වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ සියලු අක්මුල් තියෙන්නේ ලංකාවේ

මගේ සියලු අක්මුල් තියෙන්නේ ලංකාවේ

ඉතිං කොහොමද අමතක කරන්නේ?

ප්‍රියානන්ද විජේසුන්දර

"මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසේ
ප්‍රේමය නම් කිමැයි කියා . . .'
(චන්ද්‍රලේඛා පෙරේරා)

හුඟක් ඈත කාලෙක ඔහු එහෙම ලිව්වා. අදටත් අපි බලන් ඉන්නවා ප්‍රේමය කිමැයි කියලා කවුරු හරි රහසින් කියල දේවි කියලා. විග්‍රහ කළ නොහැකි ිප්‍රේමයේ ආශ්චර්යයත් ඒකම තමයි. මේ ලෝකේ කොයි බලවතාට ද පුළුවන් වුණේ ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා හරියටම කියල දෙන්න. ඒ විග්‍රහ කළ නොහැකි ප්‍රේමයේ අසිරිය ආශ්චර්ය හදවතින් හඳුනා ගත් ඔහු එදා එහෙම ලියන්නට ඇත්තේ ඒ හින්දා වෙන්න ඇති. රැහැයියෝ විතරක අඬන, ගී ගඩු පිපෙන සීතලක අඳුරු රැයේ මේ ගීතය ඇහෙන කොට දැනෙන සන්නිවේදනය විස්තර කරන්න මට නම් වචන නෑ. හදවත කොනකින් මතුවන සියුම් වේදනාවක් ද කියා හැඳිනිය නොහැකි යමක් පපුකුරේ දැවටෙනවා දැනෙනවා. ඒක දුකක්ද සතුටක් ද කියලත් වෙලාවකට තෝරා බේරා ගන්න අමාරුයි. අහන කෙනකුට එහෙම සංවේදනා දැනෙන්න වචන ගළපපු ඔහු ප්‍රවීණ ගේය පද රචක ප්‍රියානන්ද විජේසුන්දර.

ඔහු මෙරට ගීත රචනා ක්ෂේත්‍රය තුළ ඔහුගේම සලකුණක් සනිටුහන් කළ පුද්ගලයෙක්. එහෙත් මෙරට ගීත ශ්‍රාවකයින්ගේ අවාසනාවට ද නැතහොත් අපේ රටේ අවාසනාවට ද මන්දා වර්තමානය වන විට ඔහු ජීවත් වනුයේ මෙරටින් බැහැරවයි. එහෙත් වසරකට වතාවක් මෙරටට පැමිණ යාම දැන් ඔහුගේ පුරුද්දක් බවට පත් වෙලා. දැනට නවසීලන්තයේ ජීවත්වන ඔහු පසුගියදා කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණියා. එසේ පැමිණි අවස්ථාවේ ඔහුගේ කලා ජීවිතයත්, ගීත කලාව පිළිබඳ කතාබහකට පසුගිය දිනක අප එක් වුණා.

'මම ලංකාවෙන් බැහැර වුණේ 1995 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ. අද මේ මොහොතේ අපි හමු වන්නෙත් ඔක්තෝබර් මාසයේ. මම ලංකාවෙන් පිටවෙලා හරියටම අවුරුදු 22 ක් වෙනවා. ගෙවුණු දීර්ඝ කාලවකවානුව තුළ වරින්වර ලංකාවට ඇවිත් ගියා. මගේ ජීවිතේ සියලු අක්මුල් තියෙන්නේ ලංකවේ. ඉතින් මම කොහොම ද ලංකාව අමතක කරන්නේ. ලංකාවට එන්න සූදානම් වෙන කාලේ එනකොට කොයි මොහොතෙද මෙහෙට ගොඩ බහින්නේ කියන නොඉවසිලිමත් හැඟීමෙන් තමයි මම ඉන්නේ. ලංකාවට මගේ කෙටි නිවාඩුව ඉක්මනට ඉවර වෙනවා වාගේ තමයි මට දැනෙන්නේ. අනේ ඉතින් දැන් යන්න වෙනවනේ කියලා තැවී තැවී තමයි ඒ දින කීපය ගත කරන්නේ'

ඔහු මෙරට හැර ගියේ මෙරට පිළිබඳ, රසිකයො පිළිබඳ හැඟීමක් නොමැතිව නොවේ. මේ රටට වැඩක් කළ නිර්මාණ රාශියක් තිළිණ කළ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්, ලංකා පුත්‍රයෙක්ය යන අභිමානය ඇතිවය. ප්‍රියානන්ද මෙරටින් සමුගන්නා විට සුවහසක් දූ දරුවන්ට ශිල්ප ඥානය දුන් ගුරු පියෙකි. එසේම මෙරට සුවහසක් ශ්‍රාවකයන් ආදරයෙක් ආමන්ත්‍රණය කළ නිවේදකයෙකි. හොඳ සන්නිවේදකයෙකි.

