වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්

තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්

ඕඩ්න්ගේ පුත්‍රයා වූ ද නෝස් දෙවියන්ගේ රජු වූ ද තෝර් දෙවියන්ට අස්ගාඩ් කිරුළ සිය වියපත් පිය රජුගෙන් උරුමවීමට නියමිතය. නමුත් රාජාභිෂේක වීමට නියමිත දිනයේ රජ මැදුරට ප්‍රචණ්ඩකාරීව කඩා වැදුණු ෆ්‍රොස්ට් යෝධයින් හා කළහ කර ගත් බැවින් එයට දඬුවමක් ලෙස තෝර් පෘථිවිය වෙතට පිටුවහල් කරනු ලබයි. අස්ගාඩ් බලය පැහැර ගන්නා තෝර්ගේ සොහොයුරා වන ලෝකි පිටුවහල් කරන ලද තෝර්හට ඇති බලවත්ම තර්ජනය බවට පත් වේ.

පුරාණ කාලයේ අස්ගාඩ්හි දෙවිවරුන් අඳුරු එල්ෆ්වරුන් හා කරන ලද යුද්ධයෙන් ජය ගත් අතර යුද්ධයෙන් පැරදී දිවි බේරාගත් එල්ෆ්වරුන්ගේ බලය උදාසීන වන අතර ඔවුන්ගේ බලගතු අවිය වන ඊතරය රහසිගත ස්ථානයක සඟවා තබයි. වසර සිය ගණනකට පසු ජේන් ෆොස්ටර් නම් කාන්තාව මෙම ඊතරය සොයාගෙන එය මෙහෙය වන්නිය බවට පත් වේ. ඇය තෝර් දෙවියන්ට බලකර සිටින්නේ, අඳුරු එල්ෆ්වරයෙක් වන මැලෙකින් විසින් තමා අල්ලා ගෙන ඊතරය රැගෙන පෘථිවියද ඇතුළුව රාජධානි නවයම විනාශ කිරීමට පෙර අස්ගාඩ් වෙත ගෙන යන ලෙසයි.

මාවල් සිනමා විශ්වයේ ප්‍රමුඛ චරියක් වටා ගෙතුණා වූ ද තෝර් චිත්‍රපට මාලාවේ පළමු සහ දෙවන චිත්‍රපටයන්හි කතා සැකෙවින් මෙසේ වේ. එහි පළමු වැන්න Thor කෙනත් බ්‍රැනාහ් විසින් අධ්‍යක්ෂණය කර 2011 වසරේදී තිරගත කෙරුණු අතර දෙවැන්න Thor: The Dark World  ඇලන් ටේලර් විසින් අධ්‍යක්ෂණය කර 2013 වසරේදී තිරගත කෙරිණි. මෙම චිත්‍රපට ද්විත්වයම වාණිජමය අතින් සේම විචාරක ප්‍රතිචාර අතින්ද සාර්ථක නිර්මාණ බවට පත් විය. කෙවින් ෆීඩ් විසින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපට මාලාවේ තෙවැන්න ඔහුගේම නිෂ්පාදනයක් සහ ටයිකා වයිටිටීගේ අධ්‍යක්ෂණයෙන් පසුගිය ඔක්තෝබර් 10 වැනිදා තිරගත කෙරුණු අතර හෙට (නොවැම්බර් 03) වැනිදා සිට එය අමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව ලොවපුරා තිරගත කිරීම ඇරඹේ.

විශ්වයේ අනෙක් අන්තයේ සිරගත කරන ලද ප්‍රබල තෝර්, සිය පැරණි මිතුරෙකු වන හල්ක් සමඟ මරාන්තික සටන් තරගයක නිරත වේ. සටනින් පසු තෝර්හට එල්ල වන අභියෝගය නම් මහා බලවත් හේලා ගෙන් සිය ලෝකයත් අස්ගාඩ් ශිෂ්ටාචාරයත් බේරා ගැනීමයි. Thor චිත්‍රපට මාලාවේ තෙවැන්න Thor: Ragnarok  ලෙසින් මෙලෙස දිග හැරේ. තෝර් චරිතයට සුපුරුදු පරිදි ක්‍රිස් හෙම්ස්වර්ත් පණ පොවන අතර ටොම් හිඩ්ල්ස්ටන් ලෝකි චරිතයට ද කේට් බ්ලාන්ෂේ හේලාගේ චරිතයට ද පණ පොවති.

Thor: Ragnarok IMDb  දර්ශකයේ 7.5/10ක ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර රොටෙන් ටොමැටෝස් අඩවියේ විචාරක මනාපය සියයට 98ක් ලබා ගැනීමට සමත් වී ඇත. බෙහෙවින් ආකර්ෂණීය විනෝදජනක චිත්‍රපටයක් සේම විචිත්‍ර විශ්වීය වික්‍රමයක් ගෙන එන මෙම Thor: Ragnarok චිත්‍රපටය Thor චිත්‍රපට මාලාවට සහ මාවල් චිත්‍රපට සියල්ල ද නව තලයකට රැගෙන යන්නක් බව එහි පොදු විචාරය පවසයි. ඇසෝසියේටඩ් ප්‍රෙස් හි විචාරක ලින්සි බැහ්ර් පවසන්නේ, Thor චිත්‍රපට මාලාවේ විනෝදජනකම සේම හොඳම චිත්‍රපටය මෙය බවත් එය Thor සම්ප්‍රදායේම පිහිටා නිර්මාණය කර ඇති බවයි.