වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




කොමඩි හෙට කොහොමද

කොමඩි හෙට කොහොමද

ලෝක සිනමාව තුළ ප්‍රධාන නළු නිළියන් ද විකට රංගන ඉදිරිපත් කළ අවස්ථා ඇත. 'ග්‍රීස්' වැනි චිත්‍රපටවල ජොන් ට්‍රාවෝල්ටා 'මමාමියා' හි මෙරිල් ස්ට්‍රිප්, පියර්ස් බ්‍රොස්නන් සේම 'අන්දාස් අප්නා අප්නා' හී අමීර්ඛාන්, සල්මන් ඛාන්, කරිෂ්මා කපූර්, රවීනා ටැන්ඩන් වැන්නන් විකට චරිතවලට සාර්ථක ලෙස අනුගත වූයේ වෘත්තීය විකට නළුවනුත් පරදවාය. ආක්ෂේ කුමාර් විකට නළු ලැයිස්තුවේ ද සිටී. ප්‍රධාන නළු ලැයිස්තුවේ ද ක්‍රියාදාම නළු ලැයිස්තුවේ ද සිටී. ඒ දක්ෂකමය. ධර්මසිරි බණ්ඩාරනායක දක්ෂ රංගන ශිල්පියෙක් හා අධ්‍යක්ෂවරයෙක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ඔහු සිනමාවට පැමිණියේ විකට රංගනයකිනි. ඒ දයානන්ද ගුණවර්ධනගේ 'බක් මහ දීගේ' චිත්‍රපටයෙනි. ඒ වලව්වේ ළමාතැනීට ප්‍රේම කරන හුරතල් ගති පැවතුම් ඇති තරුණයෙක් වූ ප්‍රේමදාස නම් චරිතයකිනි.

ලාංකේය සිනමාවට විකටයන් අවශ්‍යමදැයි ඇසුවහොත් දිය යුතු එකම පිළිතුර ලාංකේය සිනමාවට පමණක් නොව, ලෝක සිනමාවට ද විකටයන් අත්‍යවශ්‍ය බවය.

පෙර ලිපියක මා සඳහන් කළ පරිදි සිනමාවේ උපත සිදු වූයේ විනෝදාස්වාදය මුල්කරගෙනය. ශබ්ද විරහිත සිනමාව තුළ ප්‍රේක්ෂකයන් වින්දනය ලැබුවේ ඉරියව්, හැඟීම් හා චලනවලිනි. එම චලන හා ඉරියව් බොහෝ විට නැගුණේ හාස්‍ය උද්පාදනය කරමිනි. එකල ප්‍රේක්ෂකයන්ට උවමනා වී තිබුණේ ඒ චලනයන් දෙස බලමින් උඩ පැන පැන සිනාසීමටය. චාලි චැප්ලින්ගේ නිහඬ චලනයන් ජනප්‍රියවීමට මූලික හේතුව වූයේ ඔහු මවා පෑ හාස්‍ය රසය නිසාය. ඔහුගේ ඇඳුම් විලාසිතා, තොප්පිය, සපත්තු ජෝඩුව මෙන්ම ඔහු ඇවිදින විලාශය ද ඉදිරිපත් වූයේ විකට ස්වරූපයෙන්ය. ඒ විකට රසයට ප්‍රේක්ෂකයන් කැමතිය. එය ලොව වටා විසිර ගිියේ සිනමා චලනයේදී උද්පාදනය වන කවට රසයට ඇති ප්‍රියතාවය නිසාය.

ආසියානුවන් ද විකට රසයට ඉමහත් කැමැත්තක් දක්වන්නට විය. එයිනුත්, ඉන්දියානුවන් හා ලාංකිකයන් විශේෂිත විය. මුල් චිත්‍රපටයේ සිටම විකට චරිතයන් ඇතුළත් කිරීමට ලාංකිකයෝ ද වග බලාගති. එකල ඉමහත් ජනප්‍රිය චරිත දෙකක් වූ ජොසි බබා සහ මනප්පුවා යන යුවල මුල් චිත්‍රපටය වූ 'කඩවුණු පොරොන්දුව'ට ඇතුළත් වූයේ ඒ නිසාය. එඩී ජයමාන්නට මනප්පුවා ලෙස ලේබල් ඇලවූයේ මෙතනින් පසුවය . එලෙසම කලාත්මක යැයි චිත්‍රපට හැර අන් බොහෝ චිත්‍රපටවලට විකට නළු නිළියන් අතුරු චරිත ලෙස රිංගා ගත් අතර පසුව ප්‍රධාන නළුවාගේ යහළුවාට, හැල්ප්කාරයාට, ප්‍රධාන නිළියගේ යෙහෙළියටත් මාරු වී එය ස්ථිර චරිතයක් ලෙස විනෝදාත්මක සිනමාව තුළ සදාකල්ම තැන්පත් විය. 'කොමිට්' නළුවා, නිළිය කවුදැයි අසා චිත්‍රපට බලන්නට යෑමට තරම් විකට නළු නිළියන් ප්‍රසිද්ධ වන්නට විය. අතැම් චිත්‍රපටවල ප්‍රධාන නළු නිළියන්ට වඩා විකට චරිත රඟපාන නළු නිළියන් ජනප්‍රිය විය.

