වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

සාගරිකා නිසා කොස්තාගේ මූණ හබක් වෙයි

මීට වසර 44 කට පෙර ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කරන ලද 'සාගරිකා' චිත්‍රපටයේ දර්ශන රූපගත කිරීම් බැලීමට වැල්ලවායට යාමට අවස්ථාව ලැබුණි.

'උඹ බැඳලත් නැහැනේ වරෙන් යන්න වැල්ලවායට. කොළඹ දැකලම එපා වෙලා ඇතිනේ . . .' ටයි මහත්තතයා මට කීවේය.

ටයි මහත්තයා සිටින තැන රස සාගරයක් නිසා මම පැනලා 'හා' කීවෙමි. ඔහුගේ හොඳ හොඳ කියුම් ද අසා ගත හැකිය. ඒ කතා, කියුම් නිර්මාණාත්මකය. සමහර ඒවා පත්තරයක ලිවීමට අසීරුය.

'සාගරිකා' චිත්‍රපටයේ එදා දර්ශන තලයේ සිටි නළු නිළියන් අතුරින් වඩාත් දුකක් වින්දේ විමල් කුමාර් ද කොස්තාය. එයට ප්‍රධාන හේතුව වූයේ ඔහුට දුෂ්කරම වෙස් ගැන්වීමක් සිදුවීමය. කොස්තාට එක විදිහට සිටීම අසීරු වුයේ පැය ගණනක්ම එක තැන ඉඳගෙන වේශ නිරූපණ ශිල්පී ඊබට් විජේසිංහගේ ග්‍රහණයට හසුව තිබීමය.

"උඹ එක විදිහකට හිටපං රාජකීය මේකප් එකක් මේක. උඹට ජීවිතෙත් එපාවෙයි මේ මේකප් එකෙන් පස්සේ' ඊබට් කීය.

'හැබැයි මචං කලින් දැනගෙන හිටිය නං මූණ ඉන්ෂුවරන්ස් කරගෙන එනවා'

'මූණ ඉන්ෂූවරන්ස් කර ගත්තත් අද නම් කොස්තගේ මුහුණ හබක්' ටයි මහත්තයා කීවේය.

ඊබට් තම මෙවලම් මල්ලෙන් බොරු දත් කුට්ටමක් එළියට ගත්තේය.

'මොකද බං, කොහෙන්ද මේ බොරු දත් කුට්ටම, උඹ 'හාර ලක්සෙ' ගොළුවට දාපු එකද? ඒක නම් මට එපා. පරණ වෙලා ගඳ ගහයි'

'උඹ හිතුවද 'හාර ලක්සේ' බඩු මේකට පාවිච්චි කරනව කියලා. මේ 'දත් කුට්ටමේ මෙෂමන්ට් අරන් මරදානේ චීන දත් සාප්පුවකින් කියලා හදා ගත්තේ'

'එහෙනං නාකි චීනෙකුගේ එකක් ෂුවර්'

'කට වහගෙන හිටපං. මේක අලුත් එකක් මචං. උඹට මං එහෙම කරනවද?'

'විහිළුවට කිව්වේ මචං ඊබා'

විටින් විට වෙස් නිර්මාණය කරන තැනට පැමිණෙන කවුරුත් 'කොස්තා' යි කෑ ගසන විට කොස්තා කුමන වැඩක් කර කර සිටියත් 'ඉන්නවා' යි කියමින් ඔවුන් කතා කරන ඉසව්ව බලයි. කොස්තාගේ මේ දැඟලිල්ල වෙස් ගන්වන විට බාධාවක් වන නිසා ඊබට් ඔහු එක අතකින් තද කොට අල්ලා ගනී.

'දඟලන්න එපා, උඹේ ඇස් පොට්ට වෙයි' ඊබට් විටෙක කේන්තියෙන් කෑගසයි.

කොස්තා නිසොල්මන් වෙයි. ඊබට් පැයක් ඇතුළත කොස්තාගේ මුහුණ විරූපී කළේය. මේ විරූපී පුද්ගලයා ගමේ රාජකාරි කළ ගම්මුලාදෑනියා නොහොත් ආරච්චිලය. වැල්ලවායේ දුෂ්කර වියළි ප්‍රදේශයකදී රූපගත වූ මේ දර්ශනාවලියේ මුල්ම රූප රාමුව වූයේ ආරච්චිලගේ දුර රූපයකි.

