වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඔස්ටින් අයියා වූ ටයිටස් යන්නට ගියේය

ඔස්ටින් අයියා වූ ටයිටස් යන්නට ගියේය

හැමෝම ජැක්සන්ගේ අයියා කිව්වොත් මට නමක් කෝ

“චූටි කුරුල්ලනි චූටි බටිත්තනි

පියාසලා අහසේ

රංචු ගැසී පියඹන්න ඉතිං ඔබ

ලස්සන ආකාසේ

කන්ද උඩින් අර ලස්සන හිරු නැඟ

ලොවම එළිය කරනා

කුරුලු හඬින් මුළු ලොවම අවදිකර

දවස උදා වෙනවා...”

දයාබර සේනක අයියේ,

කූඹියෝ ජවනිකාවක්

ඔබ පද ගෙතූ ගීතයේ පරදිම සුපුරුදු ලෙස ම හිරු පායා ආවේ කන්ද උඩින් එබී බලමිනි. ඒ හිරු කිරණ වැද මලින් මලට පනිමින් මල්වලට රහසක් කියන චූටි බටිත්තකු අපේ නිවෙසේ මිදුලේ සරුවට වැවී ඇති ඇට්ටේරියා රුකේ කොළ අතර සැඟව ගියේ මිහිරි නාදයක් නඟමිනි. ඒ හිරුගේ රශ්මිය වැදී දිලෙන පිනිබිදුවක් ඇට්ටේරියා රුකේ එක් පත්‍රයකින් තවත් පත්‍රයකටත්, ඒ පත්‍රයන් තවත් පත්‍රයකටත් පැමිණ එහි අගිස්සේ දිලිසුණි. ගතවූයේ නිමේෂයකි. ඒ දිලිසෙන පිනිබිඳුව අතුරුදන් වූයේ එහි සුන්දරත්වය විඳීන්නට හරබරි ගැසී සිටි මගේ නෙතටත් හොරෙනි. එසැණින් මගේ සිතට පිවිසියේ ශෝකයකි. හරියට ම ඔබත් ඒ පිනිබිඳුව මෙන්යැයි සිත මට සිහින් හඬින් මුමුණණු මම අසා සිටියෙමි.

“ජීවිතය තණ අග පිනිබිඳුවක්”

ඒ ලෝ දහම සිහිපත් කර ඔබ අප අතැර යන්නම යන්නට ගියේ ය. ඒ පසුගිය 30 වැනිදා ය. එදින සැන්දෑව ශාන්ත පේදුරු පාවුළු දෙවුමැදුරට අයත් සුසාන භූමියේ පැවැතියේ දැඩි නිහඬතාවකි. ඒ නිහඬ බව දරන්නට බැරි නිසා දෝ වෙනදාටත් කලින් අඳුර පැමිණිණි. හෝරා කිහිපයකට පසුව ඒ රාත්‍රියේ කට්ට කරුවල මකා දැමීමට මෙන් සෙමෙන් සෙමෙන් පතිති වුණු වැහි බිඳ එක දෙක ඔබ අසලට ළං වූයේ ඔබට තනි රකින්නට මෙන්ය. ඒ දක්වා ඔබට තනි රැක්ක වැහිබිඳු සෙමෙන් ඔබට සමුදුන්නේ ඊට පසුදා අලුයම හිරු නැඟෙන මොහොතේදී ය. තවමත් වැහිබීරම් පානා අහස් ගැබ ඔබ අහිමි වීමේ සෝකය අපට කියාපාන්නාක් වැන්න.

ඒ සෝකය අපට සිහිපත් කරන්නේ ඔබ මීට ටික දිනකට කලින් කළ විදෙස් සංචාරයයි. ඒ අජිත් මෙන්ඩිස්ගේ ‘අලුත් හොරෙක් ඕනෑ’ වේදිකා නාට්‍යය වේදිකා ගත කිරීම සඳහා ඔබ සිංගප්පූරුවට ගිය ගමනයි. එහි ඔබ පිවිසෙන්නේ විසිවැනිදා දිනයේ සිය වේදිකා නාට්‍යයේ අනෙක් සඟයන් වූ රොෂාන්, ජූඩ්, සමන්, අජිත් ඇතුළු පිරිසත් සමඟ ය. මධුවිත සිය මිතුරකු කරගෙන සිටි ඔබ ඒ දින කිහිපයේ ඉන් ඉවත සිටින අයුරු දුටු ඔබගේ ගමන් සඟයා අජිත් ඔබට කළේ විහිළුවකි.

