වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




පතන්නේ මා සදා දෙවියන් වැඳ පුදා නිරතුරුවම ඔබ රැකදේවා

පතන්නේ මා සදා දෙවියන් වැඳ පුදා නිරතුරුවම ඔබ රැකදේවා

මා විරහ ගීත රචනා කළේ මගේ අදහසකට නොවෙයි

රහතන්ගම නාගිත හිමි

පටන් ගන්න හැදුවත් යළි ජීවිතේ

මතක් වෙන්නේ ඔබමයි සිය දහස් වරේ.

දුරස්වෙන්න කීවත් හැමදා වගේ

සිතේ ඉන්නේ ඔබමයි මේ මොහොතෙදිත්

මේ සිතේ ආදරේ වියැකෙන්නේ නෑ

මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ

මේ සිතේ ආදරේ මියැදෙන්නේ නෑ

මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ

රැවටුවත් සිත මගේ

වැරැදි නම් නොකියමි

මගේ මේ රිදුම් සතුටක් වේවා

පතන්නේ මා සඳා දෙවියන් වැඳ පුදා

නිරතුරුවම ඔබ රැකදේවා.

මේ සිතේ ආදරේ මියැදෙන්නේ නෑ

මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ

ළඟ නැතත් පෙර වගේ

අදත් මම පතමි මේ

සෝ සුසුම් නොම වේවා -

අඬන්නේ මා ඔයා

එක සිතින් පැතු නිසා

මතුභවේ හෝ මගේ වේවා

මේ සිතේ ආදරේ මියැදෙන්නේ නෑ

මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ

ගායනය - දමිත් අසංක

ගීපද - ආර්. නාගිත හිමි

ගීපද ලියන භික්ෂූන් වහන්සේලා ද බොහෝ ය. රඹුකන සිද්ධාර්ත හිමි, පල්ලේගම හේමරතන හිමි ඇතුළු ඒ ගණයට වැටෙන බොහෝ අර්ථවත් ගේයපද රචනා ලියූ ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනක් අපට සිටිති. ඒ පරපුරෙන් පැවැත එන ගීපද රචනා කරන නවතම භික්ෂූන් වහන්සේ වන්නේ ආර්. නාගිත හිමියි. උන්වහන්සේ ගීපද රචනයට පිවිසුණේ කෙලෙසදැයි යන්නත්, මේ වනවිට යෙදුණු ගීපද රචනා පිළිබඳත් සරසවිය සමඟ කතාබහක නියැළිණි. මේ පෙළ ගැසෙන්නේ ඒ සාකච්ඡාවයි.

* ඔබ වහන්සේ පැවිදි දිවිය ඇරඹෙන්නේ කුමන ආකාරයෙන්ද?

මගේ ගම බුත්තලට හැතැප්ම ගණනක් එහායින් පිහිටි රහතන් ගමයි. බොහොම දුෂ්කර ගමක් වුණු රහතන් ගමේදීයි මට මහණ වීමේ ආසාවක් පැන නැඟෙන්නේ. ඒ අනුව මහණ බිමට පිවිසීමේ අදහසින් ලොකු හාමුදුරුවන් සමඟ මා රත්නපුර ගමට පිවිසෙනවා. ඒ පන්සලේ මහණ වීමෙන් පස්සේ මා අධ්‍යාපනය ලැබීමට හොරණ කඳන ශ්‍රී සාංෂිකාරාම විහාරයට පිවිසෙනවා. මේ වනවිට මා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හදාරනවා.

* ඔබ වහන්සේ ගීපද රචනයට පිවිසීම ආරම්භ වන්නේ විශ්වවිද්‍යාල ජීවතයේදීද?

නැහැ. මා ගීත ලිවීම ආරම්භ කරන්නේ මට වයස දාහතරේ පටන්. දමිත් අසංකට හෝ රොෂාන් ප්‍රනාන්දුට ගීතයක් ලියන්න වුවමනාව තිබුණත් ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අනුව මා මුලින් ම ලියන්නේ ‘ළංවීලා ඉමු කිව්වත්...’ කියන ගීතයයි. ඒ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගයේ හතරවැනියා ලෙස තේරුණු කමනී ලසන්තිකාටයි ලිව්වේ. එය තරමක් දුරට ජනප්‍රියත්වය පත්වුණා. ඒ අතර අපේ පන්සලේ සිටි අයියා කෙනෙකුගේ ආරාධනයෙනුයි මා ගීත තවදුරටත් ලිවීම ආරම්භ කරන්නේ.

* මේ වනවිට ඔබ වහන්සේ ගීත කොපමණ ප්‍රමාණයක් ලියා තිබෙනවාද?