'ඇන්ඩෲ අපිට මුලින්ම ගන්න තියෙන්නේ කොස්තාගේ ලෝන්ග් ෂොට් එකක්' ටයි මහත්තයා කැමරා ශිල්පී ඇන්ඩෘ ජයමාන්නට රූප රාමුව විස්තර කළේය.

පටන් ගත් තැන සිට කඩියකු මෙන් දුව පැන කැමරාව මෙහෙයවීමට ඇන්ඩෲ සමතෙකි.

'රේඛාවෙන්' පසු ශබ්දයත්, රූපයත් එක වේලාවේම කැමරාවට හා හඬ පටයට ගත්තේ 'සාගරිකා' චිත්‍රපටයේය. ඒ 1973 වසෙර්ය. වැල්ලවාය වැනි ශූෂ්ක කාලගුණයක මොහොතක්වත් විවේක නොමැතිව දහඩිය ලේන්සුවල පොඟවාගෙන ආලෝකය නිසි ලෙස සකස් කිරීම ඇන්ඩෲ කළ ලොකු හපන්කමකි.

උදේ සිට හවස් වනතුරු එක දිගට වියළි පරිසරයක එක දිගටම රූපගත කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. රාත්‍රී කාලයේ වැඩ අවසන් වූ වහාම ටයි මහත්තයා ඇන්ඩෲ මා ද කැටුව රංගවේදී සේනක පෙරේරාගේ මෝටර් රථය සොයා ගියහ. වැල්ලවාය තානායමට ගොස් බීර බෝතලයක් දෙකක් බීමෙන් පසු විඩාව සන්සිඳෙයි. 'මේ බේස් එක. ඊළඟට අපේ කට්ටිය එක්ක මධු පානය' ටයි මහත්තයා කියයි.

මා මුලදී කිව්වාක් මෙන් කොස්තාට පුදුම වදයක් හා වේදනාවක් ඊබට් නිසා දැනුණි.

'තෝ මගේ පූර්වේ ආත්මෙක තරහකාරයෙක්. වෛරක්කාරයෙක්' ඔහු ඊබට්ට බණියි.

පැය 48 ක් එක දිගටම එකම වෙස් ගැන්වීමකින් බලා ගත් අත බලා සිටි එකම නළුවා විමල් කුමාර් ද කොස්තා යයි මම සිතුවෙමි. පසුදා ද මේ වෙස් ගැන්වීම දැමු විට මුළු මුහුණම 'යූහූ'වලට (සැර ගම් වර්ගයකි) මුළු මුහුණම පිච්චෙයි. එක ඇසක් වසා ඇති නිසා ඒ හරිය තැම්බී දහඩිය බේරෙයි. කෑම ගැනීමට බැරි නිසා ඔහු සිසිල් බීමක් බටයකින් බීවේය. සෙසු කට්ටියගෙන් මිදී අයිනකට වී සිටින කොස්තාට නින්ද ගිහින් හිටියත් කිසිවෙකුට නොපෙනේ. කොතරම් නින්ද ගියත් ටයිටස්ගේ එක කෑගැහිල්ලකින් කොස්තා උඩ ගිහින් බිමට වැටේ.

'කොස්තා රෙඩි'

ඒ හඬින් අවදි වන්නේ 'ඉන්නවා' කියමිනි. සෙස්සෝ මහ හ¼ඩින් සිනාසෙති.

එදින රූපගතවීම් අවසන් වූ පසු තානායමට රැස්වෙන තානායමේ රාළහාමි හා තරුණ සේවක පිරිස රුක්මණී දේවි, ටෝනි රණසිංහ, ශ්‍රියානි අමරසේන හා දොන් සිරිසේන වට කර ගනී.

'රුක්මණී නෝනා කියපු අපිට පරණ සින්දුවක් අහන්න ආසයි'

රුක්මණී නිහතමානීව ඒ ඉල්ලීම ඉටු කළාය.

