වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




කවුරුවත් නිහඬ විය යුතු නැහැ

කවුරුවත් නිහඬ විය යුතු නැහැ

ගොළු තාත්තා තනා සම්මාන දිනූ ඔක්ෂාන් විජේරත්න

මෙවර පැවැත්වුණු සිග්නිස් සම්මාන උලෙළේ සම්මාන අටක් හිමිකර ගත් ‘ගොළු තාත්තා’ ‍ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේ ඔක්ෂාන් විජේරත්නයි. හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව හිමිකර ගත් ඒ සම්මාන රැස නිසා ‘ගොළු තාත්තා’ ටෙලි නාට්‍යය මේ උලෙළේදී කාගේත් අවධානයට ලක් වූ නිර්මාණයක් බවට පත්විය. එහෙත් එහි අධ්‍යක්ෂවරයා තමන්ට හිමි සම්මානය ගැනීමටද පැමිණියේ නැත.

* ඔබ සම්මානය ගැනීමට නොපැමිණියේ ඇයි කියන තැනින් ම කතාව පටන් ගනිමු?

මගේ සිතේ නැඟුණු ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් නම් ඇගයීමක් ලැබීමට මා සුදුසු ද යන්නයි. අනෙක් කාරණය නම් අපේ රටේ ඇගයීමක් ලබාදීමට එය දෙන අය සුදුසු ද යන්නයි. මා මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන්නේ වසර දහඅටක පමණ කාලයක පටන්. ඒ කාලය ඇතුළත ඉවසිලි සහගතව බලාගෙන සිටිද්දි ඕනෑ ම කෙනෙකුට වැටහෙන දෙයක් ගැනයි මා ඒ පැවසුවේ. ඔවුන් ඒ සම්මාන උලෙළේදි දෙන සෑම තීරණයක් ම පිළින්නත්, ප්‍රතික්ෂේප කරන්නත් මට පුද්ගල අයිතියක් තිබෙනවා. එහි නොයා සිටීමත් පුද්ගල අයිතියක් කියලයි මා සිතාගෙන සිටින්නේ.

* එහෙම නම් ඒ පුද්ගල අයිතියයි ඔබ මේ සම්මාන උලෙළේදි භාවිත කළේ?

අපේ රටේ සම්මාන උලෙළවල් පවත්වනවා. මා කුඩා කාලයේ පටන් ඒවා දකිනවා. මට තේරුම් ගන්න හැකි වයසේ සිට මා ඒවා නිරීක්ෂණය කරනවා. කලාව කියන්නේ ක්ෂේත්‍රයක්. එහි නිර්භීතව නියැළෙන පෞරුෂ සිටිනවා. යම් ඇගයීමකට ලක්වෙනවා නම් ඒ අයට අවශ්‍ය වටපිටාව සහ මේ සමාජයේ තිබෙන තම ක්ෂේත්‍රයට අවශ්‍ය වටපිටාව ගොඩනැඟෙන්න උවමනායි. එය විද්‍යානුකූල පසුබිමක් ඇතුළේ ඔප්පු විය යුතුයි. එයට තර්කයක් හා යථාර්ථයක් තිබිය යුතුයි. ඒ යථාර්ථය විඳීන සෑම අවස්ථාවකදි ම ඒ ස්ථානවලට නොයා සිටීම සහ ඒ ස්ථානවලින් ඉවත් වීමට මා සුන්දරව කැමැතියි. ඊට මා කාටවත් චෝදනා කරන්නේ නැහැ. බුද්ධිය අනුවයි සෑම කෙනෙක් ම තීරණ ගන්නේ. එහෙමත් නැත්නම් නැණ පමණින්. උගත්කම අනුවයි. එහෙමත් නැත්නම් ඒ අයගේ සමාජ වටපිටාව, ඇසුර අනුවයි. ඒ නිසා මට ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙයි. මා ව දිරිමත් කරන සියලුදෙනාට ම මා මුලින්ම ගෞරව කරනවා. වැරැදි වෙන්නේ මනුෂ්‍යයන්ටයි. ඒ නිසා මට එය ප්‍රශ්නයක් නොවෙයි. එය ගණන් ගත යුතු දෙයක් යැයි මා විශ්වාස කරන්නේ නැහැ. මූලික හේතුව එයයි. මා කිසිවක් ප්‍රතික්ෂේප කළේත් නැහැ. කිසිවක් වැලඳ ගත්තේත් නැහැ.

