වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




ආචාර්ය පතිරාජගේ කෘති 3 ක් දොරට වඩී

ආචාර්ය පතිරාජගේ කෘති 3 ක් දොරට වඩී

ප්‍රබල සිනමා කෘති රැසක් ලාංකේය ප්‍රේක්ෂකාගාරයට තිළිණ කළ කෘතහස්ත සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජගේ කලා ජීවිතය ආරම්භයේදීම නාට්‍ය කිහිපaයක් නිර්මාණය කළේය. වත්මන් ප්‍රේක්ෂකයාට හමු නොවූ ධර්මසේන පතිරාජ නම් නාට්‍යකරුවාගේ අප්‍රකට නාට්‍ය ජීවිතය අලළා විරචිත ග්‍රන්ථ ත්‍රිත්වයක් මෙම මස 31 වැනිදා එනම් ලබන බ්‍රහස්පතින්දා දින සවස මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.

ඒ අනුව පතිරාජයන් තම ශාස්ත්‍රපති උපාධි නිබන්ධය ලෙස පේරාදෙණිය සරසවියට ඉදිරිපත් කළ සිංහල නාට්‍යයේ ආකෘතිය සහ අන්තර්ගතය අතර අරගලය ‘1971’ ජාතික නාට්‍ය උලෙළට පරිවර්තතය කළ ඉයුජින් අයනෙස්කොගේ පුටු හා එම වසරේදීම නිෂ්පාදනය කළ කොරා සහ අන්ධයා යන කෘතින් එළිදැක්වේ.

මෙහිදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා, නාට්‍යවේදී කපිල කුමාර කාලිංග සහ ආචාර්ය සෞම්‍ය ලියනගේ පතිරාජගේ නාට්‍ය භාවිතය සම්බන්ධයෙන් කෙටි දෙසුම් පැවැත්වීමට නියමිතය. ඩබ්ලිව්. ජයසිරි පූරක ලෙස කටයුතු කරයි.


අමරදේව අසපුවේ සමාරම්භක උලෙළ 28 දා

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් හෙළ සංගීත කෙත පෝෂණය උදෙසා කළ මෙහෙවර නිමක් නැත. එමෙන්ම එතුමාණන් සමාජයේ සෑම තරාතිරමකම වෙසෙන ජනයාගේ මනස සංගීතයෙන් සුවපත් කරමින් ගැයූ ගීත ප්‍රමාණය ද අති විශාලය. අප සුභාවිත ගීතයේ ඉහළම සලකුණ අමරදේවයන් බවට වාදයක් නැත. එවන් අනර්ඝ මෙන්ම විශිෂ්ට සංගීතඥයකු වූ ඔහු වෙනුවෙන් සදා අමරණීය සිහිවටනයක් ඉදි කිරීමට මේ වන විට සැලසුම් සකස් කොට අවසානය. අමරදේව අසපුව ලෙස නම් කොට ඇති එය ඓතිහාසික, පර්යේෂණ, ලේඛනාගාර, පුස්තකාල සහ කෞතුකාගාරයකින් සමන්විත ආශ්‍රමයකි. එම ආශ්‍රමය ඉදි වන්නේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදීය. මෙම මස 28 වැනිදා එහි සමාරම්භක උලෙළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවේ. මෙම ආශ්‍රමය ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශය මඟින් ඉදි කරනු ලබයි. අමරදේව අසපුව මෙරට කලා ලොව වෙනුවෙන් කරන අනගි අනාගත ආයෝජනයක් බව නොකියාම බැරිය.


රවී - ලකී එක්කොට තවත් ඉන්දීය නිළියක් මෙරටට බ්ලොක්බස්ටර් ඇරැඹේ

ශ්‍රීපාලි හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කරනු ලබන නවතම සිනමාපටය බ්ලොක්බස්ටර් මුහුරත් උලෙළ පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණ. නගරයක සිටින මැර කණ්ඩායමක් සහ ඔවුන්ට එරෙහි වන පොලිස් අධිකාරීවරයකු වටා මෙහි කතා පුවත ගෙතී තිබේ. රවීන්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස් අමිල කරුණානායක, ඉන්දියානු නිළියක යැයි කියනු ලබන රිතිකා ගුලාට්, කුමාර රණපුර, ශිරානි නුගේරා, ඩයනා කේ. හෙට්ටිආරච්චි, ශ්‍රීමාලි ෆොන්සේකා, ඩී. බී. ගංගොඩතැන්න, ශෙනායා ඩැනියල්ස් මෙහි රංගනයේ යෙදෙන නළු නිළියන්ය. කැමරා අධ්‍යක්ෂණය නිර්මාල් රාජපක්ෂගෙනි. තරිඳු ඉලංගකෝන් සහාය අධ්‍යක්ෂවරයාය. අශෝක ජයවර්ධනගේ නිෂ්පාදන කළමනාකරණයකි. සජිත් ලක්මාල් කලා අධ්‍යක්ෂවරයාය. ඩ්‍රීම් වර්ක් මීඩියා සොලුයුෂන් ඉදිරිපත් කිරීමක් වන මෙම සිනමාපටය එල්. එම්. එන්. ගෝල්ඩිංග්ස් ආයතනයේ නිෂ්පාදනයකි.


