වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඔව් මමත් ආදරවන්තියක්

ඔව් මමත් ආදරවන්තියක්

දේදුනු ආකාසේ සමඟ එන ටීනා

අපි නිතරම දැන ගන්න ඕන අපේ මූඩ් එක තියා ගන්නේ කොහොමද කියලා? එක් එක් චරිතවලට ඒ මූඩ් එක වෙනස් වෙන්නේ කොහොමද කියලත්? මුහුණේ හැඟීම් ඒ ඒ අවස්ථාවල උපද්දවා ගන්නේ, දිගටම පවත්වා ගෙන යන්න ඒ වගේ දේවල් ගැන අවධානයෙන් සිටිය යුතුයි.

හේමාල් කියන්නේ මිනිස්සු ආදරය කරන චරිතයක්. ඔහු දන්නවා මෙහිදි කරන්න වුවමනා දේවල්. ඒ නිසා ඔහු විවිධ උපදෙස් අපට දුන්නා. අපි සියලුදෙනාම වැඩ කළේ පවුලක් වගේ. ඔහු අපට බොහොම උදවු කළා.

මේ දවස්වල සාර්ථක ලෙස තිරගත වන ප්‍රියන්ත කොළඹගේ නිර්මාණයක් වන ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ දිවෙන තුන්කොන් ආදරයක එක් ආදරවන්තියක් වන්නේ ඇයයි. විශ්වවිද්‍යාල අවධියේ හමුවන සමුද්‍රගේ ආදරය අහිමිව යද්දී ඔහුට අහඹු සිදුවීමකදී ළංවන පවනි අවසානයේ සමුද්‍රගේ බිරිය බවට පත්වන්නේ නොසිතූවිරූ අයුරිනි. එහෙත් සිය ප්‍රාර්ථනා සියල්ල දින කිහිපයකින් අවසන් වීමත් සමඟ මරණය වැලඳ ගන්න ඈ ටීනා ශනෙල් ප්‍රනාන්දුයි. පවනිගේ චරිතයට පණ පොවන්නී ඇයයි.

ඔබගේ ගම් ප්‍රදේශය

මා ඉපදුණේ මීගමුවේ.

ඒත් පාසල් යන්නේ

කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයටයි.

එහෙම වුණේ

මා කුඩා කාලයේමයි මගේ තාත්තා මිය යන්නේ. ඒ නිසා අම්මා අපව ඒ පාසලේ හොස්ටල් එකට දානවා.

දැන් පදිංචිය

බත්තරමුල්ලේ.

ඔබගේ පවුලේ ඉන්නේ

අක්කලාම දෙන්නෙක්.

මුල්ම දැන්වීම

මම දහය වසරේ ඉන්න විටයි කරන්නේ. කික්කෝලා දැන්වීමටයි පෙනී සිටින්නේ.

ඔබ පාසල් කාලයේ

බොහොම කැපී පෙනෙන චරිතයක්. රංගනය, නර්තනයට මගේ විශේෂ දක්ෂතාවක් තිබුණා.

ඒ නිසා

මම පාසලේ තරගවලට සහභාගි වුණා පමණක් නොවෙයි ඒ තරගවලින් දිනුවා.

ඔයාව පුහුණු කළේ

මගේ අක්කලා දෙන්නයි.

එදා පුහුණුව

මේ තරමක් දුරට ගෙනාවා කියලයි මට සිතෙන්නේ.

ඕ ලෙවල්වලින් පස්සේ

මා මොඩ්ල් කිරීමට තීරණය කරනවා.

නිවැසියන්ගේ කැමැත්ත

ඔවුන් මාව තේරුම් අරගෙනයි සිටියේ. ඒ මට මේ අංශයෙන් ඉදිරියට යන්න හැකියාව තිබෙන වග ඔවුන් දැනගෙන සිටියා. ඒ සඳහා සහයෝගය ලැබුණා.

මුලින්ම

මා ඉදිරිපත් වුණේ බෙස්ට් මොඩ්ල් කියන පැජන්ඩා එකකටයි. ඒ වාසනාගේ. ඒ වන විට මා බොහොම පොඩියි.

ඊට පස්සේ

ඒ වගේ පැජන්ඩා කිහිපයකට ම මා ඉදිරිපත් වුණා.