“ඔය කිසි ප්‍රශ්නයක් නැහැ වෙනදා වගේ පොඩ්ඩක් ගත්ත නම්”

මඳක් හතියක ස්වභාවයක් පැමිණි හෙයින් අජිත් ඔහුව වෛද්‍යවරයා අසලට රැගෙන යන අතරතුර පැවසුවේ සිනහවක් මුවට නංවා ගනිමිනි. ඔහුගේ මුවඟටද නැඟුණේ සිනහවකි. 22 වැනිදා සිංගප්පූරුවේ සිංහල වේදිකා නාට්‍යයක් වේදිකා ගත කරන ලද්දේ වසර විසිපහකට පසුව වූ බැවින් ඔවුන් සේනක ඇතුළු පිරිස පිළිගනු ලැබු‍වේ උණුසුම් අයුරෙනි. ඒ උණුසුම කොතරම් ද යත් ඔවුන්ට ඉස්තරම්ම වර්ගයේ මධුවිත සහිත පාන වර්ග කිහිපයක් ම ත්‍යාග සඳහා ද ලැබී තිබිණි.

“ගෙදර ගිහින් ම ගමු”

ඉන් එකක් විවෘත කිරීමට විමසූ කලෙක ඔබ පැවසුවේ අනෙක් අයවත් වළකමිනි. ඊට පසුදා සාප්පු සවාරියේ යෙදුණු ඔබට තිබුණු එකම බලාපොරොත්තුව වූයේ සිය මිනිබිරියගේ උපන්දිනය යෙදෙන 24 වැනිදා දිනයේ ඈට තෑගි දීමට අවශ්‍ය බොහෝ දෑ ගැනීම ය. පසුව ගුවන්ගත වීමට තිබුණු 23 වැනිදා ගුවන්තොටුපළට පැමිණි පිරිස 12.15ට පමණ ගුවන්තොටුපළේ ඉඳගෙන සිටියේ ගුවන්යානයට නඟින්නට ඉඩහසර ලැබෙනාතුරු ය.

“ගෙදර යං...... ගෙදර යං.......”

කිහිපවරක්ම ඉඳගෙන සිටි අසුනෙන් නැඟිට ගත් ඔබ අජිත්ට පැවසුවේ අසිහියෙන් මෙනි. ගුවන්යානයට නැඟීමට විනාඩි කිහිපයක් තව ඉතුරුව ඇති බැවින් අජිත් ඔබව වැළැකුවේ ය.

“වොෂ්රූම් එකට යනවද?”

අවසන් වතාවට අජිත් ඔබ හා කතා කළේ ඒ වදන් කිහිපයයි.

“නැහැ. ගෙදර යමු.”

ඔබගේ මුවඟේ රැව්දුන් එකම වචනය වූයේ එයම ය. එහෙත් හදිසියේ ම ගුවන්යානයේ දොරටුව පෙනි පෙනී ඔබ සිහිසන් වූයේ නොසිතූවිරූ අයුරෙනි. ඉක්මනින් එහි පැමිණි වෛද්‍යවරයා පැවසුවේ ඔබට තිබෙන අසනීප තත්ත්වය මත ඒ ගුවන්යානයේ ගමන් කළ නොහැකි බවකි. රොෂාන්, ජූඩ් හා සමන් නතර වීමට සැරැසුණද එහි පරිපාලනයෙන් ඊට ඉඩ නොලැබිණි. ඒ නිසා අජිත් ඔබ ළඟ නතර විය. ඔහු ඔබව චෙංගි රෝහලට වහා රැගෙන ගියේ එසැණින් ය. ඔබ දිගින් දිගටම සිටියේ සිහිය මඳ ගතිය ඇතිව ය. වකුගඩු හා අක්මාවේ ඇතිවුණු අක්‍රියත්වය නිවැරැදි කළ ද ඔබගේ සිහිය නිවැරැදි නොවීම ඒ වනවිටත් වෛද්‍යවරුන්ට තිබුණු ගැටලුවයි. ඒ නිසා අවසානයේ ඔබව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලද්දේ පළ කළ අක්‍රිය තත්ත්වය මතම ය. පණිවුඩය ලද විගසම ඔබගේ පුතුත්, සහෝදරයා ජැක්සන් ඇන්තනිත් ඔබව සොයා සිංගප්පූරුවට පිවිසියේ කඩිනමිනි. එහෙත් 26 වැනිදා රාත්‍රියේ අප සියලු දෙනා අතැර දමා ඔබ යන්නම යන්නට ගොස් තිබුණු බව දැන ගැනීමට ලැබුණේ ජීවිතය මේ යැයි පවසමිනි.

