වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




“ඔහෙ පලයං” උපහාර 27 දා

කුරුං ගුරුං ලෙඩ වෙලා

“ඔහෙ පලයං” උපහාර 27 දා

පුවත්පත මුද්‍රණයට යන මොහොතේ ලැබුණු ප්‍රවෘත්තියකට අනුව පියකරු දැඩි ලෙස රෝගාතුර වී කළුබෝවිල රෝහලේ අංක එක වාට්ටුවට ඇතුල් කළ වග වාර්තා විය

මගේ කකුල් දෙකම හොඳටෝම ඉදිමිලා. වෙලාවකට ඇවිද ගන්නත් බැහැ. අත් වාරුවක උදව්වෙන් තමයි ටිකක් හරි නැඟිට ගන්නේ. දොස්තරලා නම් එක එක කතා කියනවා. වෙලාවකට හරිම බයකුත් දැනෙනවා මට ඇවිදගන්න බැරි වේවි කියලා. එහෙම වුණොත් මං කාට කියන්නද.

කේ. ඒ. පියකරු නමැති ඔහුගේ ඇස කඳුළකි. මහත් සංවේගයකින් යුතුව ඔහු නිවසට වී කාලය ගත කරන්නේ අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවයකින් යුතුවය. කේ. ඒ. පියකරු නමට වඩා ඔහුව වඩාත් හඳුනන්නේ කෝපි කඩේ කුරුං ගුරුං ලෙසටය. "ඔහෙ පලයං" යන වචනය කුරුං ගුරුංගේ මුවෙහි නිතර තිබුණ වචනයයි. කෝපි කඩේ ආරම්භක සාමාජිකයකු වන කුරුං ගුරුං ගමේ සිටින ඥාණවන්තම චරිතයයි. එහෙත් අද පියකරු සිටින්නේ සියල්ල අහිමි වූ අයකු හැටියටයි.

මං ජීවත් වුණේ කලාවෙන්. දුවලා පැනලා වෙහෙසක් මහන්සියක් නොබලා මං ඒවාට දායක වුණා. මේ ඊයේ පෙරේදාත් වේදිකාවේ රඟපෑවනේ. කලා ලෝකෙට ඇවිත් මේ වන විට වසර පණහකටත් ආසන්නයි. දෙයියන්ගේ පිහිටෙන් කිසිම අතුරු ආන්තරාවක් වුණේ නැහැ. මේ ළඟදී ඉඳලා කකුල් දෙකම ඉදිමෙන්න පටන් ගත්තා. ඇවිදගන්නම බැරි තරමට ඉදිමුණා. ඒ හින්දා මට වෛද්‍යවරු හමුවන්න සිදු වුණා. මේ වෙන කොට තත්ත්වය බරපතළ පැත්තට හැරිලා.

පියකරු පැවසූ අන්දමට මේ රෝගී තත්ත්වය මත ඔහුට දෙපා අහිමි වී යන්නට පවා පුළුවන. පියකරුට ළැදි කොයි කවුරුත් එලෙස ප්‍රාර්ථනා කරන්නේ නැති බව අපි දනිමු. අපගේ පැතුමද ඔහුට ඉක්මන් සුවයයි.

කලා කටයුතුවල නියැළිලා ලැබෙන මුදල්වලින් තමයි මේ සෑම දෙයක්ම කළේ. මගේ වෘත්තීය මං පූජනීයත්වයෙන් සැලකුවා. කවදාවත් කලාව අයුතු අන්දමට පාවිච්චි කළේ නැහැ. මිනිසුන් පිනවීම විතරයි කළේ. කලාව හින්දා මාව රටක් හඳුනා ගත්තා. මේ අපේ කුරුං ගොයියනෙ කියලයි තැනකට ගියත් මිනිස්සු පිළිගත්තේ. වෙලාවකට මට හරියට හිත් වේදනාවයි. මෙහෙම මට ඉන්න බැහැ. රංගනයෙන් මට ආත්ම තෘප්තියක් ලැබුණා. ගෙදරට වෙලා ඉන්න කොට ඒ මොකක්වත් නැහැනේ.