* වර්තමානයේ පවතින සම්මාන උළෙලවල් පිළිබඳ ඔබගේ අදහස මොකක්ද?

සමස්තයක් විදියට ලෝකයේ ඕනෑ ම ක්ෂේත්‍රයකට ඇගයීමක් ලැබෙනවා නම් ඒක ලැබිය යුතු කාරණාවක්. මේ රටට උවමනා කරන්නේ අලුතින් සිතන මිනිසුන්වයි. රටක සංවර්ධනයට අවශ්‍ය වන්නේ එවැනි මිනිසුන්වයි. ඒ ගොන්නේ ඉන්න මිනිස්සු කරන ඕන ම දෙයක් පිළිගත යුතුයි. එය නියැදියක්. නියථාර්ථයක්. ඊට විද්‍යාත්මක බවක් තිබෙනවා. විද්‍යාත්මක බවක් තිබෙන ඕනෑම දෙයක් මට වැටහෙන බුද්ධිය අනුව මා පිළිගන්නවා. ඒ අතර මේ කියන සම්මාන උලෙළවල් ඇතුළේදී සියලු දේ සිදුවිය යුත්තේ ඔන්න ඔය කාරණා උඩ බවයි මා සිතන්නේ.

* එසේ නම් සම්මාන උලෙළක් පැවැත් විය යුත්තේ යැයි ඔබ පවසන්නේ කුමන ආකාරයෙන්ද?

විවිධ ක්ෂේත්‍ර අතරින් කලා ක්ෂේත්‍රයේ ජීවත්වෙන පිරිසක් ඉන්න රටක, ඒ අයට ලැබිය යුත්තේ නිවැරැදි තීන්දු තීරණයි. ඒ අය විසින් පවත්වනු ලබන හෝ ඒ අනුසාරයෙන් බුද්ධිමත් පිරිසක්, ඒ ගැන සවිඥානික දැනුමක් තිබෙන පිරිසක් විසිනුයි සම්මාන උලෙළක් පැවැත්විය යුත්තේ. ඊට අනුග්‍රහය දක්වනවා නම් අපේ රටේ ඒ සඳහා අයිතිවාසිකම් කියන වාණිජ ආයතනත් තිබෙනවා. එවිට ඒවා භාවිත කළ හැකියි. ඒ නිසා මූලික වශයෙන් ම කලාව හෑල්ලු කරනවාට මා කැමැත්තක් දක්වන්නේ නැහැ. එහෙත් වාණිජ පරමාර්ථය සඳහා එය අපේ රටේ අද පාවිච්චි වන්නේ ඉතාමත් පහළ මට්ටමින්. ඒ සිදුවන දේටත් මගේ සිතේ කැමැත්තක් ඇත්තේ නැහැ. සම්මාන උලෙළවල් වාණිජ පරමාර්ථයත් රැකගෙන, ඒ පවත්වන ආයතනවල කීර්තියත් රැකගෙන, ශ්‍රේෂ්ඨ කලා කෘතිත් රැකගෙන, ශ්‍රේෂ්ඨ කලාකරුවනුත් රැකගෙනයි මේ සියලු කටයුතු සිදුවිය යුත්තේ.

* එහෙත් ඔබ පවසන්නේ අද ඒ සම්මාන උලෙළවල සිදුවන්නේ එවැන්නක් නොවන බවද?

ශ්‍රේෂ්ඨ කලාකරුවන් පිළිබඳ තීරණ ලබාදීමේදී, ඒ කෘති පිළිබඳ තීරණ ලබාදීමේදී ඒ සඳහා සම්බන්ධ වන්නේ මේ අපේ ක්ෂේත්‍රය වටා සමීපව ගැවසෙන පිරිසක්. ඔවුන්ගේ පරිකල්පනා කොයිතරම් සාර්ථකද කියන එකයි අප සොයා බැලිය යුත්තේ. එවැනි විනිශ්චය මණ්ඩලවල දෙන තීරණයි අප සොයා බැලිය යුත්තේ. ඒ වගේ ම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ අය විසින් ම වේගයෙන් ම මේ ක්ෂේත්‍රය විනාශ කරනවා නම් ඒකට එකඟ වන්නට අපට බැහැ. එයයි මේ සම්මාන උලෙළවල තිබෙන මූලික ම සාධකය වන්නේ. එවැනි වැරැදි සිදුවනවා නම් පෞද්ගලිකව මා ඔවුන්ගේ තීරණ භාර ගන්නට කැමැති නැහැ.

