වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




කාර්යබහුලත්වය මට පීඩනයක් නොවේ

කාර්යබහුලත්වය මට පීඩනයක් නොවේ

සංස්කෘතික අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුළ ප්‍රනාන්දු

විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබුවත් කලාව නිතරම මගේ ජීවිතයට සම්බන්ධ වුණා. මං හිතන්නේ ඒ වෙනුවෙන් නිවෙසෙන් ලැබුණු ආභායත් ඉතාම ඉහළයි. මම පොඩි කාලයේ පටන්ම වේදිකා නාට්‍ය නරඹන කෙනෙක්. මගේ අම්මා, තාත්තා, මහත්තයා වගේම දරුවන් පවා නාට්‍ය නරඹන්න විශාල ඇල්මක් දක්වනවා. හොඳ චිත්‍රපට නරඹන්නත් හරිම ආසයි. මා සතුව විවිධ රටවල චිත්‍රපට එකතුවකුත් තියෙනවා. ඒ වගේම මම පොඩි කාලයේ පටන් ගොඩක් පොත් කියවන කෙනෙක්. කියවීම තුළින් ලද ආභාෂයෙන් මම මගේ පළමු පොත ලියන්නෙත් උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබන විටදීයි. දැනට මම පොත් පනහක් විතර එළිදක්වා තිබෙනවා.

අනූෂා ගෝකුල ප්‍රනාන්දු විසින් රචිත ‘අභිමානවත් කලාකරුවා’ සහ ‘ට්‍රැෆික් කවි’ කෘති ද්විත්වය හෙට (අගෝස්තු 25) පස්වරු 6.00ට බත්තරමුල්ල ‘අපේ ගම’ ප්‍රධාන ශාලාවේදී එළිදැක්වේ. එයට සමගාමීව ඇයගේ දියණිය නිශාම් නයිසරාගේ සිව්වන ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘සරාසඳ’ නමින් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

කලා ක්ෂේත්‍රයෙන් බැහැරව වුවද කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන අය නැතුවාම නොවේ. කලාවට වූ ළෙංගතුකම නිසාම කලාව වෙනුවෙන් තම දිවිය කැප කරන අය අතරේ ඇය ද සුවිශේෂි චරිතයකි. ඇය නමින් අනූෂා ගෝකුල ප්‍රනාන්දු ය. වර්තමානයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය හොබවන්නේ ඇය යි. දේශකවරියක ලෙසත් මෙරට ජනතාවගේ සුබසිද්ධිය උදෙසා වෙහෙසෙන ඇයගේ භූමිකාව තුළ ලේඛිකාවකගේ චරිතය ද කැපී පෙනේ. ඉදිරි අනාගතය වෙනුවෙන් ලාංකේය අනන්‍යතාවය සුරැකෙන පරිදි සාහිත්‍ය, කලාව සංරක්ෂණයෙහිලා වගකීමෙන් කටයුතු කරන ඇයගේ කලා රුචිකත්වය ද සුවිශේෂි වේ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුයේ අධ්‍යක්ෂවරිය ලෙසින් ඔබ වෙත පැවරී තිබෙන්නේ සුවිශාල වගකීමක්?

සංස්කෘතිය කිව්වාම හරියට අහස වගේ. එයට අයත් නැති දෙයක් නැහැ. රටක සමස්තයම සංස්කෘතියට අයත්. මෙතැනදී සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරිය ලෙසින් මට පැවරී තිබෙන වැඩ කොටසට එහා ගිය දෙයක් ඔලුවට දැනෙනවා. සමාජයේ ප්‍රශ්න සියල්ල ඇති වන්නේ සංස්කෘතියේ පිරිහීමෙන්. කලාව හා සංස්කෘතිය හරහාම මේ සංස්කෘතික මිනිසා ජනගත කර නැවත මේ සමාජයට ගෙනඒම කියන තැන සිටයි මම වැඩ කරන්නේ. නමුත් අපට පැවරිලා තියෙන වගකීමට වඩා වගවීමක් නිලධාරින් විදියට අප හිස මත පැවරෙනවා. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන මේ තැනට පැමිණි අය. එවිට ලිඛිතව ලියවෙන රාමුවට එහා ගොස් විෂය ව්‍යාප්ත කරගෙන රටේ සංවර්ධනයට මේ විෂය ගලපන්නේ කොහොමද කියන එක ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

ඒ වගේම මෙම කටයුත්ත තනිව හෝ එක් දෙපාර්තමේන්තුවකට කළ හැකි කාර්යභාරයක් නොවන බවත් කිව යුතුමයි. එහි පුළුල් බව සමඟ තවත් බොහෝ දෙනෙකුගේ සහාය අවශ්‍ය වෙනවා. ඒ සහය ලබාගෙන කටයුතු කිරීමේදී මාධ්‍යයත් විශාල සාධකයක් වෙනවා. සාම්ප්‍රදායිකත්වයෙන් බැහැර වෙලා නව වැඩසටහන් රැසක් මේවන විට ක්‍රියාත්මක වෙනවා. සංස්කෘතික අධ්‍යක්ෂවරිය ලෙසින් සතුටට පත් වෙන්න නම් මේ රටේ සියදිවි නසා ගැනීම්, ළමා අපචාර නැති වි යුතුයි. මේ රටේ නිවිච්චි, හැදිච්ච, පිරිච්ච මිනිසුන් සිටින දවසක් උදා විය යුතුයි.

