පොලිසියට එනු පෙනිණ. බයිසිකලය තල්ලු කර ගෙන පැමිනි ඔහු එකවරම මහලු වී ඇතැයි ඇයට සිතිණ.

‘මගේ එකා හිතුවක්කාරයා තමයි. හැබැයි මං මේක විශ්වාස කරන්නේ නෑ.’

ඔහු ගේ මුහුණේ ලේ හිඳී ඇතැයි බිනරිට සිතිණ.

‘ඔය ළමයා යන්න.මේ වගේ තැන් වල රස්තියාදු වෙන්න ගිහින් චුට්ටං මුදලාලිගෙන් බැණුම් අහන්න වෙයි.’

ඔහු බයිසිකලයේ හැඬලය අත ගාමින් පැවසුවේය.

ඔහු ගෙන් සමුගෙන ආපසු එන බිනරි පසු කර ගිය පොලිස් නිළධාරියෙක් ඇය දැක ආපසු කතා කළේය.

‘මේ චුට්ටං මුදලාලිගේ දුව නේද ?’

බිනරි හිස වැනුවාය.

‘මොකද මෙහේ ?’

ඔහු ඇසුවේ දසයා දෙස විමසුම් බැල්මක් හෙළමිනි.බිනරි කාරණාව පැවසුවාය.

‘ඔය ළමයාගෙදර යන්ඩකෝ’

ඔහුගේ වචනය කාරුණික එහෙත් ස්ථිර විධානයකි. බිනරි එයට කීකරු වූවාය.

‘ඒක ඒ මිනිස්සු බේරා ගනිවි.මොන කෙහෙල්මලට ද තමුසේ එහේ ගියේ ?’

චුට්ටං ආයෙත් විමසුවේය.තාත්තා ගේ පැනයට උත්තර දෙනවාට වඩා නිහඬව සිටීම වැදගත් බව බිනරි ගේ ගැහැනු මොළයට වැටහිණ.

‘අඩුම ගණනේ තමුසේ දන්නනෙවත් නැද්ද කොහෙද ගියේ කියලා’

ඒ ප්‍රශ්නයට අමමා නිරුත්තර වූ අයුරු බිනරි දුටුවාය. ඇය දියනිය දෙස බැලුවේ දවා අළු වී යන ආකාරයෙනි.

‘බිඳලා තියෙන්නේ ලකියාගේ ගේ. ඌ අපිටත් හදිස්සියට ඕන කරන මිනිහෙක්. මෙයා උගේ ගේ බින්ද එකා බලන්න ගියාම ඌ හිතන්නේ මොනවාද? අනික් අහල පහල මිනිස්සු හිතයි....’

චුට්ටං කියන්නට ගිය දේ නොකියා ගිල ගත්තේය. බිනරි කිසිත් නොකියා යටි තොල විකා ගනිමින් බලා සිටියාය.

‘මින් පස්සේ තමුසේ ගෙයින් පිට අඩියක් තියලා තිබුණොත් තාත්තා නරකයි කියන්න එපා’

චුට්ටං අනතුරු හැඟවූයේය.