එඩී ජයමාන්න ලාංකික තිරයේ මුල්ම විකටයා විය. පසු කලෙකවත් ඔහුට එයින් මිදෙන්නට නොහැකි විය. ඔහු ගාම්භීර චරිතයක් රඟපෑව ද අර විකට ස්වරූපය ඔහුගෙන් ගිලිහුණේ නැත. ඉන් පසු ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, රිචඩ් ඇල්බට් (ටාසන්), ජෝසප් සෙනවිරත්න, හියුගෝ ප්‍රනාන්දු, ජෝ අබේවික්‍රම, එඩී ජූනියර්, එල්. එම්. පෙරේරා, පසුව බී. එස්. පෙරේරා, ඇන්තනි සී. පෙරේරා, දොන් සිරිසේන, ෆ්‍රෙඩී සිල්වා, නිහාල් සිල්වා එයිනුත් පසු ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ, විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල හරහා මහින්ද පතිරගේ ළඟ නැවතුණි.

කඩවුණු පොරොන්දුුවේ 'ජොසි බබා'ට රඟපෑ ජෙමිනි කාන්තා ගෙන් පටන්ගත් කාන්තා විකට චරිත මේබල් බ්ලයිත්, පර්ල් වාසුදේවි, ලිලියන් එදිරිසිංහ, ලැටිෂියා පීරිස් ද පසුව සමන්ති ලැනරෝල්, මානෙල් චන්ද්‍රලතා, සුසිලා කෝට්ටගේ හරහා නිල්මිණි කෝට්ටගොඩ ළඟ නැවතී තිබේ.

මෙම බොහෝ චරිත අතුරු චරිත ලෙස චිත්‍රපට තුළට ඇතුල් විය. විනෝදාත්මක සිනමාව නරඹන්නට යන ප්‍රේක්ෂකයන්ට සින්දු, නැටුම්, සටන්, පෙම්වතා, පෙම්වතිය, දුෂ්ටයාට අමතරව විකට යුවළ ද සිටිය යුතුමය. ඇතැම් අවස්ථාවල පෙම්වතා, පෙම්වතියට වඩා විකට යුවළ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වන අවස්ථා තිබුණි. එකල ගාමිණී ෆොන්සේකාගේ බොහෝ චිත්‍රපටවල ගාමිණීගේ සගයා ගේ චරිතය රඟපෑවේ ඇන්තනි සී. පෙරේරාය. විකට චරිතය ඉස්මතු කළේ ඔහුගෙන්ය. 'එදත් සූරයා අදත් සූරයා', 'සූරයා සූරයාමයි', 'හතර දෙනාම සූරයෝ', 'සූරයා සූරයාමයි', 'ආදරේ ්හිිතෙනවා දැක්කම' වැනි චිත්‍රපට ගණනාවක දෙදෙනා එක්ව රඟපෑවෝය. විජය කුමාරතුංගගේ චිත්‍රපටවල ඔහුගේ සගයා වූයේ ෆ්‍රෙඩී සිල්වාය. 'නොම්මර 17', 'අංජානා' වැනි චිත්‍රපට එයට නිදසුන්ය. ෆ්‍රෙඩී සිල්වාගේ ජනප්‍රියත්වය තීව්ර වූ විට හැම ප්‍රධාන නළුවෙකුගේම සගයෙක් කර ගත්තේය. ඇතැම් නළුවන්ට වඩා ෆ්‍රෙඩී සිල්වා ඉස්මතු වූ අවස්ථා නම් බොහෝමය. අතුරු චරිතවලට විකට නළුවන් යොදවන අතර එම විකට නළුවන් යොදවා සම්පූර්ණ විකට චිත්‍රපට නිපදවීමට අධ්‍යක්ෂවරුන් පෙලඹෙන්නට විය. ජෝ අබේවික්‍රම, ඇන්තනි සී. පෙරේරා, හියුගෝ ප්‍රනාන්දු එකතු කර තැනූ 'අල්ලපු ගෙදර' චිත්‍රපටය ලද සාර්ථකත්වය කෙතෙක්දැයි කිවහොත් දැනට අවුරුදු 50 කට පෙර නිපද වූ මෙය අදටත් හොඳම විකට චිත්‍රපටය ලෙස පිළිගැනේ. ඉන් ලද සාර්ථකත්වය මත විකට චිත්‍රපට බිහිවන්නට විය. 'මහදැනමුත්තා', 'බක් මහ දීගේ', 'තෙවත', 'කොළඹ සන්නිය' 'සුරේඛා', 'සහයට ඩැනී' , 'කලියුග කාලේ', 'සිනාවයි ඉනාවයි', 'ලොකුම හිනාව', 'සොයිසා,' තක්කිට තරිකිට', 'දේදුන්නෙන් සමනලියක්', 'රස රහසක්' වැනි චිත්‍රපට රාශියක් විකට ලේබලය යටතේ තිරගත විණ. බටහිර චිත්‍රපට තුළට විකට චරිත අතුරු චරිත සේ පැමිණෙන අවස්ථා ඉතාමත් අල්පය. ඔවුන් පූර්ණ විකට චිත්‍රපට නිපදවනු ඇත. ඇතැම් විකට චිත්‍රපට, මාලාවන් ලෙස එන්නට විය. 'කැරි ඕන්' මාලාවත් 'ක්රේසි බෝයිස්' මාලාවත් නිදසුන් සේ ගත හැක. ලංකාව තුළ ද රෝයි ද සිල්වා විසින් 'චෙරියෝ ඩොක්ටර්' මාලාවක් ඇති කළේය. එයට චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ කැප්ටන්, චෙරියෝ ඩාලින් ඇතුළත් විය. එමෙන්ම ඔහු 'රෑ දනියෙල්, දවල් මිගෙල්' 1, 2, 3 කියා මාලාවක් ද නිපද විය. විජය නන්දසිරි සිටින තෙක් විකට චිත්‍රපට ඇදගෙන ආවද, ඔහුගේ අභාවයෙන් පසු විකට චිත්‍රපටවලට ජීවයක් නොලැබුණා සේය. ඇන්ටන් ජූඩ් දක්ෂ විකට රංගන ශිල්පියෙක් වුවද ඔහුගේ හදිසි අභාවය ද පිරවිය නොහැකි අඩුවක් විය. ප්‍රියන්ත සෙනෙවිරත්න, මිහිර සිරිතිලක,ගිරිරාජ් කෞශල්‍ය, රොඩ්නි වර්ණකුල, ලාල් කුලරත්න එක්ව විටින් විට චිත්‍රපටවල විකට ජවනිකා ඉදිරිපත් කළ ද එය ප්‍රමාණවත් නොවන බවක් දනෙන්නට විය.