ජීවිතයට විශේෂ

2014 වසරේ මා ඉදිරිපත් වූ දෙරණ මිස් ශ්‍රී ලංකායි. එහි මා තුන්වැනි ස්ථානයයි ජයග්‍රහණය කළේ.

ඒ වගේ ම

එහිදි මට මිනි ටයිටල් තුනක් ලැබුණා. ඒ බෙස්ට් ෆිගර්. පොටෝජෙනික් ඇතුළු ජයග්‍රහණයි.

ළඟදි ඉදිරිපත් වුණේ

විශ්ව පෙරේරාගේ සිලෝන් මැජස්ටික් පැජන්ඩා එකටයි. එහිදි මා දිනුවා.

ඒ සියල්ල ලැබුණේ

මගේ ආසාව හා කැපවීම මතයි. ඒ නිසයි අද මා මෙතැන ඉන්නේ.

ඉන්පසුව

මට බොහෝ නිර්මාණවලට, විවිධ දේට ආරාධනා ලැබුණා. ඒ හරහා මාව මිනිස්සු හඳුනා ගත්තා.

ගීතවල විෂුවල්

මා ඉදිරිපත්වුණු එක් අංශයක්. රනුකගේ සරාගී, ෂෙහාන්ගේ ඔබගේ මතකයෙන්, ෂේන්ගේ හා භාචිගේ මියුසික් වීඩියෝවලට මා පෙනී සිටියා.

මේ අතර

මේ චිත්‍රපටය කළේ ඊ.ඒ.පී. මණ්ඩලයෙන්. ඒ දවස්වල මිනිස්සු අතර කතාබහට ලක්වන චරිත කිහිපයක්ම මේ චිත්‍රපටයේ චරිතවලට තෝරා ගැනීමට නම් කරලා තිබුණා. ඒ අතර මාත් සිටියා.

ඔබ දැන ගත්තේ

ප්‍රියන්ත අයියායි මට මෙවැනි දෙයකට තෝරාගෙන තිබෙනවා කියලා කතා කළේ. උදේ ම පළමු වැනියාට ඒ ස්ක්‍රීන් ටෙස්ට් එකට සහභාගි වුණේ මමයි.

එතැනදි

ආදරණීය කතාවක් චිත්‍රපටයේ දෙබස් කිහිපයක් මට කියන්න දුන්නා. අඬාගෙන කියන දෙබසකුත් ඒ අතර තිබුණා. ඒවා වෙනස් විදියට කිව්වා.

ඊළඟට

සින්දුවකට නර්තනයක් ඉදිරිපත් කරන්නත් කිව්වා. ඒකත් මා ඉදිරිපත් කළා. සාර්ථකව ඉදිරිපත් කළත් ඒත් මට යම් බියක් තිබුණා.

බියක්

මේ චිත්‍රපටය සඳහා මට පස්සේ ඉදිරිපත් වී සිටි ජනප්‍රිය නළු නිළියන් දැක්කමයි ඒ බිය ඇතිවුණේ. මාව මේ චරිතයට තේරෙන එකක් නැහැ කියලයි සිතුණේ. ඒත් මාව ඒ චරිතයට ඔවුන් තෝරාගෙන තිබුණා.

රූගත කිරීම්

චිත්‍රපටයක රූගත කිරීම් අපට අලුත් අත්දැකීමක්. ඒක මොඩ්ල් කෙනෙක් කරන රඟපෑමක් වගේ නොවෙයි. ඒක බොහොම වෙහෙස වී කළ යුතු දෙයක්.

ඒ කියන්නේ

අපි නිතරම දැන ගන්න ඕන අපේ මූඩ් එක තියා ගන්නේ කොහොමද කියලා? එක් එක් චරිතවලට ඒ මූඩ් එක වෙනස් වෙන්නේ කොහොමද කියලත්? මුහුණේ හැඟීම් ඒ ඒ අවස්ථාවල උපද්දවා ගන්නේ, දිගටම පවත්වාගෙන යන්න ඒ වගේ දේවල් ගැන අවධානයෙන් සිටිය යුතුයි.