* ඒ කියන්නේ මේ වනවිට ඔවුන් ලබාදෙන්නේ නිවැරැදි විනිශ්චයන් නොවේද?

රටක ඇගයීමට ලක්කළ යුතු පිරිස් ඇගයීමට ලක්කළ යුතුයි. සම්මාන පිරිනැමිය යුතු පිරිසට සම්මාන පිරිනැමිය යුතුයි. ඒක හරියට සුසන්තිකා ගෝල්ඩ් මෙඩ්ල් එකක් දින්නා වගේ විය යුතුයි. එනම් නිසි කෙනාට, නිසි දෙයට, නිසි ගෞරවය දිය යුතුයි. එහෙත් එහෙම නොවෙනවා නම් ඒකට කලාකරුවන්ට කරන්න දෙයක් නැහැ. විය යුත්තේ ඒ අදාළ පෞද්ගලික ආයතනය සහ විනිශ්චය මණ්ඩල නිවැරැදි තීරණ ගැනීමයි. එවැනි තීරණ ලබාදීමට නම් පළමුව ඔවුන්ට කොන්දක් තිබිය යුතුයි. බුද්ධියක් තිබිය යුතුය. පුළුල් තීරණ ලබාදීමට හැකියාවක් තිබිය යුතුයි. එහි සිටින පෙළක් අයට ටෙලි විෂන් කියන එක ගැන, සංස්කරණය ගැන, එහි තිබෙන සොෆ්ට්වෙයා ගැන, මෙහි භාවිත වන තාක්ෂණික මෙවලම් ගැන අතිශය පුළුල් දැනුමක් තිබිය යුතුයි. ඔවුන් ඒවා හැදෑරිය යුතුයි. එහෙම නොවන අය ගන්න තීරණ සම්බන්ධයෙන් අපට කුමක්ද කිව හැක්කේ. සම්මාන උලෙළකට සම්මාන ලබාදීමට පැමිණෙන පුද්ගලයන් කවුද? අපේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ, ඒ නිර්මාණ හා පුද්ගලයන් ඇගයීමට තීරණය කරන විනිශ්චය මණ්ඩල නිර්දේශ කරන්නේ කවුද? ආදී ගැටලු නිසා ඇති වී තිබෙන්නේ ඛේදවාචකයක්. ඒ නිසා හරි දේ හරි විදියට ඇගයීමට ලක්විය යුතුයි. මොකද ඔවුන් මේ අත තියන්නේ හදවත වගේ ස්ථානයකට නිසයි මා එලෙස පවසන්නේ.

* ඔබ මේ විදියට චෝදනා නඟන විට කිසිවකු හෝ කිව හැකියි ඔබගේ නිර්මාණයට සම්මාන නොදුන්න නිසා මෙවැනි චෝදනාවක් කරන බවක්?