දහයක් පමණ ලියා තිබෙනවා. ඉන් පහක් පමණයි තවමත් අසන්නන් අතරට පිවිස තිබෙන්නේ. අනෙක් ගීත පහ ඉදිරියේදී අසන්නට ලැබේවි. ඒ අතරින් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ඉන්දික ප්‍රසාද් ඇතුළු ගායක - ගායිකාවන් රැසක් ඉතිරි ගීත කිහිපය ගැයීමට නියමිතයි.

* ඔබ වහන්සේ වැඩිපුරම ලියා තිබෙන්නේ විරහ ගීතයි. විරහ ගීත ලිවීමට යම් හේතුවක් තිබෙනවාද?

මෙලෙස මා ලියූ විරහ ගීත රචනා කළේ මගේ අදහසකට අනුව නොවෙයි. ඒ ගායක - ගායිකාවන් ගයන ගීතවල අදහස මට පැවසූවාට පසුවයි මා ඒ අදහසට අනුව ගීත රචනා කරලා දුන්නේ. එහෙම නැතුව මා සිතලා විරහා ගීත රචනා කරලා නැහැ. මගේ ම නිෂ්පාදනයක් ලෙස මා ගීත රචනා කළේ ‘මා රකින්න අම්මා’ හා ‘මගේ තාත්තා’ කියන මව්ගුණ ගීතය හා පිය ගුණ ගීතයයි.

* බොහෝ ගීපද ලියන පදරචකයන් අතරින් ඔබ වහන්සේටම කියා ගීපද ලියා ගැනීමට තිබෙන විශේෂ හේතුව කුමක්ද?

මම ගීතයක් ලිවීමට පෙර ඒ ගැන යම් අධ්‍යයනයක් කරනවා. විරහ ගීත කිහිපයක් ලිව්වත් ඒවා එකිනෙකට වෙනස් වූ ගීත ලෙසයි ලියන්න උත්සාහ ගන්නේ. ඒ නිසයි බොහෝ ගායක - ගායිකාවන් මටම කියා ගීත ලියා ගැනීඹට පෙලඹෙනවා ඇත්තේ.

* අද වනවිට ජනප්‍රිය ‘පටන් ගන්න හැදුවත් යළි ජීවිතේ...’ ගීතය බිහිවීමේ පසුබිම මොන වගේද?

වසර පහකට පමණ පෙරයි මා දමිත් අසංක අයියට ගීතයක් නිර්මාණය කිරීමට සිටියේ. එහෙත් එය කළ හැකිවූයේ නැහැ. ඉන්පසුව වසර පහකට පමණ පසුවයි මා ඔහුට මේ ගීතය නිර්මාණය කරන්නේ. එහිදි ඔහු පැවසුවේ අහන් ඉන්න පුළුවන්, මේ යන විදියේ සංගීතයකට නැතිව යන විදියේ ගීතයක් නිර්මාණය කරන්න යන්නයි. ඒ පද රචනයට ප්‍රියන්ත නාවලගේ සංගීතය යෙදුවා. මේ වනවිට ‘පටන් ගන්න හැදුවත්....’ ගීතය බොහොම ජනප්‍රියයි. චාට් ෂෝවලත් ඉහළටම ඇවිත තිබෙනවා. යූ - ටියුබ් එකේ ලක්ෂ කිහිපයක් ම මේ ගීතය නරඹලා තිබෙනවා.

* ඔබ වහන්සේ පද රචනයේ යෙදෙන්නේ මෙවැනි අර්ථයක් ගෙනෙන ගීත පමණක්ද?

එහෙම නැහැ. මා වඩාත් කැමැත්තක් දක්වන්නේ රඹුකන සිද්ධාර්ත හාමුදුරුවෝ ලියන විදියේ ගීත ලියන්නයි. ඉදිරියේදී වෙනස් වූ නිර්මාණ කිරීමට මා බලාපොරොත්තු වෙනවා.

* මෙතෙක් ඔබ වහන්සේ ලියූ නිර්මාණ සම්බන්ධයෙන් චෝදනා නැඟිලා තිබෙනවාද?

භික්ෂූන් වහන්සේලා අතරින් විරහව සම්බන්ධ කරගෙන විරහ ගීත පද බඳීන්නේ මා පමණක් නොවෙයි. එවැනි ගීත පද බඳීන තවත් හාමුදුරුවරු සිටින බව මා දන්නවා. එවැනි චෝදනාවක් මුහුණු පොතේ කර තිබෙනවා මා දුටුවා. ඒත් මා පවසන්නේ මා පද බැන්ඳ එක් නිර්මාණයක් දෙස පමණක් බලා ඒ චෝදනාව නොනගන්න යන්නයි. ඒ නිසා මා පද බැන්ඳ අනෙක් නිර්මාණ පිළිබඳත් විමසා බලා ඒ චෝදනාව කරන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

* සිද්ධාර්ථ හිමියන් ඇතුළු අද ජනතාවගේ ප්‍රසාදය දිනාගෙන සිටින භික්ෂූන් වහන්සේලා ලියන ලද ගීත මඟින් සිදුවූයේ සමාජ සංශෝධනයක්. එවැනි සමාජ සංශෝධනයකට දායක වීමට ඔබ වහන්සේට කැමැත්තක් නොමැතියිද?