එඩ්නාගේ වැඩසටහන 27 දා

සිනමා රංගන ශිල්පිනියක මෙන්ම ජ්‍යෝතිර්වේදිනියක වන එඩ්නා සුගතපාල සහභාගී වන විශේෂ වැඩ සටහනක් මෙම මස 27 දින එනම් එන ඉරිදා උදෑසන 8.30 ට ඩයලොග් ටී වී 123 නාලිකාව ඔස්සේ විකාශය වේ. එඩ්නාගේ වර්තමාන කලා ජීවිතය ගැන මෙහිදී කතාබහ කෙරෙනු ඇත.


 මා ආලය කළ තරුණිය සමුගනී

සිරිසේන විමලවීරයන්ගේ මා ආලය කළ තරුණිය සිනමාපටයෙහි රංගනයෙන් දායක වී සිංහල සිනමාවෙහි ජනප්‍රියත්වයට පත් කුමාරි මානෙල් අභාවප්‍රාප්ත විය. එම සිනමාපටයෙහි අන්ධ තරුණිය චරිතය රඟපෑ ඇය අනතුරුව වනමල, වීදුරු ගෙවල්, දෙව්දුව, චායා ආදී සිනමාපටයන්හි සිය රංගන දායකත්වය සැපයීය. විමලවීරයන්ගේ බාල පුතු වූ උපසේන විමලවීරයන් සමඟ විවාහ වූ ඇය පසුකාලීනව රංගනයේ යෙදුණේ විමලවීර පවුලේ චිත්‍රපටවල පමණි.


 

වාද බයිලා ප්‍රසංගය 27 දා

පර්සි රාජපක්ෂ ප්‍රමුඛ සමස්ත ලංකා වාද බයිලා ශිල්පීන් සහභාගි වන වාද බයිලා ප්‍රසංගයක් මෙම මස 27 වැනිදා රාත්‍රී 9 සිට ජාඇල ජොසිතාවත්තදී නොමිලයේ පැවැත්වෙනු ඇත. රූපවාහිනී වාද්‍ය මණ්ඩලය විසින් සංගීතවත් කරන මෙහි කතණය සුධර්ම හෙට්ටිආරච්චිගෙනි. ජොසිතාවත්ත තරුණ කැල සමඟ රංජිත් පෙරේරා මෙම වාද බයිලා ප්‍රසංගය සංවිධානය කරයි.


‘ලයනල් වෙන්ඩ්ට් - කලාව සහ ජීවිතය’ අගෝස්තු 30 දා එළිදකී

ප්‍රවීන මාධ්‍යවේදී සම්පත් බණ්ඩාරගේ නවතම කෘතිය 'ලයනල් වෙන්ඩ්ට් - කලාව සහ ජීවිතය' (සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් කෘති දෙකක් ලෙස) අගෝස්තු 30 වැනි බදාදා පස්වරු 3.30 ට කොළඹ 7 ගිල්ෆ්‍රර්ඩ් චන්ද්‍රවංකයේ පිහිටි ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රයේදී දොරට වඩී.

ලාංකේය කලාව විප්ලවීය පරිවර්තනයකට ලක් කළ යුග පුරුෂයකු ලෙස සැලකිය හැකි ලයනල් වෙන්ඩ්ට්ගේ පර්යේෂණාත්මක චරිතාපදානය සහ ඔහුගේ කලා භාවිතාව මෙහිදී දුර්ලභ ඡායාරූප රැසකින් සමන්විතව විග්‍රහ කෙරේ. ඔහුගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කළ මෙරට ප්‍රථම නූතනවාදී කලා පෙරමුණ ලෙස හැඳින්විය හැකි '43 කණ්ඩායම' පිළිබඳ සවිස්තර පරිච්ඡේදයක් ද මේ ග්‍රන්ථයට අන්තර්ගතය. මෙය ලයනල් වෙන්ඩ්ට් කලාකරුවා පිළිබඳ ප්‍රථම චරිතාපදාන කෘතියයි. මෙය නුගේගොඩ සරසවි ප්‍රකාශනයකි.

මෙහිදී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාද් උපාධි අංශයේ පීඨාධිපති මහාචාර්ය සරත් චන්ද්‍රජීව, ප්‍රවීණ ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩ, සපුමල් පදනමේ සභාපති රොහාන් ද සොයිසා යන මහත්වරු දෙසුම් පවත්වති.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ලයනල් වෙන්ඩ්ට්' නම් විශේෂ වාර්තා චිත්‍රපටය මෙහිදී තිරගත කෙරේ.

සම්පත් බණ්ඩාර ප්‍රබන්ධ නොවන (Non-Fiction) සාහිත්‍යාංග කෙරෙහි උනන්දුවක් දක්වන ලේඛකයෙකි. පර්යේෂණාත්මක චරිතාපදාන සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන ඔහුගේ 'ආනන්ද කුමාරස්වාමි - විශ්වීය මිනිසෙකුගේ ජීවිතය හා නිර්මාණ', 'රනිල් වික්‍රමසිංහ - දේශපාලනික චරිතාපදානය' වැනි කෘති පාඨක, විචාරක අවධානයට ලක් විය.

සෞම්‍ය ලියනගේ නම් අති දක්ෂ රූපණවේදියාගේ රුවින් අද සරසවිය කවරය හැඩ වන්නේ මේ දිනවල තිරගත වන හීන හොයන සමනල්ලු චිත්‍රපටය නිසාය. වේදිකාව, ටෙලි නාට්‍ය, සිනමාව යන අංශ ත්‍රිත්වයම ජයගත් හෙතෙම හොඳම නළුවා ලෙසට ද අවස්්ථා කිහිපයකදී ඇගයීමට ලක් විය. රංගන පරපුරක එක් පුුරුකක් වන සෞම්‍ය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ද වේ.