වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




අමිතාබ්-ජයා විවාහය දෙදරයි ?

අමිතාබ්-ජයා විවාහය දෙදරයි ?

දෙදෙනා දැන් නිවාස දෙකක

හේතුව ඓශ්වර්යා?

 

පසුගිය ඔක්තෝබර් 11 වැනිදා සිය හැත්තෑ පස් වැනි ජන්ම දිනය සැමරූ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හෙවත් බිග් බී බොලිවුඩයේ පමණක් නොව ආසියාවේම දිගු කාලීනව දිලෙන සුපිරි තරුවක්. දශක පහකට ආසන්න කාලයක් පුරා බොලිවුඩය බැබළවූ ඔහුගේ ජනප්‍රියත්වය අදටත් අඩුවක් වෙලා නැහැ. අමිතාබ් බිරිය ජයා බහදූරි බච්චන්ද බොලිවුඩයේ දායක වූ සිනමා නිර්මාණ සංඛ්‍යාව එතරම් විශාල නොවූවද 60 - 70 කාලයේ අහිංසක පෙම්වතිය වූයේ ඇය යි.

අමිතාබ් - ජයා යනු බොලිවුඩ් සිනමාවේ සංකේත තරු යුවළක්. මේ දෙදෙනාගේ ආදරය පරම්පරා ගණනක් ආදර්ශයට ගෙන තිබෙන බවත් රහසක් නෙවෙයි. සිනමාවේත් මේ දෙදෙනා එක්ව කළ රංගනයන් රැසක් නොවුනද දෙදෙනාම එකට දුටු සිනමා නිර්මාණ කිසිවෙකුගේ මතකයෙන් ගිලිහී නොයාමත් එයට තවත් හේතුවක්. නමුත් අමිතාබ් - ජයාට ජීවිතවල හැමදාම දේදුණු, රෝස මල් සහ සමනලුන් සමඟින් ජීවත් වෙන්න ලැබුණේ නැහැ. විවිධාකාර හැල හැප්පීම් නිසා මේ ආදර කතාවේත් අඳුරු තැන් නැතුවාම නොවේ.

රේඛා සහ අමිතාබ් ආදර කතාව නිසා කිහිප වරක්ම බච්චන් කැදැල්ල දෙදරා ගියා. 1976 වසරේ Do Anjaane චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ දුන් රේඛා සහ අමිතාබ් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට කතා පැතිර යාමත් එම කතා සත්‍ය බවට තහවුරු වන ලෙසින් කළ රේඛාගේ හැසිරීමත් ඒ අතර ප්‍රධානයි. තමන් අමිතාබ් හොර රහසේ විවාහ වූ බව හැඟවීමට රේඛා නළලේ සින්ධූර් තවරා මංගල මාලය පැළඳීමත් එකල පුවත් මවන්නට වුණා. මේ කිසි දෙයකින් ජයාගේ සිත සැලුනු බවක් නම් පෙනුණේ නැහැ. ඇය කිසි විටෙකත් අමිතාබ් හෝ බච්චන් පවුල අත හැරියේ ද නැහැ.

Abhimaan, Chupke Chupke, Sholay අමිතාබ් - ජයා තිරයේ පෙම්වතුන් වූ සාර්ථක සිනමා නිර්මාණයන් ය. Abhimaan  බොලිවුඩයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ ද දින ගණනක් පුරා අති සාර්ථක අයුරින් තිරගත කෙරුණු හින්දි චිත්‍රපටයක්. රිදී තිරයේ පෙම්වතුන්ව සිටි අමිතාබ් - ජයා 1973 වසරේ විවාහ දිවියට පත් වූ අතර 1975 වසරේ Sholay චිත්‍රපටයෙන් පසුව ජයා රංගන දිවියෙන් සමු ගත්තේ දරුවන් වෙනුවෙන්. නැවතත් 80 දශකයේදී අමිතාබ් සහ රේඛා ප්‍රධාන චරිත මැවූ Silsila චිත්‍රපටයෙන් ජයා සිනමාවට පිවියා. මේ කාලයේදී සමාජ සේවා කටයුතුවලටද ඇයගේ දායකත්වය ලැබිණි. 2010 සහ 2012 වසරවලදී ඇය සමාජවාදි පක්ෂයෙන් රාජ සහභාවට ද තේරි පත් වූවාය.

