වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ රුව දිල්හානි අක්කට සමානයිලු

මගේ රුව දිල්හානි අක්කට සමානයිලු

හීන හොයන සමනල්ලු සමඟ එන කෝසලා මැද්දෙගොඩ

කෝසලා මැද්දෙගොඩ යන නාමය රංගන ක්ෂේත්‍රයට තරමක් ආගන්තුකය. නමුත් රංගන කලාව ඇයට නුහුරු විෂයක් නොවීය. මේ දිනවල තිරගත වන හීන හොයන සමනල්ලු සිනමාපටය ඔස්සේ කෝසලාගේ රංගන හැකියාව දැක බලා ගත හැකිය.

රංගනයට අහම්බෙන් පැමිණියත් නර්තන ගුරුවරියක් ලෙසට දුවා දරුවන් රාශියකට සිය අනගි දැනුම බෙදා හරින්නියක වන ඇය ගැන තතු විත්ති මෙසේ අපි ගෙන එන්නෙමු.

කෝසලාගේ කලා ජීවිතය ඇරැඹෙන්නේ අරකාවිල නමැති පදනමහි අධ්‍යක්ෂිකාව වන ජානකී හිල් හමුවීමත් සමඟිනි.අද වන විට කෝසලා එම පදනමහි ලේකම්වරිය ලෙසට ද කටයුතු කරමින් සිටියි.

ජානකී අක්කව මං පොඩි කාලේ ඉඳලා දන්නවා. ඇයගේ මඟ පෙන්වීම යටතේයි මං පදනමට සම්බන්ධ වෙන්නේ. මං කලක් පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කළා. ඒ අත්දැකීම් ඔස්සේ ජීවිතයේ ඊළඟ පියවර වුණේ මං අරකාවිල පදනම හි භරත නාට්‍යම් ගුරුවරියක් ලෙසට පත්වීමයි. මේ වන විට එහි ළමුන් දෙසිය පනහකට අධික පිරිසක් ඉගෙනුම ලබනවා.

කෝසලා ඊළඟට කතා කළේ තමන් රංගනයට යොමු වූ ආකාරය ගැන.

අප පදනමේ නාට්‍ය හා රංග කලා පාඨමාලාවක් වෙනමම පැවැත්වෙනවා. මං දිනක් ඒ තැනට ගිහින් පන්ති පවත්වන අන්දම බලාගෙන හිටියා. මටත් නොදැනීම රංගනයට හිත ඇදිලා ගියා.

ඉතින් මමත් ඒ පාඨමාලාව ශිෂ්‍යයකු වශයන් දායක වුණා. ඊට පසුව මට අරකාවිල පදනම මඟින් සංවිධානය කළ පටාචාරා නෘත්‍ය නාට්‍ය සඳහා රංගන දායකත්වය ලබාදීමට හැකියාව ලැබුණා.

මං එහි සිටු දේවිය ලෙසටයි රංගනයේ යෙදුණේ. අප පදනම මඟින්ම නිර්මාණය කළ සකල කසල වේදිකා නාට්‍යයෙත් රඟපෑවා. ඔය අතරතුර කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ පශ්චාත් උපාධියත් හැදෑරුවා. ඒ රංගනය ගැන තවත් ඉගෙන ගත යුතු නිසා.

කෝසලාගේ පළමු චිත්‍රපටය වන්නේ කුසපබා. ඇය එහි රඟපෑවේ ගැමි කාන්තාවක් ලෙසිනි. හීන හොයන සමනල්ලු කෝසලාගේ දෙවැනි සිනමා නිර්මාණය වගේම කැපී පෙනෙන චරිතයක් සිනමාවේ රඟපාන පළමු අවස්ථාව.

හීන හොයන සමනල්ලු සිනමාපටය සඳහා මට කතා කළේ සහාය අධ්‍යක්ෂ දමින්ද ඩී. මඩවල අයියා. ඔහු මට ෆිල්ම් එක ගැන විස්තර ටික කිව්වා.

ප්‍රධාන වශයෙන්ම මට මේ චිත්‍රපටයට කතා කරන්නට හේතුව වෙලා තියෙන්නේ මගේ රුව තරමක් දිල්හානි අක්කට සමානත්වයක් දැක්වීම.

ඇයගේ බාල සහෝදරිය විදිහටයි මං රඟපෑවේ. චරිතයේ නම අනූ. හීන හොයන සමනල්ලු රොහාන් පෙරේරාගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය. ඔහු මනාව තම පළමු නිර්මාණය සිදු කළා. මගේ චරිතයත් ගොඩනඟාගන්න අධ්‍යක්ෂවරයා බොහෝ සෙයින් උපකාර කළා.

හීන හොයන සමනල්ලු චිත්‍රපටයේ රඟපාද්දී කෝසලාට අමතක නොවන පැටලිල්ලක් සිදු වෙලා තියෙනවා. ඒක කෝසලාගේ වචනවලින් නම් මෙහෙමයි.

මම දිල්හානි අක්කගේ මුහුණ ඉඹලා යන දර්ශනයක් තියෙනවා. මම අක්කගේ මුහුණ ඉඹලා යන්න හදද්දී අපි දෙන්නගෙ කරාබු දෙක පැටලුණා. ඒ පැටලිල්ල ලිහා ගන්නත් ටික වෙලාවක් ගියා. හැමෝටම හිනහයි වෙච්ච දේට.

දිගින් දිගටම රඟපානවද කියලා කෝසලාගේ තීරණයක් නැතිලු. නමුත් හොඳ චරිතයක් ලැබුණොත් නොකර ඉන්නෙත් නැහැ කියලා ඇය කියනවා.

මේ වන විට මට තවත් චිත්‍රපටයකට කතා කරලා තියෙනවා. නොවැම්බර් වගේ වෙන කොට එහි වැඩ ආරම්භ වේවි. මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්න නම් ලොකු බලාපොරොත්තුවක් නැහැ. හැබැයි චිත්‍රපටවලට නම් ආසයි. මගේ රැකියාවෙනුත් මට හොඳ නිදහසක් ලැබෙනවා. ඒ නිදහසට මං හරි ප්‍රියයි.

කෝසලා අවසන් කොට කතා කළේ තම පෞද්ගලික ජීවිතයේ තොරතුරුයි.

මගේ පවුලේ අම්මයි තාත්තයි මගේ කලා ගමනට හොඳ සහායක් දෙනවා. මට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා. ඒ සේරම විදෙස් ගත වෙලා ඉන්නේ. මං විතරයි මෙහෙ. ලබන වසරේ මං විවාහ වන්නටත් බලාපොරොත්තු වෙනවා.

මගේ ගම පාදුක්ක, අරකවිල. ඉගෙන ගත්තේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. මේ වන විට මට උදව් කළ ජානකී හිල් මහත්මිය, පීටර් සර්, පදනමේ කාර්ය මණ්ඩලය, ප්‍රදීපා ආරියවංශ මිස් ඇතුලු සියළු දෙනාට ස්තූති කරනවා.

ලබන වසරට අප පදනමට වසර දහයක් සපිරෙනවා. ඒ වෙනුවෙන් අති දැවැන්ත කාර්යයක් කරන්න අප අධ්‍යක්ෂිකාව බලාපොරොත්තු වෙනවා. එහි නිර්මාණයකට රංගනයෙන් දායක වන්නට අපේක්ෂා කරනවා.