වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

මහා ගාන්ධර්වයාණන් නික්ම ගොස් වසරකි

හොඳම ගායකයා ලෙසින් අටවරක් සරසවිය සම්මාන ලබමින් හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙසින්ද සම්මාන ලබා 1994 වසරේදී සරසවිය රණ තිසර සම්මානය ද ලබමින් මේ සිරිලකට අග්‍රගණ්‍ය සංගීඥතයා වූයේ පණ්ඩිත් අමරදේවයන් ය. 2001 වසරේදී මෙරටට කීර්තියක් ගෙන දෙමින් පිලිපීන රමෝන් මැග්සෙසේ සම්මානයෙන් ද පිදුම් ලබා ගායනයෙන් හා සංගීත අධ්‍යක්ෂණයෙන් රටම නැළ වූ එතුමා අප හැර‍ ගොස් හෙටට (නොවැ.03) වසරක් සපිරේ.

ඩඩ්ලි ගෝමස්
කටුබැද්ද
මොරටුව


හෙළ ගී කෙත අස්වැද්දූ සුනිලුන්

සුභාවිත ගීතය ශ්‍රාවකයන්ට සමීප කරවමින් හෙළ ගීත ක්ෂේත්‍රය අස්වද්දන්නට සුනිල් ආරියරත්නයන් දරන ප්‍රයත්නය අතිශයෙන්ම ප්‍රශංසනීය යි. හරවත් ගී පද වැල් පබඳීමින් රසික රසඥතාව ඉහළ තලයකට ගෙන ආ සුනිලුන් සිංහල ගීත රචනා ක්ෂේත්‍රයේ පර්යේෂකයකු ලෙසින් හැඳීන්විය හැකිය.

අනුර කුලවර්ධන
රදාවාන


රංජි

මේ දිනවල ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින හාරකෝටිය ටෙලි නිර්මාණයේ රංජි ලෙසින් රොහාන් විජේතුංගගේ රංගනය විශිෂ්ටයි. රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න ඔබට සුබ පැතුම්.

මනහර මහින්ද වෑකඩ
ප්‍රියංකා ප්‍රියදර්ශනී
බෙලිගල


සෙනෙහසේ නවාතැන

ජාතික රූපවාහිනියෙන් අඟහරුවාදා විකාශය කෙරෙන සෙනෙහසේ නවාතැන ඉතාම කාලෝචිත යටගියාව ප්‍රේක්ෂකයන්ට හොඳීන් වටහා දෙන වැඩසටහනකි. විනිතා කරුණාරත්නගේ අධ්‍යක්ෂණයක් ලෙසින් එන එහිදී ස්වර්ණා කහවිටගේ තොරතුරු ගෙන ඒම පිළිබඳ ස්තූතිය.

ආතර් ජයකොඩි
ගලගම
බෙලිහුල්ඔය


නන්දා මාලිනියට ප්‍රණාමය

විශාරද නන්දා මාලිනිය මෙරට සංගීත ක්ෂේත්‍රයට කළ අමිල මෙහෙවර වෙනුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පුද කිරීම අගයමි. හෙළ ගායන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වන නන්දා මාලිනියට අපගේ ප්‍රණාමය.

කිත්සිරි ගුණසේකර
බදුල්ල
කොළොන්නාවේ විජේසිරි


ඩිනක්ෂිට සුබ පැතුම්

කලා පවුලකින් පැමිණ පුංචි තිරය, සිනමාව ජය ගනිමින් සාර්ථක ගමනක යෙදෙන ඩිනක්ෂි ප්‍රියසාද් වෙත කලා ලොවේ නොනවතින ගමනකට සුබ පැතුම්.

චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය


අමතකන නොවූ මාලිනිය

සිනමාවට මෙන්ම හෙළ ගායන ක්ෂේත්‍රයට මාලනි බුලත්සිංහල කළ සේවය අප අමතක නොකළ යුතුය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ නිර්මාණවලට පවා දායක වූ ඇයගේ ගායනා ඉතාම හැඟුම්බර විය. එය, එම ගීත අප හදවත්වලට වඩ වඩාත් දැනෙන්නට වූ කරුණකි.