අමිතාබ් - ජයා යුවල ප්‍රසිද්ධියේ එක්ව ගමන් බිමන් ගියත් උත්සව අවස්ථාවලට සහභාගි වුවත් දෙදෙනා නිවෙස් දෙකක වෙනම ජීවත් වන බව මීට කලකට පෙර බොලිවුඩය පුරා පැතිරි ගිය පුවතක්. බච්චන්ලා සිය පෞද්ගලික ජීවිතය බොහොම පෞද්ගලිකව තබා ගන්න බව බොලිවුඩයේ ප්‍රසිද්ධයි. මේ පවුලට මිතුරු වී සිටි දේශපාලනඥයකු වන අමර් සිංගේ හිත නොහොඳ බවට පත්වීම බච්චන් පවුලේ රහස් පිටතට පැමිණෙන්න ප්‍රධානතම හේතුව වෙලා. බච්චන් පවුලේ සිදුවන සියලු ගැටුම් ප්‍රසිද්ධ වෙන්න හේතුව වුණේ අමර් සිං. ඔහු ප්‍රසිද්ධියේ බච්චන් පවුල පිළිබඳ විවිධ ප්‍රකාශ කරන්නත් පටන් ගත්තේ එම හිත් බිඳීමෙන් පසුවයි.

මේ අතරේ නැන්දම්මා ලේළිය, ජයා සහ ඓශ් අතරත් යම් යම් මත ගැටුම් පවතින බවත් මේ ඔස්සේ කටකතා පැතිරුණා. ජයා සහ ඓශ් බොහොම සමගියෙන් සිටින බව පෙන්වුවද එය එසේම සත්‍ය නොවන බවත් එම කටකතාවල සඳහන් වුණා. අභිෂේක් - ඓශ්වර්යා තම දියණියද කැටුව වෙනම නිවෙසක පදිංචියට යන කතාවත් මේ අතරේ දිග හැරුණා. කෙසේ වෙතත් ජයා සහ ඓශ් අතර ඇති වන ගැටුම් ගැන කටකතාවලට තමන් වග කිව යුතු නැති බව අමර් සිං වරෙක ප්‍රසිද්ධියේ පවසා තිබුණා. කෙසේ හෝ බච්චන් පවුලේ පෞද්ගලිකත්වය මේ ලෙසින් කටකතා ඔස්සේ පැතිරීමට හේතුව අමර් සිංගේ අමනාපය බවත් අමිතාබ් - අමර් මිතුරුකමට තිත තැබුවේ අමිතාබ් බවත් මේ ආරංචි අතරේ වෙනවා. ජයාගේ අස්ථාවර බව සහ ප්‍රතිපත්තිගරුක නොවීම නිසා සමාජවාදි පක්ෂයට ඇය බඳවා නොගන්නා ලෙස වරෙක අමිතාබ් අමර් සිංහට පවසා තිබූ බවත් මේ අතරේ හෙළි කෙරුණු තවත් රහසක්.

කෙසේ නමුත් මේ වසරේ අමිතාබ්ගේ 75 වැනි උපන්දිනය මාලදිවයිනේදී සැමරීමට පුතු අභිෂේක් සහ ලේළිය ඓශ්වර්යා කටයුතු යොදා තිබුණා. මේ අවස්ථාවට අමිතාබ් සමඟින් ජයා බච්චන්, අභිෂේක්, ඓශ්වර්යා, ස්වේතා බච්චන් නන්දා සහ මිණිපිරියන් වන නව්‍යා නවේලි සහ ආරාධ්‍යා සහභාගි වී සිටියා. මේ වසරේ බච්චන් පවුල දීපවාලි උත්සවය ද සමරනු ඇතැයි කිසිවෙකුත් විශ්වාස කළේ නැහැ. ඓශ්වර්යාගේ පියා ගේ වියෝව එයට එක් හේතුවත්. කෙසේ නමුත් බච්චන් පවුල ඉතාම සුළුවෙන් දීපවාලි උත්සවය සැමරූ බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා. ඒ අවස්ථාවට අමිතාබ් - ජයා සමඟින් අභිශේක් ඓශ් යුවළ සහ පුංචි ආරාධ්‍යා ද එක් වෙලා.