'නින්දේදි රාත්‍රී යහනේ

පෙනේ රූප ඡායා

සීනේකි මායා

නින්දෙදි රාත්‍රී යහනේ'

රුක්මණීගේ අසලට යන ටෝනි කිසිවක් කියයි.

'ඩේසි අක්කේ 'බැඳී කාසි බැම්මේ' සින්දුව කියන්න'

'අයියෝ ඔය පරණ සින්දු මේ කොල්ලන්ට අල්ලයිද දන්නේ නෑ' රුක්මණී ටෝනිට කීවාය.

'මොකද අල්ලන්නේ නැත්තේ. ඩේසි අක්කා තව එකක් කියන්නම ඕනෑ' දොන් සිරිසේන කිවේය.

හදිසියේ රෙක්ස් කොඩිප්පිලි එහි පැමිණියේය. ටෝනි රුක්මණීගේ ගීියෙන් පසු ඉව අල්ලමින් කැරකුණේය.

'මොකද ටෝනි උඹ හොර ගල් අහුලන්නේ, කාටවත් ලණුවක් දෙන්නද?' රෙක්ස් අසයි.

'ලණු තමයි, රෙක්ස් දන්නවද ඊයේ ටෝනි රෑ කරලා තියෙන වැඩක්. දෙනවක ඇන්ටිගෙයි මගෙයි බෑග්වලට ගෙම්බෝ දාලා. දෙනවක ඇන්ටි කෑගහන කොටයි මම දැන ගත්තේ. ඔය අදත් මොනව හරි දාන්න හොයනවා ඇති'

'කා ගාවද සිගරට් තියෙන්නේ' රොබින් ප්‍රනාන්දු ඇසීය.

'ඇයි ඕනද එකක් ඇති . . . මේ පැකට් එකේ' නිශ්චල ඡායාරූප ශිල්පී ලෙස්ලි අමරසිංහ කීය.

'ඇයි උඹ මට අදත් ලණු දෙන්නද? ඊයේ ලෙස්ලි හැමෝටම සිගරට් බෙදුවා. මම පුදුම වෙලා බලන් හිටිය මිනිහ කවදාවත් නැතිව මොකද වෙස්සන්තර වෙලා කියලා. බැලින්නං අපි බොන හැම සිගරට් එකකටම මූ බේත් දාලා. ඔක්කෝම පුපුරනවා. උඹ පින්තූර ගන්නේ නැතිව පැහිච්ච වැඩ කරනවා. හිටපං මචං උඹේ කැමරා එකට ටයිමින් බෝම්බයක් සෙට් කරල තියෙනවා. ක්ලික් කරන කොටම ගැස්සෙන්න' රොබින් කීවේය.

ලෙස්ලි තවත් ඒ අසල නොසිට සිනාසෙමින් දොන් සිරිසේන අසලට ගියේය.

'උඹ ඒ මිනිහටත් ගින්දර දීපං'

පසුවදා ටෝනි සහ රෙක්ස් බර කරත්ත දෙකක නැගලා යන දර්ශනයක් රූගත විණි. ටික වේලාවකින් වංගුවකින් ආපසු එන්න හදන විටම රෙක්ස්ගේ කරත්තය හරහට ගිහින් රෙක්ස් වීසි වී බිම වැටිණි. මේ අතර ටෝනිගේ කරත්තය රෙක්ස්ගේ කරත්තයේ හැප්පී කරත්ත දෙකම බ්ලොක් විය. එසේ නොවන්නට රෙක්ස් බිම දිගේ ඇදී යනු ඇත.

'සෙල්ලං දන්න නිසා බේරුණා. මම ඉතින් කකුල් අතපය කඩා ගත්ත එකානේ. ඕව මට හොඳට පුුරුදුයි' රෙක්ස් කීවේය.

'සෙල්ලං තමයි ශක්‍රයට වගේ මට මොළේ තිබුණු නිසා බේරුණේ. මම ස්ථාමෝචිත ප්‍රඥාව මෙහෙයවලා උඹව බේර ගන්න ආවා' ටෝනි කීවේය.