වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සුළං රැල්ලේ පාව එන්නේ ඔබගේ නාමය වේ

සුළං රැල්ලේ පාව එන්නේ ඔබගේ නාමය වේ

හෙළයේ මහා ගාන්ධර්වයාණන් පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව අප අතරින් වියෝ වී හෙට දිනයට (නොවැම්බර් 03) වසරක් සපිරේ. ශ්‍රේෂ්ඨ සංගීතඥයකු ලෙස මෙරට පමණක් නොව දෙස් විදෙස් රටවල ද තම කීර්තිය පතුරුවාලූ එතුමාණන් සිනමාවේ ද පෑ විකුම් මෙතකැයි කියා නිම කළ නොහැකිය. කිසිදා නොපිරවෙන හිඩැසක් තබමින් අමරදේවයන් අප අතරින් නික්ම ගියත් ඔහුගේ ගුණ සුවඳ කිසි දිනකවත් වියැකෙන්නේ නැති බව නම් සත්‍යයකි. එමෙන්ම ගායකයකු වශයෙන් රසික සිත් සතන් පහන් සංවේගයට පත් කළ අමරදේවයාණන් සුභාවිත ගීතයේ මෙරට සලකුණ ද වන්නේය. දෙවැනි සිංහල කථානාද චිත්‍රපටය වූ අශෝකමාලා චිත්‍රපටයට රංගනයෙන්, ගායනයෙන් සහ සහාය සංගීත නිර්මාණයෙන් දායක වූ එතුමන් රන්මුතු දූව චිත්‍රපටය හරහා සංගීත අධ්‍යක්ෂවරයකු විය. පළමු සරසවිය සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස සම්මාන දිනූ පණ්ඩිත් අමරදේව සරසවිය වෙනුවෙන් නිර්මාණය කරන ලද සරස්වතී අභිනන්දන ගීතය ජාතියේ වන්දනා ලබන ගීතයකි.

2005 සිට තිරගත නොවූ චිත්‍රපට පෝලිමක්

57 කට තවමත් ප්‍රදර්ශක මණ්ඩල නෑ

මේ වනවිට චිත්‍රපට ප්‍රදර්ශනයේ විවිධ අර්බුද ඇති බව චිත්‍රපට අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු නිරන්තරයෙන් පවසා සිටිති. එමෙන්ම තිරගතවීමට ද නියමිත චිත්‍රපට රැසක් තිබේ. 2005 වසරේ සිට 2017 ජූලි 21 දක්වා කාලය ඇතුළත ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මඟින් සහතිකය ලබාගෙන ඇති චිත්‍රපට 75 කින් යුත් නාමාවලියක් පසුගියදා සරසවියට ලැබිණි. ඒ අතර ස්වරූප, සෙල්ලම් නැත්නම් ලෙල්ලම් සහ කාල යන චිත්‍රපට ත්‍රිත්වය මේ වන විට තිරගතව ඇත. සූවිසි විවරණ, සිමා නෑ ආකාසේ, දැකලා පුරුදු කෙනෙක්, ඉගිළෙන මාළුවෝ, ආදරෙයි මං, කුසල්, ඩොක්ටර් නවරියන්, තුන්පත් රෑණ, අතුරු මිතුරු හරි අපූරු, නෙලා, බ්‍රේකිං නිවුස්, පුංචි අන්දරේ, වෛෂ්ණාවි, කතා කරන හීන සහ ටවුමෙ ඉස්කෝලෙ යන චිත්‍රපට ඉදිරියේදී තිරගතවීමට සූදානම්ව ප්‍රදර්ශන මණ්ඩල මඟින් පෙළගස්වා ඇත. එහෙත් තවත් චිත්‍රපට 57 ක් චිත්‍රපට පෝලිමේ සිරව තිරගත වනතුරු කල්යල් බලමින් සිටියි. සෙනෙහසක සිහිනය, පිළිකඩතුරාව, අක්ෂිධාරා, මමයි ප්‍රියේ ආදරේ, ඔස්ට්‍රේලියන් ඩොලර්ස්, සූර්යා, ද හෝප්, හිතුවක්කාරි, මායාවි, යාළු, ආදර පූජාසනේ, ඇතුවත් බෑ නැතුවත් බෑ, ජීවිතේ, සුරංගනා ලොවින් ඇවිල්ලා, තරු අතර මම, ස්වර, බවතරණ, මායා රාත්‍රිය, සෙවනැලි, ඇද්දා ලණුව දැම්මා කොඩිය, සුරංගනා, බුද්ධි, සංගිලි, රහයි ජීවිතේ, ආකර්ෂා, සිහින ලොවක් සොයා, සදී, ඝාතකයා, මධුර චාරිකා, ගුරු ගීතය, ටයිගර්, කළු හිම, රතු සපත්තු, ජොබ්ලස් ඩග්ලස්, ද ලෙටර්, මිස් ඩයිනමයිට්, රජා නෝ යකා නෝ, සකී, බාඳුරා, ටොම් පචයො, වස්දඬුරාවය, සුදු සමනලී, පාටක් නැති ආදරයක්, ආදරෙයි මං රත්තරං, බහුචිතවාදියා, තානාපතිලගෙ ගෙදර, කුණාටුවෙ මාරයා, දඬුමොනරෙන් එනවෝ, පෝරිසාදයා, කන්දක් සේමා, හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර්, දැවෙන විහඟුන්, මගෙ පුතු සිරිමල්, එක දවසක අපි, සේයා, නෝනා හරිම වසයි, රයිගමයයි ගම්පළයයි එලෙස තිරගතවීමට බලාපොරොත්තුවෙන් සිටින රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා සිටින චිත්‍රපට වෙති. මෙම චිත්‍රපට 57 තිරගත වනුයේ කවර මණ්ඩලයක ද, කවරදාක ද යන්න පිළිබඳ තවමත් නිශ්චිත නොමැති වග වාර්තා වෙයි. මේ චිත්‍රපට සඳහා වැය කර ඇති මුදල අති විශාලය.