මතකය

මෙහිදි බොහොම වැදගත්. ඔළුව වෙහෙසන්න වෙනවා. ස්වභාවික විදියට ම මෙහි රඟපෑ යුතුයි. මේ සියලු දේවල් දැන ගැනීමේදි මහේන්ද්‍ර අයියාගේ වැඩමුළුව අපට බොහොම වැදගත් වුණා.

ඉන් ඉගෙන ගත්තේ

රඟපෑම විතරක් නොවෙයි. කොහොමද දෙබස් කියන්නේ? අපේ හැඟීම් ඉදිරිපත් කරන විදිය, අපේ බිය නැතිකර ගන්න විදිය ඔහු අපට කියලා දුන්නා. ඒ සියලු දේවල් චරිතය රඟපෑමේදි බොහෝ උදව් වුණා.

චරිතය ගැන

බොහෝදෙනා මේ චරිතය ගැන කතා කරන්නේ බොහොම හොඳයි කියලා. මා හොඳීන් රඟපානවා කියලයි.

එහෙම නොවෙයි නම්

තවම කිසිම කෙනෙක් ඒ වගේ අදහසක් මට කියලා නැහැ.

මම එහෙම කිව්වොත්

මේ නිර්මාණය මගේ පළමු චිත්‍රපටයයි. ඒ නිසා අඩුපාඩු ඇති. ඕනෑම කෙනෙක්ගේ පළමු චිත්‍රපටයේ එවැනි දේ තිබිය හැකියි. ඒ නිසා මගේ දෙවැනි නිර්මාණයේදි මා ඒ අඩුපාඩු හදා ගන්නවා.

වෙනත් නිර්මාණවලට

නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ සෑම නිර්මාණයක්ම භාර ගන්න මා කැමැති නැහැ. ඒ නිසා මට ගැළපෙන චිත්‍රපට දෙකක් පමණක් භාරගෙන තිබෙනවා.

ඒ අතර

ටෙලි නාට්‍ය කිහිපයකටමත් ආරාධනා ලැබුණා. ඒවායේ රඟපෑමට අදහසක් නැහැ. කාලයක් යද්දි මට ගැළපෙන චරිතයක් ලැබුණොත් මා සලකලා බලාවි. ඒත් රූපවාහිනි වැඩසටහන්වලට නම් සහභාගි වීමේ අදහසක් තිබෙනවා.

දේදුනු ආකාසේ චිත්‍රපටයේදි

ප්‍රියන්ත අයියා වගේ අධ්‍යක්ෂවරයකු සමඟ කටයුතු කිරීමට ලැබීම සතුටට කාරණයක්. ඒ වගේමයි හේමාල් වගේ අත්දැකීම් ඇති නළුවකු සමඟ රඟපාන්නට ලැබීමත් ඒ වගේමයි.

හේමාල්ගේ සහයෝගය

හේමාල් කියන්නේ මිනිස්සු ආදරය කරන චරිතයක්. ඔහු දන්නවා මෙහිදි කරන්න වුවමනා දේවල්. ඒ නිසා ඔහු විවිධ උපදෙස් අපට දුන්නා. අපි සියලුදෙනාම වැඩ කළේ පවුලක් වගේ. ඔහු අපට බොහොම උදවු කළා.

පවනි ආදරවන්තියක්.

ඔව්. මමත් ආදරවන්තියක්. ඒක කිසිම අවස්ථාවක නැහැයි කියලා කියන්නේ නැහැ.

පවනිගේ රඟපෑමට

ආදරවන්තියක් වීම ඒ චරිතය කිරීමට පහසුවුණා. ඔහුත් සමඟ හැදසිරෙන විදිය, දක්වන ප්‍රතිචාර වගේ දේවල් චිත්‍රපටයේදි පවනිගේ චරිතයට වැදගත් වුණා.

ඔබගේ ප්‍රේමවන්තයා

එයාගේ නම මා දැන්ම කියන්න කැමැති නැහැ. ඔහු මොඩ්ලින් ක්ෂේත්‍රයේ කෙනෙකු නොවෙයි.

විවාහය

දැන්ම විවාහ වෙන අදහසක් නැහැ. තවම මට කාලය තිබෙනවා. මගේ ඉලක්කයට ගියාට පස්සේ මා විවාහ වෙනවා.