ලෝක සිනමාව තුළ ප්‍රධාන නළු නිළියන් ද විකට රංගන ඉදිරිපත් කළ අවස්ථා ඇත. 'ග්‍රීස්' වැනි චිත්‍රපටවල ජොන් ට්‍රාවෝල්ටා 'මමාමියා' හි මෙරිල් ස්ට්‍රිප්, පියර්ස් බ්‍රොස්නන් සේම 'අන්දාස් අප්නා අප්නා' හී අමීර්ඛාන්, සල්මන් ඛාන්, කරිෂ්මා කපූර්, රවීනා ටැන්ඩන් වැන්නන් විකට චරිතවලට සාර්ථක ලෙස අනුගත වූයේ වෘත්තීය විකට නළුවනුත් පරදවාය. ආක්ෂේ කුමාර් විකට නළු ලැයිස්තුවේ ද සිටී. ප්‍රධාන නළු ලැයිස්තුවේ ද ක්‍රියාදාම නළු ලැයිස්තුවේ ද සිටී. ඒ දක්ෂකමය. ධර්මසිරි බණ්ඩාරනායක දක්ෂ රංගන ශිල්පියෙක් හා අධ්‍යක්ෂවරයෙක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ඔහු සිනමාවට පැමිණියේ විකට රංගනයකිනි. ඒ දයානන්ද ගුණවර්ධනගේ 'බක් මහ දීගේ' චිත්‍රපටයෙනි. ඒ වලව්වේ ළමාතැනීට ප්‍රේම කරන හුරතල් ගති පැවතුම් ඇති තරුණයෙක් වූ ප්‍රේමදාස නම් චරිතයකිනි.