ප්‍රභාත් රාජපක්ෂ
නාවලපිටිය


ධර්මදාස වල්පොල ගී රාවය

වසර ගණනාවකට ඉහත සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වී චිත්‍රපට ගීත රැසකට හඬ මුසු කළ ඔබ කලා ලොව බැබළවූ මිණි පහනකි. ලතා වල්පොල සමඟින් ඔබ එදා ගැයූ ගී අදත් රැව් පිළි රැව් දේ.

මිල්ටන් ප්‍රනාන්දු
නව එක්සත් මාවත
මුදුකටුව


ක්ලැරිස් ද සිල්වා දකින්න ආසයි

අපට සිටි පැරණි නිළියක් වූ ක්ලැරිස් ද සිල්වා ගැන කිසිම ආරංචියක් නැත. ඇය රඟපෑ 'මාතලන්', 'ආදරයයි කරුණාවයි', 'අටවෙනි පුදුමය', 'ආත්ම පුජා', 'උතුම් ස්ත්‍රිය' චිත්‍රපට අපගේ මතකයේ තවමත් රැඳී ඇත. නැවතත් සිනමාවේ ඇය දකින්න ආසයි.

කෙනත් පෙරේරා
වැලිගම්පිටිය
ජා-ඇල


චැට් ඇන්ඩ් මියුසික්

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සෑම සිකුරාදාවකම විකාශය කෙරෙන විශාරද මනෝජ් පීරිස් සංගීතය මෙහෙයවන හිරාන් සුමීර ඉදිරිපත් කරන 'චැට් ඇන්ඩ් මියුසික්' වැඩසටහන රසික සිත් වසඟ කරන ඉතා සුන්දර වැඩසටහනකි. එහි නැවත විකාශයක් ද අරඹන්නේ නම් වැඩසටහන මඟහැරෙන අයට සතුටකි.

දයාරත්න ගනේගොඩ
මූණමල්ගහවත්ත
කැලණිය


අවාසනාව කෙතරම් ද ?

ඇතැම් නාලිකාවලින් ප්‍රචාරය කෙරෙන දුක් අඳෝනා ගී ඇසීමට රසික අප කෙතරම් අවාසනාවන්ත වීද?

සුනිල් චන්ද්‍රසේකර
යාගොඩමුල්ල
කොටුගොඩ


ළමා සිත් සනසන කලබල පැංචා

නෙත් එෆ්. එම් නාලිකාවෙන් විකාශය කෙරෙන 'කලබල පැංචා' ළමා වැඩසටහන කුඩා ළමා ළපටින් අතර ජනප්‍රිය ළමා වැඩසටහනකි. එයට පූර්වාදර්ශ දෙමින් කසුනි නැන්දා සහ සුරේෂ් මාමා සිත් ගන්නා අයුරින් වැඩසටහන ඉදිරිපත් කිරීම ප්‍රශංසනීය යි. සැමදා ළමා සිත් සනසන කලබල පැංචා දිනෙන් දින ළමා මනසේ වැජඹේවා.

එච්. ඉන්ද්‍රපාල
ශ්‍රී සංඝමිත්තා මාවත
මුංහේන


සම්පතා සාර්ථකයි

'පිනි' ටෙලි නිර්මාණයේ සම්පතා ලෙසින් ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ රංගනය සැබැවින්ම සාර්ථකයි. එහි ඔබ "අනේ" යන වචනය උච්ඡාරණය කරන අයුරු හරිම අපූරුයි. ඔබේ අනාගත කලා දිවියට අපේ සුබ පැතුම්.