'නවසීලන්තයට ගියාම එහේ මට ගුරු වෘත්තීය කරන්න අපහසුයි. ඒකට හේතුව අපි සංස්කෘතීන් දෙකක්. ගුරු ශිෂ්‍ය සබඳතා පවතින්නේ වෙනස් ආකාරයට. ඒ නිසා මම ගරු වෘත්තිය අතහැරලා මගේ අනිත් ක්ෂේත්‍රය වුණු රූපවාහිනී ක්ෂේත්‍රය තෝරා ගත්තා. නවසීලන්තයේ රූපවාහිනී ආයතනයකට සම්බන්ධ වෙලා මම කටයුතු කරන්න ගත්තා. ටික කාලයක් ඉන්න කොට මට ආරාධනාවක් ආවා පෞද්ගලික රූපවාහිනී සේවාවක් පවත්වාගෙන යන ඉන්දියානුවෙකුගෙන්. ඔහු මට කිව්වා කැමැති නම් ඇවිත් බලන්න කියලා. මම ගිහින් බැලුවම අපේ සංස්කෘතියට කිට්ටුයි. මට ඒකට කැමැත්තක් ඇති වුණා. ඊට පස්සේ මම ඒකට සම්බන්ධ වුණා. අදටත් මම කොන්ත්‍රාත් පදනම මත එතැන වැඩ කරනවා.

දශක දෙකකට වැඩි කාලයක් රටින් පිටව වාසය කළත් ඔහු තවමත් සිය අතීතයට ප්‍රේම කරන්නෙක්. ගීත රචකයෙක් වෙන්න සිය ජීවිතය හැඩ ගස්වා ගත් පාසලට, ගුවන් විදුලියට, මේ රටේ සුවහසක් ශ්‍රාවකයන්ට තවමත් ආදරය කරන්නෙක්. ප්‍රියානන්ද කලාවට කැමැත්තක් දක්වන්නට වී ඇත්තේ පාසල් ශිෂ්‍යයකු වූ අවධියේ පටන්මය. කලක් කළුතර තිස්ස විද්‍යාලයේ ඉගෙන ගත් ඔහු කවි ලියූ හැටි තවමත් මතක් කරන්නේය. පාසලේ සඟරාවලට, බිත්ති පුවත්පතක එකල ප්‍රියානන්දගේ කවියක් නොවූ අවස්ථාවක් විරල විය. එකල ඔහු විසින් රචනා කර ඇත්තේ ද එළිසමය රැකි සාම්ප්‍රදායික කවි සලකුණු ඇති කවිමය.

'කවි ගැන උනන්දු වෙනකොට ඒ කාලේ මම ආභාසයට ගත් කවීන් ගැන මට මතක් වෙනවා. පී. බී. අල්විස් පෙරේරා, සෝමවීර චන්ද්‍රසිරි, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, මඩවල එස්. රත්නායක, කරුණාරත්න අබේසේකර වැනි අයගේ නිර්මාණ මම නිරන්තර ඇසුරු කළා. කළුතර විද්‍යාලයෙන් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ආවට පස්සෙත් දිගටම මම කවි ලියන්න ගත්තා. ඒ කාලේ මගේ ලොකු විනෝදාංශය වුණේ කියවීම සහ ගීත ශ්‍රවණය කිරීමයි. අතට අහුවෙන හැමදේම කියවන්න ගත්තා. මම භාෂාව ඉගෙන ගත්තේ වචන භාවිතා කරන විදිය බොහෝ දුරට ඉගෙන ගත්තේ ඒකෙන්. විද්‍යාලයේ මම ඉගෙන ගත්තේ විද්‍යා විෂයයන්.' ප්‍රියානන්ද පවසනුයේ අතීතය සිහිපත් කරමින්. එකල සිනමා පුවත්පත්වල ගායක ගායිකාවන්ගේ ලිපිනයන් පළ වුණා. ප්‍රියානන්ද මේ ලිපිනයන් සොයාගෙන ඔහු ලියනා ගීත මේ ගායක ගායිකාවන් වෙත තැපැල් කර යැවීම පුරුද්දක් කරගත්තා. වෙලාවක ඒ සඳහා මුද්දර සොයා ගැනීමට සිය මිතුරන්ගේ මුදල් ආධාර ද ඉල්ලා ගන්නට ද සිදු විය. කොයි තරම් ගීත රචනා යැව්ව ද එකක්වත් ගායනා නොවූයෙන් වරෙක පාසල තුළ ප්‍රියානන්ද විහිළුවට ද ලක්වුණා. එහෙත් එක්තරා දිනෙක ඔහු හට තැපැල්පතක් ලැබුණි. ඒකේ තිබුණේ මෙහෙම දෙයක්.