මේ කාර්ය පුරාවට කාන්තාවක් වීම අභියෝගයක් වුණ අවස්ථා එහෙමත් ඇති?

හැම මොහොතක්ම අභියෝගයක්. මේ තනතුර කාන්තාවකට කළ නොහැකි තනතුරක් බව මම පැහැදිලිව දකින දෙයක්. මෙහි කැපකිරීම්වල සීමාවක් නැහැ. සතියේ දවස් හතේම වැඩ. රාත්‍රි නවය දහය වෙන තෙක්ම වැඩ. එහෙම වුණාම විශේෂයෙන් මවක් බිරියක් විදියට මගේ පෞද්ගලික ජීවිතයට වේලාවක් නැති වී යන තරම්. මේ හැම දෙයක්ම සමබරව කරගෙන යන්න ලොකු වෙහෙසක් දරන්න සිදු වෙලා තියෙනවා. එය කාන්තාවක් විදියට ලොකු වගකීමක් දරන්න සිදු වෙන කටයුත්තක්. මෙම කාර්යයේදී මගේ කාර්ය මණ්ඩලයෙන් සහයෝගයත් ඉහළින්ම ලැබෙන බව කිව යුතුයි. ඇත්තටම මෙය අවිවේකි තනතුරක් වුණත් කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන නිසා ගැටලු අවමයි.

ඔබ දේශකවරියත් ලෙසත් විශාල මෙහෙවරක් ඉටු කරන්නියක්?

මගේ තාත්තා ගුරුවරයෙක්. අම්මත් ගුරුවරියක්. අපි පදිංචිය වුණේ කුරුණෑගල. පොඩි කාලයේ පටන් දුප්පත් පවුල්වල ළමයින්ට නොමිලයේ උගන්වන්න මම පුරුදු වෙලා හිටියා. මම හත වසරේදී තුන, හතර වසරවල ළමයින්ට පාඩම් කියා දෙනවා. මාව ඒ වෙනුවෙන් යොමු කළේ මගේ තාත්තා. ඒ සමඟින් උගන්වන්න උනන්දුවක් ඇති වුණා කිව්වොත් නිවැරදියි. මම විද්‍යා උපාධිධාරිණියක් වුණත් අම්මාගේ කලායතනයේ ළමයින්ට නර්තනයත් ඉගැන්නුවා. ඒ දවස්වල මම දුෂ්කර පළාත්වලට ගිහින් නොමිලයේ සම්මන්ත්‍රණ පවා පැවැත්වූවා. ඒවා සූදානම් කරලා දෙන්නේ තාත්තා. මම දේශනවලට යොමු වුණේ ඒ විදියටයි. තවත් පිරිසකගේ බුද්ධියට අමතා දේශන පැවැත්වීමෙන් මට විශාල මානසික සුවයක් දැනෙනවා. දැන් නම් කාල වේලාව අනුව දේශන භාර ගන්න තරමක් අපහසුයි.

පෞද්ගලික මට්ටටමෙන් ඔබේ කලා රුචිකත්වය ගැනත් කතා කළොත්?

විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබුවත් කලාව නිතරම මගේ ජීවිතයට සම්බන්ධ වුණා. මං හිතන්නේ ඒ වෙනුවෙන් නිවෙසෙන් ලැබුණු ආභායත් ඉතාම ඉහළයි. මම පොඩි කාලයේ පටන්ම වේදිකා නාට්‍ය නරඹන කෙනෙක්. මගේ අම්මා, තාත්තා, මහත්තයා වගේම දරුවන් පවා නාට්‍ය නරඹන්න විශාල ඇල්මක් දක්වනවා. හොඳ චිත්‍රපට නරඹන්නත් හරිම ආසයි. මා සතුව විවිධ රටවල චිත්‍රපට එකතුවකුත් තියෙනවා. ඒ වගේම මම පොඩි කාලයේ පටන් ගොඩක් පොත් කියවන කෙනෙක්. කියවීම තුළින් ලද ආභාෂයෙන් මම මගේ පළමු පොත ලියන්නෙත් උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබන විටදීයි. දැනට මම පොත් පනහක් විතර එළිදක්වා තිබෙනවා. හෙට දිනයේදීත් මගේ අලුත්ම පොත් දෙකක් එළි දක්වන්න සූදානම්. සාමාන්‍යයෙන් අවුරුද්දකට පොත් දෙකක් විතර ලියලා නොමිලයේ බෙදා දෙන එකත් මගේ විනෝදාංශයක්.

පාසල් වියේදී කලා කටයුතුවලටත් දායක වෙන්න ඇති?

