වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




30 දශකයේ දුෂ්කර ගම්මානයක පුවතක් රැගත් රංකිරි අම්මා
රංගන පරම්පරා තුනක් එක් කළ ටෙලි වෘත්තාන්තය

30 දශකයේ දුෂ්කර ගම්මානයක පුවතක් රැගත් රංකිරි අම්මා

දමයන්ති ෆොන්සේකා නිර්මාණයක්

මේ ගෙවෙන්නේ තිහේ දශකයයි. තවමත් මෙරටට පූර්ණ නිදහස ලැබී නොමැති සැටියකි. ඉංග්‍රීසීන්ගේ පාලනය සිංහලයන්ට මහත් හිසරදයක් ගෙන දෙමින් තිබේ. කාලය එලෙස ගලා යන්නේ නිදහසේ ලකුණු කියාපාමිනි. මේ සිරිලක්ද්වීපය තුළ නවමිදත්තාව නමැති දුෂ්කර ගමකි. එහි කැලෑ මාර්ගයට යාබදව කම්හලක් පවත්වාගෙන යන ජවසම්පන්න තරුණයෙකි. ඔහු වසභාය. මෑතකදී විවාහ වුණු ඔහුගේ බිරිය පෙතංගාය. ගමේ වින්නඹු මාතාව වන ඇය කඩිසර සුන්දර ගැහැනියකි. ඔවුන් විවාහ වී හතර පස් අවුරුද්දක් ගතවී ගොසිනි. එහෙත් ඔවුනට තවමත් දරු සුරතල් බැලීමට වරම් නොලැබුණේ අභාග්‍යකටය.

‘ගමේ හැම දරුවෙක්ම මගේ දරුවෝ තමයි’

පෙතංගා එලෙස නිතරම පවසන්නීය. එහෙත් එය වසභාට හුදෙක්ම සැනසුම් බසක්ම පමණි. එහෙයින් තමන්ට දරුවන් නොමැතිවීම ගැන ඔහු නිතරම කල් ගෙව්වේ සංතාපයෙනි. කෝපයෙනි. ඔහුගේ පැරැණි පෙම්වතිය ගුණාහාමිය. කාගේ හෝ වාසනාවකට ඒ කසාදය කෙරුණේ නැත. එහෙත් නිතරම වසභා හමුවන ගුණාහාමි ඔවුන්ගේ අතීතය හාරා අවුස්සමින් ආඩපාලි කියන්නේය. මේ හේතුවෙන් පෙතංගා වසභා කෙරෙහි සැකයකුත් ඇත්තේය.

නවම්දත්තාව ගම්මානය පාලනය ආරච්චිලගෙනි. ඔහුට තරුණ දූවරුන් දෙදෙනෙකු හා පුතකු සිටියි. ඔහු ගමේ කොයි කාටත් සාධාරණ ලෙස සලකන ගමේ දියුණුව ගැන නිතරම ඉංග්‍රීසි ජාතීන් හා කතා කරමින් ගමට උදව් ගැනීමට උත්සාහ ගත්තෙකි. ආරච්චිලගේ දූවරුන්ගෙන් ලොකු දියණිය මුතු මැණිකා මිත්‍රව සිටින්නේ ගමේ හේන් ගොවිතැන් කරන ටිකිරිහාමිගේ පුතා වන හීන් පුතා සමඟිනි. ටිකිරි හාමි මෙන්ම හීන් පුතා ද කවි ගායනයට දක්ෂය. හේනේ පැලේ සිට පැල්කවි ගයන හීන් පුතාගේ හඬට ඇහුම්කන් දෙමින් මුතු මැණිකේ ඔහුට ලියුම් ලියන්නේ රාත්‍රී කාලයේදීය. ඒවා හීන් පුතාට ලබා දෙන්නේ මාල වළලු වෙළඳාමෙහි යන ගුණහාමිය. ගුණාගේ පුත් අන්දිරිස් නිතරම ගමේ මිනිසුන්ගේ පාච්චලයට ලක් වන්නේ අවජාතකයකු කියාය. ඒ කතාවලට දැඩි ලෙස හිත රිද්දවා ගන්නා ඔහු කොළඹට පැන යන්නේ දියුණුව සොයාය. ගමට විවිධ වූ වසංගත ගෙනෙන්නේ ලියන අප්පුය. ඔහු අවිවාහකයෙකි. කට්ටඩියකු සමඟ එක් වී වල් අලින් ගමේ මායිමට ගෙන්වා සුද්දන්ට පින්තූර ලබා ගැනීමට ඔහු ඉඩ සලස්වයි. ලියන අප්පුගේ මේ ක්‍රියාව හේතුවෙක් වල් අලින් ගමට කඩා වැදී මිනිසුන්ගේ දේපළ විනාශ කරයි. මේ අතර ගමට මැලේරියා වසංගතය පැමිණෙයි. බොහෝ ජීවිත බිලි ගනියි. මෙතෙක් පැවති සුන්දර වටපිටාව ක්‍රමයෙන් මැකී යාමට පටන් ගනියි. ඒ ඝට්ටනන් සමඟින් රංකිරි අම්මා නමැති ටෙලි සිතුවමේ කතා පුවත එලෙසින් දිග හැරෙයි. එකී ටෙලි සිතුවම දමයන්ති ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයකි. එය ඇගේ කුලුඳුල් ටෙලි සිතුවම ද වේ. පසුගිය දිනවල තණමල්විල ඇතුළු ප්‍රදේශ රැසක රංකිරි අම්මා රූගත විය.

රංකිරි අම්මා ටෙලි සිතුවමේ නළු නිළියන්:

මාලිනී ෆොන්සේකා, රෝහණ බැද්දගේ, සරත් කොතලාවල, සමන්ති ලැනරෝල්, ශ්‍යාම් ප්‍රනාන්දු, මාදනී මල්වත්තගේ, උමයංගනා වික්‍රමසිංහ, සමන්ත මංජුල, සුදර්ශි ගැලනිගම, ප්‍රියන්ත සිරිකුමාර, දිලිප් මනෝහර, ආරියවංශ කුලතිලක, චිත්‍රා මුල්ලගේ රංගබද්ධ, කෝකිල පවන් ජයසුරිය, නයෝමි තක්ෂිලා, තාරක ගුණරත්න, යොහාන් රණසිංහ,දිනේෂ් විජේසිංහ, අසංක රුවන් පොතුපිටිය

නිෂ්පාදනය - ලසන්ත තෙන්නකෝන්

කතාව - දයා රාජපක්ෂ

තිර රචනය - අජිත් සේරම් සමඟ දමයන්ති ෆොන්සේකා

සංගීතය - රෝහණ බැද්දගේ

කැමරා අධ්‍යක්ෂණය - සජිත් වීරප්පෙරුම

සංස්කරණය - හිමාල් ධර්මරත්න

කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත

අංග රචනය - ධනුෂ්ක හුලංගමුව

සහාය අධ්‍යක්ෂණය - ප්‍රදීප් තිලකරත්න

රේඛීය නිෂ්පාදනය - අසංක රුවන් පොතුපිටිය