ඔබ ජනතාව අතර එකල වඩාත් ප්‍රචලිත වූයේ නළුවකු ලෙස නොවේ. ළමා පුවත්පත් කතුවරයකු ලෙස ය. මල්ටි ෆැක්ස් ආයතනයෙන් පුවත්පත් කලාවට පිවිසි ඔබ ආරම්භක ළමා පුවත්පතක් වූ ‘රන්කැටි’ ළමා පුවත්පතේ ආරම්භක කතුවරයා විය. ‘කැකුළු’, ‘රන්කැටි’, ‘මී පැණි’, ‘බන්ටි’ ආදී ළමා පුවත්පත් රැසක කතුවරයකු මෙන්ම උපකතුවරයකු ද වී සිටි ඔබ ව මට මුණ ගැසෙන්නේද මා පුවත්පත් දිවියට අත්පොත් තැබූ අවධියේම ය.. ඒ මීට වසර දොළහකට පෙර ‘සත්දින’ පුවත්පතේදී ය. මා පසුව කතුවරියක වූ ‘ළමා ශිල්ප’ ළමා පුවත්පතේ ආරම්භක කතුවරයා වූයේ ද ඔබම ය. මමත්, දීපා අක්කාත්(අද රිවිර පුවත්පතේ), බුද්ධිනි (බුද්ධිනි ජයවර්ධන)ත්, භාතිය අයියාත් (භාතිය මදනායක) එක පෙළකත්, ප්‍රධාන කතුවරයා වූ එම්.එස්.එම් අයුබ් මහතාත්, උප කතුවරයකු වූ ශ්‍රීලාල් හා ප්‍රවෘත්ති කතුවරයකු වූ සුනිල් මහතාත් අනෙක් පෙළකට සිටින කාර්යාලයේ ඔබේ අසුන තිබුණේ සියල්ලන්ටම මැදිනි. කාර්යාලයට පිවිසෙන සෑම විට ම කුමක් හෝ විහිළු කතාවක් පවසා දවස ආරම්භ කරනා ඔබගේ දසුන සියල්ලන්ටම ප්‍රිය වූ බව මම දිනිමි. නිතරම සිනහ මුසු මුහුණින් සිටින ඔබට සිනහ වී විහිළුවක් කිරීමට අලුත් හෝ පරණ කියා භේදයක් නොතිබුණු වග මට මතකය. ඔබගේ ළමා පුවත්පතට ළමා කතා, ගීත ලියන ලෙස පවසන ඔබ පුවත්පත් ලෝකයේ ප්‍රවීණයකු යැයි නොසිතෙන තරමටම සියල්ලන් හා සුහදව විසූ අයුරු මගේ මතකයට නැඟේ. මධ්‍යහ්නෙන් පසුව මධුවිත සමඟ සුහද වන ඔබ සෙමන් සෙමෙන් සිය අසුනට පා නඟන්නේ කාටත් හොරෙන් මෙනි. කිසිවක් නොකළ අයකු මෙන් එහි පිවිස ජාතික පුවත්පතේ ඔබට භාර වූ ලිපියක් ලියන්නේ ඔබගේ හොරය අපට අසූවූවාදැයි හොරොන් බලමිනි.

“මොකද සේනක අයියේ.....”

දීපා අක්කාගේ විමසීමත් සමඟ මාත්, දීපා අක්කාත් හඬා නඟා සිනහසෙන්නේ ඔබගේ හොරය අපට අසුවී හමාර බැවිනි. එවිට ඔබ බොහොම අවිහිංසක විදියට අප දෙස බලා සිනහ සෙන්නේ පැරැණි පුවත්පතක සිදු වූ රසබර කතාබහකට මුලපුරමිනි. කිසිවකුටත් කරදරයක් නොවී සිය රාජකාරිය කරන ඔබ කලක් ගතවීමත් සමඟ සත්දිනට ආයුබෝවන් කියන්නේ ඔබ කර්තෘත්වය දැරූ ළමා ශිල්ප පුවත්පතටද සමුදෙමිනි. ඔබගෙන් පසු ඒ කාර්ය පැවරෙන්නේ මට ය. ඔබව සිහිපත් කරන ඔබ කර්තෘත්වය දැරූ ළමා ශිල්ප පුවත්පත් කිහිපයක් අද ද මා සතුව සුරැකිව ඇත. යළිත් මට ඔබ ව මුණ ගැසෙන්නේ ඉන් වසර කිහිපයකට පසුව ලේක්හවස් ආයතනයට පැමිණි පසුව ය. එදින මා සරසවියේ නොසිටියද දුරකථන ඇමතුමක් දී සුවදුක් විමසීමට තරම් ඔබ සහෘදයකු වූ තරම මට අද මෙන් මතකය. ඔබ ඒ සම්මුඛ සාකච්ඡාව කරන්නේ මගේ වෘත්තිය සඟයකු වූ ප්‍රසාද් සමරතුංග සමඟිනි. ඒ සටහනේදී ඔබ කියූ කියමනක් අපේ මතකයෙන් කිසි දිනෙක අමතක නොවේ.