බිම්බා දේවි යශෝධරා එන වසරේ මුලින්ම

මේ වන විට සම්පූර්ණයෙන්ම වැඩ නිම වී ඇති සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ බිම්බා දේවි හෙවත් යශෝධරා සිනමාපටය ඊ. ඒ. පී. මණ්ඩලයට අයත් සිනමා ශාලාවල ලබන වසරේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය. සරසවි සිනෙරු වෙනුවෙන් එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය කළ මෙහි සම නිෂ්පාදකවරු වශයෙක් කුමුදිනි ඩයස් හපුතන්ත්‍රි, චන්ද්‍ර හපුතන්ත්‍රි, චාන්ද්‍රි හපුතන්ත්‍රි දායක වී තිබේ.

පල්ලවි සුභාෂ්, ඒ චෞද්රි යන භාරතීය නළු නිළි යුවළ සමඟ දිනෙත් ද සිල්වා, කමල් දේශප්‍රිය, අජිත් වීරසිංහ, සංගීතා තදානි, ශම්මු කසුන්, නෙත්සුක මුළුතැන්රාළ, තුමිඳු දොඩංතැන්න, උදාරි පෙරේරා, හේෂාන් මනුල, විල්සන් ගුණරත්න, රුවී ලක්මාල් සෙසු චරිත රංගනයේ යෙදෙති.

මෙහි ගේය කාව්‍ය රචනය සංවාද රචනය සහ තිර රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණය කළ මෙහි සංස්කරණය රුක්මල් නිරෝෂ් විසින් නිම කොට ඇත. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. ගායනා සංගීත විශාරද නන්දා මාලිනී, ඩිලාන් කරුණාරත්න, අසංක ධනංජය සහ ඉමෝකා අහංගම විසිනි. චන්දන වික්‍රමසිංහ නර්තන අධ්‍යක්ෂවරයාය. බිමල් දුෂ්මන්තයන් කලා අධ්‍යක්ෂණයකි. නිෂ්පාදන සැලසුම්කරණය මනෝහාරි හේවාවසම්ගෙනි. ප්‍රියන්ත දිසානායක අංග රචනා කළ බිම්බා දේවි හෙවත් යශෝධරා චිත්‍රපටයේ වස්ත්‍රාභරණ නිර්මාණය තිළිණි හෙට්ටිගමගේ ගෙනි.

සීමා නෑ ආකාසේ 10 දා තිරයට

තවත් අලුත් අධ්‍යක්ෂවරයෙක්

සිංහල සිනමාවට එක්වන නවතම සිනමාකරු නිහාල් බණ්ඩාර විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද සීමා නෑ ආකාසේ සිනමාපටය මෙම මස 10 වැනිදා සිට එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමාහල්වලදී තිරගත වීම ආරම්භ වේ.

පුබුදු චතුරංග, ධනංජි තාරුකා, සංගීතා තදානි, සංජුල දිවාරත්න, කේෂාන් ශෂින්ද්‍ර, කල්ප කැළුම්, ගයාන් හෙට්ටිආරච්චි, අරුණි මල්ලවාරච්චි මෙහි රගංන දායකත්වය සපයති. බුද්ධදාස විතානාච්චි සමඟ ශ්‍රියාණි අමරසේන මේ සදහා ආරාධිත රංගනයෙන් දායක විය.

අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂවරයාය. දීප්ති මංගල සෝමවංශ කලා අධ්‍යක්ෂණයකි. නලීන් ප්‍රේමරත්න අංග රචනා ශිල්පියාය.

වර්ණ සංයෝජනය ප්‍රවීන් ජයරත්නගෙනි. සුනෙත් රසාංග සහාය අධ්‍යක්ෂවරයාය. සංඛ රුවන්දික සංගීත අධ්‍යක්ෂවරයාය. ඉමේෂා මුතුකුමාරි, කෞෂික් මලින්ද, චමරි පෙරේරා, ඩිල්ෂාන් සමරසිංහගේ මියුරු ගැයුමෙන් හැඩවන සීමා නෑ ආකාසේ ඇක්ටිව් මෝෂන් පික්චර්ස් වෙනුවෙන් තිස්ස බාලසූරියගේ නිෂ්පාදනයකි.