සුසිලා පතිරාජ
පුබුදුගම
උස්වැටකෙයියාව


මිල්ලෑව වලව්වේ අප්පෝ

ධනංජය සිරිවර්ධන 'මිල්ලෑව වලව්ව' ටෙලි නාට්‍යයේ අප්පෝ ලෙස පණ පොවන චරිතය තාත්විකයි. ඒ වෙනුවෙන් වේශ නිරූපණය ද අගෙයි. ප්‍රේක්ෂකයා තුළ චරිතය කෙරෙහි ද්වේශයක් ඇතිවන අයුරින් කරනා රංගනය විශිෂ්ටයි. එම චරිතයට ඔබ සැබෑම සාධාරණයක් ඉටුකර ඇත. ඔබට සුබ අනාගතයක්.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම පාර
පස්යාල


සැබෑ ප්‍රේමයේ ශෝකය ප්‍රකාශ කළ ත්‍යාගා එන්. එඩ්වඩ්

"රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ" ගීතය එදා ත්‍යාගා එන්. එඩ්වඩ්, අබේවර්ධන බාලසූරිය සමඟින් ගායනා කළේ තරුණ හදවත් සසල කරවන අයුරිනි. සැබෑ ප්‍රේමයේ ශෝකය ප්‍රකාශ කෙරෙන අයුරින් ගැයූ මේ ගීතය අප මතකයේ සැමදා රැඳී තිබේ. එසේම මෙම ගීය අබේවර්ධන නාමයට ද උපහාරයක් වේවා.

එස්. ඒ ප්‍රේමලතා
රුක්ගහතොටුපල
බණ්ඩාරගම


ජීවිතය හැර ගිය දසුන්ට

තව බොහො දුර යන්න සිතුණෙම නැද්ද
කාටත් ප්‍රශ්න තියෙනවා දන්නෙම නැද්ද
සිටියා නම් ඔබ සම්මානය ගන්නෙම නැද්ද
අහෝ ඔබ අප හැර ගියෙ මන්ද

ටෙලි සිත්තම් තුළින් ඔබ ජනප්‍රිය වූයේ
අපේක්ෂා හි ඔබ භූමි වූයේ
හිතට වහල් වීමි - රතු පිච්ච තුළ දස්කම් දැක්වූයේ
රංගන දිවිය හැර දමා මෙලොවින් වෙන් වූයේ

සරත් සේනාධීර
කලඑළිය
ජා-ඇල


පරාක්‍රම පෙරේරාට

දොස්තර හොඳ හිත වෙලා
පිස්සු පූසා හැඩ වෙලා
තිරය පිටුපසින් හිඳගෙන
පුංචි පුටව් සැනසුවා

ලන්දේසි දූපත නැඟලා
ගුවන තුළින් හඬ මවා
පරා නමින් ආදර නම ලබා
සිනහ රසෙන් මත් කළා

සැකිලි රුවට පණ පොවන්න
හඬින් ලොවම සනසවන්න
චිරත් කලක් නම් දරන්න
පරාක්‍රමට දිගාසිරි ලැබෙන්න

ධම්මික දුමේන්ද්‍ර
පාමංකඩ


ජෝ ඔබේ නාමය ඇත මතකයෙ රැඳීලා

ගැමිකම රැඳුනෙ ඔබෙ ගත සිත වෙළා ගෙන
එයම තමයි රැඟුමට ආවේ මුල පුරා ගෙන
සාරවිට වික්කේ හරියට විට මුදලාලි මවා ගෙන
සරදම් කළා නළුවකු වී සිත් සනහා ගෙන

චණ්ඩිකම පෙන්නුවා වැලිකතරේ ගෝරිං මුදලාලි වෙලා
පුංචි බබා සැනසුවා හදවත ආදරයෙන් පුරවාලා
ජෝ ඔබේ නාමය තවමත් ඇත මතකයෙ රැඳීලා
ඔබ ගෙන් ඉටු වූ සේවය මහමෙර ලෙස වීලා

සෝමා එච්. පතිරණ
පිය නිවස
පන්සල පාර
කහවත්ත