“ජැක්සන් ඇන්තනී මගේ මල්ලි. එයා මට වැඩියෙන් ගොඩක් ජනප්‍රියයි. ඒත් මම ආස නැහැ මාව ජැකාගේ අයියා විදියට හඳුන්වනවාට. ඔහුත් එක්ක තියෙන තරහක් නිසා නොවෙයි මා එහෙම කියන්නේ. තව බොහෝ කාලයක් එහෙම හැඳීන්නුවොත් සේනක ටයිටස් කියන මගේ නම යටපත් වෙලා යාවි. මට ඕන ඒ නමින්ම සමාජයට යන්නයි.”

සේනක ටයිටස් ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ අයියා වූ බව සැබෑ ය. එහෙත් කිසිදු දිනෙක ඔබ ඒ සිය මල්ලීගේ ප්‍රවීණත්වයෙන් බැබළුණු අයකු නොවේ. විවිධ දක්ෂතා රැසක් උරුම කරගෙන සිටි ඔබ ඒවා උරගා බලමින් ඉදිරියට ගමන් කළ සොඳුරු මිනිසකුම විය. පුවත්පත් කතුවරයකුගේ භූමිකාවේ නියැළුණද ඔබ දක්ෂ නළුවකු බව අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ. සමහර විට ඔබ ඔබගේ මල්ලී ජැක්සන් ඇන්තනීට වඩා සියම් ලෙස සිය චරිත නිරූපණයේ නියැළෙන්නෙකු යැයි සිතෙන වාර අනන්ත ය. එහෙත් ඔහුගේ සෙවණැල්ලෙන් ඔබගේ රංග ප්‍රතිභාව වැසී ගියා දෝයි අපට සිතෙන වාර නම් අනන්තය. මා මෙලෙස පවසන්නේ ජැක්සන් ඇන්තනී නම් ප්‍රවීණ රංගන ශිල්පියා පිළිබඳ අමනාපයකින් නොවේ. ඒ කලකට ඉහත “මෙතැනින් මාරු වෙනු” නාට්‍යයේ ඔබත් සොයුරු ජැක්සනුත් එකට රඟපෑ අයුරු අපගේ මතකයේ අමතක නොවන ලෙස රැඳී තිබෙන බැවිනි.

ඔබ රංගනයට පිවිසෙන්නේ ජැක්සන් ඇන්තනීගේ ම ‘ඇසළ කළුවර’ ටෙලි නාට්‍යයෙනි. ඉන්පසුව ‘අපූරු සහෝදරයෝ’, ‘සතර දෙනෙක් සෙන්පතියෝ’, ‘දස්කොන්’, ‘ශ්‍රී රජ’, ‘ගිනි අවි සහ ගිනිකෙළි’, ‘චෙස්’, ‘කූඹියෝ’ ආදී ටෙලිනාට්‍ය රැසකමත්, ‘අබා’, ‘ඇහැළේ පොළ කුමාරිහාමි’, ‘ඇඩ්ඩ්‍රස් නෑ’ ඇතුළු චිත්‍රපට කිහිපයකම ඔබගේ රංගනය අපට දැකිය හැකි විය. මෑත කාලයේදී විචාරකයන් හඳුන්වාදෙන අන්දමට ඔබගේ දෙවැනි උපත සිදුවන්නේ ‘ඇඩ්ඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ ඔබ රඟපෑ චරිතයෙනි. එය මෙතෙක් රඟපෑ ඔබගේ ස්වරූපය වෙනස්ම මානයක් වෙත රැගෙන ගොස් තිබිණි.

පුංචි තිරය, සිනමාව, වේදිකාව, පුවත්පත් කලාවේ යන සියලුම අංශවල සැරිසැරූ ඔබ වර්තමානයේ රූපවාහිනි නරඹන්නන්ගේ මහත් ප්‍රසාදය දිනාගෙන සිටියේ ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ඔස්ටින් අයියා නමැති මැරයාගේ චරිතය හරහා ය. ඒ හරහා බොහෝ ජන ප්‍රසාදයක් දිනා සිටින වකවානුවක ඔබගේ මේ නික්ම යෑම අප සියල්ලන්ගේ ම හදවතේ ඇති කරන්නේ ශෝකයකි. ඒ ශෝකය හදවතේ කුරුලු කර ගනිමින් අපි සියලලෝම සොයුරාණෙනි, ඔබට නිවන් සුව පතමු.

තිලානි ශානිකා විතානාච්චි

ඡායාරූපය - මාලන් කරුණාරත්න