ඒ අයයි ඒ විදියට සිතන්නේ. ඒකට මට කමක් නැහැ. මෙහිදි මා ප්‍රකාශ කරන්නේ මට වුණ දෙයක් ගැන නොවෙයි. සමස්ත ක්ෂේත්‍රය වෙනුවෙනුයි මා මේ කතා කරන්නේ. වැරැද්දක් දැක්කාට පසුව එය වැරැද්දක් කියලා කියන්නට පුළුවන් විය යුතුයි. එය ප්‍රකාශ කිරීමට ඕනෑ ම කෙනෙකුට අයිතියක් තිබිය යුතුයි. ඒ අයිතියයි මා මෙලෙස ප්‍රකාශ කරන්නේ. කරන්නා න්‍යායාත්මක දෙයක් කරන විට හරි දේ හරි විදියට කළ යුතුයි. උදාහරණයක් විදියට නිවෙසක් හදන විට එහි අයිතිකරු වගේම හදන නිවෙසේ අත්තිවාරමත් ශක්තිමත් විය යුතුයි. ඔහු හා අත්තිවාරම ශක්තිමත් නැත්නම් නිවෙසේ වෙසෙන වැසියෝ අනතුරට කොයි මොහොතේ හෝ විපතට පත්විය හැකියි. එයයි මේ මා පවසන්නේ. එහෙම නැතිව මගේ පුද්ගලික කාරණයක් නොවෙයි. ඒ නිසා මා පවසන්නේ මේ සිදුවන දේවල් බලාගෙන කිසිවකුත් නිහඬව නොසිටිය යුතු බවයි. සාමුහිකව තීරණ ගැනීමේදී කිසිවකුටත් වරදක් කරන්න බැහැ. එහෙත් අද සිදුවන ඛේදවාචකයත් එයමයි. නීත්‍යානුකූලව තීරණ ගැනීමේ තිබෙන දුර්වලතාවයි අද මේ පවතින්නේ. මේක දේශපාලනයෙදිත් මේ විදියටමයි ක්‍රියාත්මක වන්නේ. රටක තිබෙන ව්‍යවස්ථාවට, නීතියට වැඩ කරන්නේ නැතිකමයි මේ පවතින්නේ. වංචාවෙන්,බොරුවෙන්, දූෂණයෙන් පෙළෙන්නේ මනුෂ්‍යයාගේ මනස, බුද්ධිය නොවැඩුණු නිසයි. වැඩුණේ නැත්තේ කොතනද කියලයි මා මේ සොයන්නේ. ඒ නොවැඩුණු තැන කොතනද කියලයි මා ‘ගොළු තාත්තා’ හරහාත් කතා කළේ.

* ‘ගොළු තාත්තා’ ටෙලි නාටයේ යටිපෙළෙන් දිවෙන්නේ වෙනස් ම කතිකාවක් බවද ඔබ ඔය පවසන්නේ?

‘ගොළු තාත්තා’ ටෙලි නාට්‍යයෙන් මා කිසිම වෙලාවකවත් සරල පෞද්ගලික ප්‍රශ්නයක් කතාකර නැහැ. රටේ තිබෙන මේ මොහොතේ මට දැනුණු සාමූහික, අධ්‍යාපනයේ දුර්වලකමේ තිබෙන කාරණය ඇතුළෙයි මා ‘ගොළු තාත්තා’ කියන ටෙලි නාට්‍යය ලිවීමට උත්සාහ කරන්නේ. මේ මොහොතේ රට සිදුවී තිබෙන ඛේදවාචකයයි මා මේ හරහා දැක්කේ. ඒ මට දැනුණු කාරණයයි මා රූපවාහිනි නරඹන්නන් ඉදිරියට අරගෙන ආවේ. ඒ නිසා ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන්නේ නරඹන්නන්ටයි. එනම් ඒ නිර්මාණය කෙලෙස වැලඳ ගන්නවාද? එහි රස වින්ඳනය පිළිබඳ තිබෙන අඩුපාඩුකම් කියනවද? මට පෙන්වනවාද කියන කාරණා සම්බන්ධයෙන්.

* එහෙත් පසුකාලයේදී මේ නාට්‍යයේ මුල් කාලයේ ගලාගෙන පැමිණි රටාව වෙනසකට ලක්වෙනවා?

ඒ පිළිබඳ අදහස් ගොඩක් ඉදිරිපත්වුණා. සමහර අය ඒකට කැමැතියි. සමහරු ඒකට අකැමැතියි. පෙළක් අය කියූ අදහස්වලට මා ගොඩක් ගෞරව කළා. මගේ අඩුපාඩු කියා දීම ඇතුළේ යළිත් වැඩක් කරද්දි ඒ අඩුපාඩු කොහොමද හදාගන්න වුවමනා කියලා සවිඤ්ඤාණිකව මට සිතන්න පුරුදු කළා. ඒ කුමන දේ වුණත් මට වුවමනා වුණේ මේ මොහොතේ වෙමින් පවතින, වෙලා තිබෙන, තව ඉදිරියටත් කොයිතරමක් දුරට කරගෙන යයිද කියන ඛේදවාචකයක් බඳු අධ්‍යාපනයේ දුර්වලතා කතා කිරීමටයි. ඒ සියල්ල මා කළේ යම් අධ්‍යයනයකින්.