අපේ ගෙදරම කලායතනයක් තිබුණු නිසා එයින් පැවැත්වෙන සංදර්ශන විශාල සංඛ්‍යාවකට දායක වෙන්න මටත් අවස්ථාව ලැබුණා. ඊට අමතරව පාසලේ සෑම සාහිත්‍ය උත්වයකදීම මගේ දායකත්වය ඒවාට ලැබුණා. නර්තන, සංගීත, ජන ගී තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා. මුතුහර ළමා සමාජය, යෞවන සමාජ, කොළඹ ළමා පොත් සංගමය වගේ හැම සංගමයකටම සම්බන්ධ වෙලා කටයුතු කළා. නර්තන ප්‍රාරම්භ මධ්‍යම විභාගය සමත් වෙලා නර්තන ගුරුවරික් ලෙසින් පත්වීමක් ලැබුණත් මම එය භාර ගත්තේ නැහැ. නමුත් හැමදාම මං කලාවට ආදරය කළා.

අතිශය කාර්යබහුල දිවියකට කලා රසඥතාව වගේම කලා කටයුතුවලට දායකවීමෙන් ලැබෙන්නේ මොන වගේ දෙයක්ද?

මම කිසිම වෙලාවකවත් කාර්යබහුලත්වය පීඩනයක් විදියට ගන්නේ නැහැ. මං හිතන්නේ ඒක මට ගෙදරින් ලැබුණු ආදර්ශයක්. මම රැකියාව විනෝදාංශයක් කර ගෙනයි ඉන්නේ. එවිට මම එය ඉටු කරන්නේ ගොඩක් සතුටින්. එකකට එකක් වැඩ සමගාමීව කරන්න මට මගේ තාත්තා හුරු කළේ පොඩි කාලයේදීමයි. අපේ ගෙදර මමයි මල්ලිලා දෙන්නයි. අපි තුන්දෙනාටම තාත්තා වයසට වඩා වැඩි වැඩ පවරනවා. ඒ තුළින් දරා ගැනීමේ හැකියාවත් කුඩා වියේදීම වර්ධනය වුණා.

වර්තමානය වන විට බොහෝ දෙමාපියන් දරුවන් කලා කටයුතුවලින් දුරස් කරවන බව තමයි පෙනෙන්නේ. ඒක ළමයින්ට කරන ලොකු අසාධාරණයක්. ඇත්තටම ඒක ඛේදයක්. ඕනෑම පුද්ගලයෙක් කුමන විෂයක් හැදැරුවත් කලාවත් අනිවාර්යයෙන්ම එම පුද්ගලයාගේ ජීවිතයට ඇතුළත් විය යුතුමයි. ගීතයක් රස විඳීන්න, නවකතාවක්, ‍කෙටිකතාවක් කියවා රසවිඳීන්න හැකියාව නොමැතිවීම තුළ ජීවිත කාන්තාර බවට පත් වෙනවා. සොඳුරු මිනිසුන් බිහි වෙන්නේ සෞන්දර්ය, කලාව සමඟින් නිවැරදි කලාකෘති පරිශීලය කිරීමෙන්. නිවුනුකම, හැදිච්චකම, පරිණත බව ආදි මේ සියල්ල කලාකෘති ඔස්සේ අපට ලැබෙනවා. කලාවෙන් බැහැරව ප්‍රථිඵල පාදක ක්‍රමය අනුගමනය කළහොත් ඇති වෙන්නේ කඨෝර මිනිසුන්. ලොව අසුන්දර වෙන්නේ මේ වැනි කඨෝර මිනිසුන් නිසා.

හෙට දිනයේදී ඔබ අතින් ලියවුණු නව කෘති දෙකක් එළිදැක්වෙනවා. ඒ ගැනත් විස්තර කියමු?

එක පොතක් 'ට්‍රැෆික් කවි' නමින් නම් කරලා තියෙනවා. ඒ කවි ලිව්වේ පසුගිය වසර දෙක තුළදී මම එදිනෙදා කාර්යාලයට එන යන විටදී මාර්ග තදබදය නිසා ගතවන කාලයේදීයි. දැන් නම් ලියන්න ගොඩක්ම වේලාව හොයා ගන්නේ වාහනයේ සිටින මේ වැනි වේලාවකදී තමයි.

අනිත් පොත 'අභිමානවත් කලාකරුවා' නම් වෙනවා. මගේ සීයා කලාකරුවෙක්. මීට අවුරුදු දෙකකට පෙරදී ඔහු මිය ගියා. ඔහු මහා අභිමානයක් තිබුණු කලාකරුවෙක්. මේ කෘතියෙන් මම අපේක්ෂා කරන්නේ, මගේ සීයාට ගෞරවයක් වගේම සීයාගේ දර්ශනය තුළින් නව කලාකරුවා ඇමතීමක්. ඒ සමඟින් 'සරාසඳ', මගේ දියණිය නිශාම් නයිසරාගේ සිව්වන ඒක පුද්ගල ගී ප්‍රසංගයත් පැවැත්වෙනවා.