පියකරු ඔත්පළව ඇති වග වැඩි දෙනකු නොදන්නා කරුණකි. ඔහු ද ඒ ගැන මිතුරන්ට පවසා නැත.

කලා ලෝකේ කවුරුවත් දන්නේ නැහැ මං මෙහෙම එක්තැන් වෙලා කියලා. දැන් ඉතින් මේ ලිපිය පළවුණාට පස්සේ ගෙඩක් දෙනෙක් දැනගනීවි. ඇත්තටම මම කියන්නේ නැහැ මාව බලන්න එන්න කියලා. නමුත් මිතුරු ඇසුර ගොඩක් ලැබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මානසිකවත් එය මට වැදගත් වේවි.

හෝකන්දර පිහිටි තම දියණියකගේ නිවසෙහි කාලය ගත කරන පියකරුට හිත් වේදනා ගෙන එන තවත් කරුණකි. ඔහුගේ වචනවලින්ම පැවසුවොත් එය මෙසේය.

මං මේ කියන දේ කියන්නේ කාගෙවත් හිත් රිදවන්න නෙවෙයි. නමුත් මෙය කිවයුතුමයි. වසර තිහක් මං කෝපි කඩේ රඟපෑවා. එහි ජනප්‍රියත්වයට මගේ චරිතයත් රුකුලක් වුණා කියන එක අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. නමුත් තවමත් කෝපි කඩේ කවුරුවත් කිසිම කෙනෙක් මාව බලන්න ආවේ නැහැ. මං ලෙඩ වෙන්න කලින් ඉඳලම මට හිත් රිදීම් වුණා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. කෝපි කඩේ පිරිවරෙන් එකම එක්කෙනයි ආවේ. ඒ කේ. ඩී. සිරිපාල. අපේ ඩිංගි මහත්තයා. අනෙක් කවුරුවත් අවේ නැහැ. කෝපි කඩේ කියන්නේ අපේම දෙයක්. අපිව හැදුවේ එතැන. ඒක මං ඕනෑ තැනක කියනවා.

ඒ පියකරුගේ වචනය. ඇත්ත කවරෙක්දැයි අපි නොදනිමු. කෙසේ වුවත් මෙම මස 27 වැනිදා පියකරුට තවත් සුවිශේෂී දිනයකි. ඒ ඔහු වෙනුවෙන් උපහාර උත්සවයක් පවත්වන හෙයිනි. ශ්‍රී ලංකා සකල කලා සංසදය ඒ උලෙළ සංවිධානය කරනු ලබයි. සංසදයේ සභාපතිනි ගායිකා ශ්‍රියාණි දිසනායකගේ අදහසක් අනුව පැවැත්වෙන මෙම උපහාර උලෙළෙහි අරමුණ පියකරුව ඇගයීම පමණක්ම නොවෙයි. ඔහුගේ ආර්ථිකය ශක්තිමත් කොට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උදවු කිරීමයි.

විසි හත් වෙනිදා සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාලයේදියි උත්සවය පැවැත්වෙන්නේ. ඒක නම් කරලා තියෙන්නේ "ඔහෙ පලයං" යනුවෙන්. මේ වෙලාවේ ශ්‍රියාණි දිසානායක ඇතුළු කලා සංසදයේ සියලුම සාමාජිකයින්ට ස්තූතිවන්ත වෙනවා මට උදවු අවශ්‍යම වෙලාවේ ඔවුන් කරන මේ සද්කාර්යයට. ඒ වගේම මගේ රසික රසිකාවන්ට මේ සඳහා පැමිණෙන්න කියලා විවෘත ආරාධනාවකුත් කරනවා.

මේ පියකරුගේ දුරකතන අංකයයි 0716181099.