වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




කලාවට එක් වුණේ කුඩා කාලයේදීමයි

කලාවට එක් වුණේ කුඩා කාලයේදීමයි

සීතා රංජනී

කලාවේ නියැළුණු තම මාපියන්ගේ අඩිපාරේ යමින් කලා ලොවට අත් පොත් තැබූ දූ දරුවන් කොතෙක් නම් ඇද්ද, සීතා රංජිනී, ඇයත් තම පියාගේ අඩිපාරේ යමින් කලා ලොවට පියනැගූ තවත් එක් කලා ශිල්පිනියකි.

සමාජයට බරක් නොවී තම සහජ හැකියාවෙන් කලා ලොව ජය ගන්න වෙරදරන ඈ සැබැවින්ම දිරිය ගැහැනියකි.

පෞද්ගලික තොරතුරු ටිකක් කතා කළොත්?

මම සීතා රංජනී. මගේ ගම ගාල්ලේ. ඉගෙන ගත්තේ ගාල්ල සංඝමිත්තා බාලිකා පාසලේ. අම්මා ගුරුවරියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. මම විවාහකයි. සැමියා ප්‍රියන්ත. දරුවෝ තුන් දෙනෙක් සහ එක් මිනිබිරියක් ඉන්නවා.

කලාවට සම්බන්ධ වුණු ආකාරය මතක් කළොත්?

මම කලාවට ආවේ පුංචි කාලේ ඉඳලාමයි. මම පාසල් වේදිකාවෙත් රංගන කටයුතුවලට දායක වෙලා තියෙනවා. ඊට අමතරව මගේ තාත්තා ටවර් හෝල් එකේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා වැඩ කළා. ඉතිං තාත්තාගේ වැඩවලට මාවත් සම්බන්ධ කර ගත්තා. ඒ හරහා තමයි මට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

සම්බන්ධ වුණු නිර්මාණ පිළිබඳ කතා කළොත්?

මදර් තෙරේසා, සීතල හාදු, රාජා, රජ වීදිය, ලැම්බට් සහ සෝමපාල, යෙහෙළි, ඕලු, සමාවෙන්න සර්, වසූදා, තරු කුමාරි, කෝපි කඩේ, මකර දඩයම, ඇඟිලි සලකුණ, ය(ර්)ස් බොස් යන ටෙලි නාට්‍යවලටත්, චෙරියෝ සාජන්ට්, කෝලංකාරයෝ, කඳාවලළු, එකම ලේ, දරු දුක හා දළඳා වැඩමවීම යන වේදිකා නාට්‍යවලටත් මගේ දායකත්වය ලබලා දීලා තියෙනවා.

මීට අමතරව වෙළෙඳ දැන්වීම් හා චිත්‍රපටවලටත් මම දායක වෙලා තියෙනවා.

දැනට දායක වන නිර්මාණ පිළිබඳ කතා කළොත්?

ඇත්තටම මගේ අසනීප තත්ත්වයක් නිසා පසුගිය දවස්වල මම තරමක් කලා කටයුතුවලින් ඈත්වෙලා හිටියත්, මම නැවතත් නිර්මාණවලට දායක වෙන්න පටන්ගත්තා. ඒ අතුරින් මේ දිනවල ප්‍රියන්ත සමරකෝන් මහත්මයාගේ ‘රන් දෝණි’ චිත්‍රපටයේ හා ‘අහිමි’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

අනාගත බලාපොරොත්තු පිළිබඳ කතා කළොත්?

ඇත්තෙන්ම තවත් හොඳ නිර්මාණවලට දායක වෙන්න මම කැමැතියි. ඒ අතුරින් විකට චරිතවලට, වේදිකා නාට්‍යවලට හා වෙළෙඳ දැන්වීම්වලට දායක වෙන්න වඩාත් කැමැත්තක් තියෙනවා. රෝයි ද සිල්වා, නිශ්ශංක දිද්දෙණිය මහත්මයා යටතේ හා ශ්‍රියාණි අමරසේන මහත්මිය යටතේ රංගනයේ යෙදෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

ස්තූති කරන්න පිරිසකුත් ඇති?

ඔව්. විශේෂයෙන්ම මගේ සැමියා ප්‍රියන්තට, දරුවෝ තුන් දෙනාට, සහෝදරයෝ 4 දෙනාට, ධම්මික කරුණාරත්න මහත්මයාට, විනීතා පද්මසීලී මහත්මියට, නලීන් මල්ලිට, විමල් දේශප්‍රිය මහත්මයාට, ඔ ටධප ඔ එකේ ප්‍රියන්ත මල්ලිට, සුරංජන් විජේනාම මහත්මයාට, චංකි ඉපලවත්න මහත්මයාට, දයානන්ද හේවගේ මහත්මයාට, ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට, සංජය ලීලාරත්න මහත්මයාට මගේ හදපිරි ස්තූතිය පුද කරන්න කැමැතියි.

ඔබව සම්බන්ධ කරගන්න හැකි ආකාරයකුත් කියමු.

මගේ ලිපිනය - නො: 70, බොල්ලත, ගනේමුල්ල

0112241569 - 0725234629 හා 0772884607 යන දුරකථන අංකවලින් මාව සම්බන්ධ කරගන්න පුළුවන්.