එවැනි ගීත අපට ලිවිය හැකියි. ගීතයක් ලිව්ව පමණින්ම ගීතයක නිෂ්පාදන ක්‍රියාවලිය නවතින්නේ නැහැ. ඒ නිසා එවැනි ගීත නිෂ්පාදනය කිරීමට කිසිවකුත් අද ඇත්තේ නැහැ. ඒ නිසා එලෙස සුභාවිතව ලියන ලද නිර්මාණ රැසක් මගේ පොතක ලියැවී තිබෙනවා. ඒ වගේම ඒ ගීත ගයන්නත් අද කිසිවකුත් නැහැ.

* එහෙම වන්නේ ඇයි?

අද ගීතයක් නිර්මාණය කිරීමට වැයවන මුදල විශාලයි. ඒ හේතුවත් ප්‍රවීණයන් ගීත නොගැයීමට එක් හේතුවක්. අනෙක් කාරණය නම් ගීත සීඩී පටයක් නිකුත් වූ ගමන්ම එහි ව්‍යාජව සැකසූ තැටි ඕනෑතරම් වෙළෙඳපොලෙන් මිලදී ගත හැකියි. ඒ නිසා බොහෝ ප්‍රවීණයන් විශාල මුදලක් වැය කර නිර්මාණ කරණයේ යෙදීම නිසා පාඩු විඳීන්න අකැමැතියි. ඒ නිසා ඔවුන්ට කිසිවිටෙකත් අපට දොස් නැඟිය නොහැකියි.

* ඔබ වහන්සේ බෞද්ධ ගීත නිර්මාණකරණයේ යෙදුණාද?

මේ දවස්වල මමත්, දමිත් අයියත් නියැළී සිටින අලුත් ම කාර්ය වන්නේ බෞද්ධ ගීතයක් නිර්මාණය කිරීම සඳහායි. එහි සංගීතය නිර්මාණය කරන්නේත් දමිත් අයියාමයි. අපේ රසවින්ඳනය උදෙසා අතින් වියදම් කරමිනුයි මේ ගීතය නිර්මාණය වන්නේ.

* ගීතයට රූපරචනාවක් අවශ්‍යම ද?

ඒක එහෙම විය යුතු නැහැ. ගීතයක් ජනප්‍රිය වීමට රූප රචනාවක් අවශ්‍ය ම වන්නේ නැහැ. ගීතයක් රස විඳීමේදී රූපරචනයක් නරඹමින් එය රස වින්ඳොත් යම් සිතීමේ ප්‍රමාණයක් අපට නැතිව යනවා. අප ගීතයක් රස විඳීන්නේ හඬ ඔස්සේ පමණක් යැයි සිතන්න. එවිට යම් චිත්ත රූප මවා ගැනීමක් අපේ සිතේ ඇති වෙනවා. ඒ ඔස්සේ යම් බුද්ධි මට්ටමක් අපේ සිතේ නිර්මාණය වෙනවා අප සිතන්න ගන්නවා. ඒ සියලු දේ රූපරචනය නිසා නැතිව යනවා. අනෙක් කාරණය නම් රූප රචනයෙන් කියැවෙන්නේ ගීතයේ අර්ථයමද යන කාරණය පිළිබඳත් තිබෙන්නේ ප්‍රශ්නයක්.

* ඔබ වහන්සේටත් මෙවැනි අසාධාරණයකට ලක්වීමට සිදුවුණාද?

මගේ ගීත දෙකක් සඳහා රූපරචනා කළා. ඒත් එහි පෙන්වන දේවල් හා මගේ ගීතය අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා කොහොමත් මා නිෂ්පාදනය කරන නිර්මාණවලට රූපරචනා යොදා ගන්නේ නැහැ. ඒ වගේම මට මේ ගමන පැමිණීමට උදවු කළ සියලුදෙනාටම ස්තුති කළ යුතුයි. විශේෂයෙන්ම කොළඹගේ ආරේ අතුලසේන ගුරුදේවයාණන් වහන්සේටත්, කොස්වානේ නන්දසාර ගුරුදේවයාණන් වහන්සේටත්, දමිත් අසංක අයියාටත්, තිලකරත්න මාමාටත් ස්තුතිය හිමිවිය යුතුයි.