අද ලාංකේය සිනමාව තුළ ප්‍රධාන දහරාවේ විකට නළු හිඟයක් ඇති බව ඇත්තය. දඟලන, කෑගහන, අනෙක් අය හිනාවීමට ප්‍රථම තමන්ම සිනාසෙන ගණයේ විකට නළු නිළියන් නම් හෝගාන පොකුණ මෙන් ඇත. එදා ජෝ, එඩී, ක්‍රිස්ටි ලෙනාඩ්, ෆ්‍රෙඩී, බී. එස්., ඇන්තනි සී මෙන්ම විජය නන්දසිරි වැන්නන්ගේ කාලය දැන් ඉක්මවා ගොස් ඇත. මහින්ද පතිරගේ වැනි වෘත්තීය විකට නළුවන් අපට සිටිය ද ඔවුන් හා ගැටෙන්නට සිටින සංඛ්‍යාව නම් තරමක් මදි යැයි හැඟේ. මෑත කාලයේදී හොඳ විකට චිත්‍රපටයක් හෝ හොඳ විකට රංගනයක් දුටු බවක් නම් මතක නැත. මේ අඩුව අප පිරවිය යුතුය. දැන් එකල මෙන් ප්‍රධාන නළුවාට සයිඩ් මුක්කු ගැසීමට විකට නළුවන් සිටිය යුතු නැත.

උදයකාන්තගේ 'හිරි පොද වැස්ස' චිත්‍රපටය නිදසුනකට ගතහොත් එහි විකටයන් සිටියේ නැත. එහෙත් ප්‍රධාන නළු නිළි කැල වූ රොෂාන්, අනර්කලී, පුබුදු, චතුරිකා, ජනිත්, මමෝරත්න, හර්ෂනී, නිල්මිණි, අඛිල, ජයන්ත වැන්නවුන් මුළු චිත්‍රපටයම විනෝද සාගරයක් කළෝය. එහෙත් වෘත්තීය විකට නළු නිළියක් කැලක් සිටිය යුතුය. නවකයක්ට විශේෂිත ඉඩකඩක් ද දිය යුතුය. ඔවුන් පුහුණු විය යුතුය. විකට රංගනය යනු කුමක්ද, හාස්‍ය උපදවන්නේ කෙසේ ද, ප්‍රේක්ෂකයන්ව තමන් වෙත ඇද බැඳ තබා ගන්නේ කෙසේ ද යන්න අවබෝධ කරගත යුතුය. වේදිකා නාට්‍ය නම් අද බහුතරය හස්‍යෝත්පාදක තේමාවන් හරහා ඉදිරිපත් වේ. එලෙසම 'රාජ සභාව' වැනි නාට්‍ය මාලාවන් චරිත දෙකකින් පමණක් එක පසුතලයක සිට රඟ දැක්වීමත්, එය දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ලංකාව පුරාම අති සාර්ථකව ගෙන යෑම ගැන එහි නිර්මාණකරුවන් වූ මහින්ද පතිරගේ හා ගුණදාස මදුරසිංහට ප්‍රණාමය පුද කළ යුතුමය. එම ගැම්ම සිනමාව කරා ගෙන එන්නේ නම් උසස් රසයකින් යුත් හස්‍යෝත්පාදක චිත්‍රපට නැරඹිය හැකි වේ. මිස්ටර් බීන් වැනි චරිත අද ලෝක ප්‍රකට වී ඇත. මිස්ටර් බීන් ලෙස රඟන රෝවින් ඇට්කින්සන් අති දක්ෂ බව ඇත්තය. එහෙත් ඔහු වෙනුවෙන් ලියවෙන තිරනාටකවල උද්පාදනය වී තිබුණේ උසස් හාස්‍ය රසයයි. රෝවින්ගේ දිගු කල් පැවැත්මට ඔහුගේ දක්ෂකම හා තිරනාටකවල තිබූ උසස් බව කදිමට ගැළපුණි.

ලාංකේය සිනමාව තුළ ද සිදු විය යුත්තේ එයයි. උසස් හාස්‍ය රසය ලබාදිය හැකි තිර නාටකයන් ලිවිය යුතු වේ. එයට අනුකූලව උසස් හාස්‍ය රස උද්පාදනය කළ හැකි රංග ශිල්පීන්ව බිහි කළ යුතුවේ. රටක සිනමාව රැකගැන්මට හාස්‍යෝත්පාදක චිත්‍රපට තිබිය යුතුමය වේ. එහෙත් ඒවා කිසියම් ප්‍රමිතියකින් යුක්ත විය යුතුය. 'අල්ලපු ගෙදර' චිත්‍රපටය තුළ ඒ ප්‍රමිතිය තිබුණි. එහෙයින් එය ප්‍රේක්ෂක විචාරක ප්‍රසාදය දිනාගති. හොඳ විකට චිත්‍රපට නිර්මාණය කිරීමටත් හොඳ නවක විකට රංග ශිල්පීන් සොයගෙන ඔවුන්ව පුහුණු කර නව තාක්ෂණය උපයෝගී කරගෙන අනාගතයට උසස් ප්‍රමිතියෙන් හස්‍යෝත්පාදක චිත්‍රපට බිහි කිරීමට අප දැන් සිටම ලක ලෑස්ති විය යුතුය. ඒ පරිපූර්ණ සිනමාවකට මෙම අංශය අත්‍යවශ්‍ය නිසාය.