'ආදරණීය මල්ලි . . . ඔබේ ගීතයක් මගේ බිරිඳ ලාලනී විසින් ගායනා කළා. එය වෙළෙඳ සේවයේ ප්‍රචාරය වෙනවා කියා දිනයක් සහ වෙලාවක් ද යොදා තිබුණා. එම තැපැල්පත එවා තිබුණේ අතුල සෝමසිරි විසින්.

'මම ලියපු ගීත අතරින් ඉස්සරලම ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ගීතය මට අහන්න ලැබුණේ නෑ. යාළුවෙක් එක්ක කඩයකට ගියත් ගීතය ප්‍රචාරය වෙන වෙලාව එනකොට රේඩියෝ එකේ සේවය මාරු කළා ප්‍රවෘත්ති අහන්න. අදටත් මට ඒ පළමු ගීතයේ වචන ටිකවත් මතක නෑ. ඔය අතරෙම තමයි මගේ මාමා කෙනෙක් මාව ගුවන් විදුලියේ සරස්වති මණ්ඩපයට සම්බන්ධ කළේ. මට තාමත් මතකයි ගුවන් විදුලියේදී ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර වැන්නෝ හමුවුණු හැටි. ඒ ඇසුර නිසා තමයි මටත් ගීත රචකයෙක් වීමේ ආසාව වැඩි වුණේ.'

'දැස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දොතොල සුසුමින් පුරා
ඉකිබිඳ හඬනු මල්මාලියේ'

(ගුණදාස කපුගේ)

මේ ගීතය ගුණදාස කපුගේ ගේ පළමු ගීතය වුණා සේම ප්‍රියානන්ද විජේසුන්දරයන් ද ජනප්‍රියතලයට පැමිණි පළමු ගීතය වුණා. ඉන් ඉක්බිති විවිධ ගායක ගායිකාවන්ට ඔහු ගීත රචනා රාශියක් නිර්මාණය කළා. මහාචාර්ය සනත් නන්දසිරි ගයන බෝ මළුවේ මල් සුවඳක පැටලී, කමල් චිත්‍රසේන ගයන 'කෙලෙසද කිවමැන සිපගත් දෑසට, වරදත්ත අරවින්ද ගයන මට ආරාධනාවක් කළාදෝ, ටියුඩර් ජයශාන්ත ගයක මගෙ දැසෙ කඳුළු තව දෑසක, චන්ද්‍රලේඛා පෙරේරා ගයන මේ උයන් කොනේ ඇතුළු ගීත දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ඔහු විසින් රචනා කොට ඇත.

'ඇත්තටම මට සංඛ්‍යාත්මකව ගීත වැඩි කර ගැනීමේ උවමනාවක් කොහෙත්ම නෑ. හොඳ නිර්මාණයක් දායාද කිරීමේ උවමනාව පමණයි තියෙන්නේ. නමුත් වර්තමාන ගීත ක්ෂේත්‍රය දිහා බැලුවම එතැන ගීතයවත්, සංගීතයවත් නැහැ කියලයි මට හිතෙන්නේ. ඉතින් එහෙම තැනක මට ඉන්න බෑ. කවුරු හරි මගෙන් ඇහුවොත් මම ගීත ලියන්නේ කාටද කියලා. මම කියන්නේ මට කියලයි. මේ තියෙන පරිසරය තුළ මම තෘප්තිමත් නැත්නම් මට සින්දු ලියන්න බෑනේ. මම ලියන සිංදුවල මුල්ම රසිකාව මගේ බිරිඳ සන්ධ්‍යා. අපි නවසීලන්තයේ හොඳ ගීත කලාවක්, නර්තන කලාවක් ඇතුළු සංස්කෘතික වැඩ සටහක් කීපයක් කරගෙන යනවා. තව ටික කාලයක් යනකොට ලංකාවට වඩා හොඳ රසිකත්වයක් එහේ ඉන්න ශ්‍රී ලාංකිකයන් අතරින් බිහිවේවි කියලා මට විශ්වාසයි.'