වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

තිලකසිරි රත්නායක ඔබට ආරාධනා

ජනප්‍රිය ගායන ශිල්පී තිලකසිරි රත්නායක ගයන ලද සෑම ගීතයක්ම එක ලෙස සංගීත ලෝලීන් වැළඳගත්තේ, රසික හදවතට ළෙංගතු අයුරින් ළයාන්විත රිද්මයෙන් ගී ගැයූ හෙයිනි. එකල ගුවන්විදුලියෙන් ඔහු ගයන ගී ශ්‍රවණය කළා මිස ප්‍රසංග වේදිකාවේදී දැක නැතත් එම ගීත අප සිත් පැහැර ගත්තේය. ඔහු ගැයූ තුන් මංසල, සිහින ලොවින් මගේ ලොවට, රතුමල් ඔසරිය, අප දෙදෙනා දිහා වැනි ගීත ද සමගින් ගී ලොවට යළින් පිවිසෙන්න ආරාධනා.

සරත් ලියනගේ

රන්මුතුගල

කඩවත


රන්ජන් රාමනායක

වෙත

දේශපාලන ගමනේ ඇති අධික කාර්යබහුලත්වය නිසා ඔබගේ රඟපෑම මඟ හැරුණා දැයි සිතේ. රිදී තිරය මෙන්ම පුංචි තිරයද ඒකාලෝක කරමින් ඔබගේ නවතම රංගනය දැක ගැනීමට ආසාවෙන් සිටිමු.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකන්ඩිය


රෙක්ස්ට දීර්ඝායු

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි ඔබ සිංහල සිනමාවේ සටන්කාමී නළුවෙකි. දුෂ්ට චරිත මෙන්ම පසු කලෙක පියාගේ චරිතයටද පණ දෙමින් සිංහල සිනමාව වර්ණවත් කළ යුගය සතුටින් සිහිපත් කරමි. පුංචි තිරයේද කළ දස්කම් අමතක නැත. රෙක්ස් ඔබට දීර්ඝායුෂ පතමි.

ආරි එගොඩවත්ත

දෙමටගොඩ


සුනිල් ටී ප්‍රනාන්දුට

සිනමාව වෙනුවෙන් ඔබ ලබා දෙන දායකත්වය අතිවිශිෂ්ටය. නොනැවතී ඉදිරියටත් විශිෂ්ට සිනමා නිර්මාණ නිෂ්පාදනයට දායක වෙන ලෙස ඉල්ලා සිටිමි.

ඩබ්ලිව්. කේ. මොහාන්

මහවැලි සී කලාපය


සංවේදි සිත්වලට

මනා ඔසුව

ඉතාම ළයාන්විත හඬින් හදවතට සමීපව ගීත ගයන ශෂිකා නිසංසලා මෑත කාලයේ යෞවන යෞවනියන්ගේ පෙම් සිත් ආලෝකමත් කළ ගායිකාවකි. වත්මන් ප්‍රසංග වේදිකාවටද නැතුවම බැරි ගායිකාවක වන ඔබගේ හඬ සංවේදි සිත්වලට මනා ඔසුවකි. තව තවත් වටිනා නිර්මාණ සමඟින් අප අතරට එන්න.

ජගත් චන්ද්‍රසිරි

පූජා ජගත්සිරි

මීරිගම පාර

පස්යාල


කලං ගෙන ආ සතුට

අමරසිරි කලංසූරිය නම් සුවිශේෂි නළුවා කලකට පසුව රොඩ්නි විදාන පතිරණගේ හිම තාරුකා චිත්‍රපටයෙන් දකින්න ලැබීම මහත් සතුටකි.

ඉඹුල්ගොඩ අබේසිංහ

ශ්‍රියානි ජයසිංහ

අලව්ව


හාරකෝටියේ

ඔක්කොම හොඳයි

මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවෙන් විකාශය කෙරෙන හාරකෝටිය ටෙලි නාට්‍යයේ සියලුම නළු නිළියන්ගේ රඟපෑම් ඉතා අගෙයි.

යූ. ජී පාලිත

ගඩලාදෙණිය


හංස රාජිණිය

සන්ධ්‍යා කුමාරි

හංස රාජිණියක සේ එදා තිරය ඔපවත් කළ සන්ධ්‍යා කුමාරිය සක්විති ගාමිණි ෆොන්සේකා සමඟ අදට වැඩිය හෙට හොඳයි, යටගිය දවස, ධීවරයෝ, ඔක්කොම හරි, සත පනහ, සූර චෞරයා, වැනි සිතුවම්පටවල සුවිශේෂි රංගනයක් දැක්වුවා. තවමත් ඇයගේ රඟසොබා අපට අමතක නැත.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල


සරත් මධුට

ඉක්මන් සුවය

70 - 80 දශකවල වඩාත් ජනප්‍රිය සිත්තර, සුහද, හිතවත, දසුන, සදා වාසනා වැනි චිත්‍රකතා පත්තරවලට අමරණීය චිත්‍රකතා ලෙසින් ඉතිං ඊට පස්සේ, ඉස්සරට වඩා, යුනිකෝ සෙන්රෝ, ඇතුළු චිත්‍රකතා රැසක් නිර්මාණය කළ ප්‍රවීණ චිත්‍රකතා ශිල්පි සරත් මධුට ඉක්මන් සුවය ලැබේවායි පතමි.

ජයන්ත අමරතුංග

චන්දන පොකුණ

පොළොන්නරුව


පැරණි

සිංහල චිත්‍රපට

ගෙන ආවාට තුති

හැට හැත්තෑ කාලවලදී ප්‍රදර්ශනය කළ පැරණි සිංහල චිත්‍රපට ඩීවීඩි මාර්ගයෙන් කළ එළි දැක්වීම පිළිබඳ සිනමා ප්‍රේක්ෂකයන් ලෙස අප තිස්ස නාගොඩවිතාන වෙත ස්තූතිය. ඉදිරියේදී තවත් එවැනි වටිනා චිත්‍රපට අප වෙත ගෙන එන ලෙස ද ඉල්ලා සිටිමු.

තිලකරත්න විල්වල

මැණිකේ විල්වල

තටාකය පාර

කෑගල්ල


සිනමා ශාලා

වැසී යාම

මේ වනවිට කොළඹ නගරයේ මෙන්ම තදාසන්න ප්‍රදේශවල පවුල් පිටින් චිත්‍රපට නරඹපු සිනමා ශාලා බොහෝ ප්‍රමාණයක් වැසී යමින් පවතී. මෙය කලාවට ලැදි කලාව සමඟ සිටින බොහෝ දෙනෙකුට වගේම සිනමාශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ටද මරු පහරකි. නිසි බලධාරින් මේ ගැන අවධානය යොමු කරන්නේ නම් මැනවි.

ආතර් ජයකොඩි

ගලගම

බෙලිහුල්ඔය


තිලක් කුමාරට

සෙනෙහසින්

රූපවාහිනිය, සිනමාව තුලින් තම දක්ෂතා මුළු රටටම අශිංශනය කරමින් එතැනින් නොනැවති ප්‍රසංග වේදිකාවේ කනට මිහිරක් දැනෙන සේ රාව ප්‍රතිරාව නංවමින් ඔබගේ හඬ නිසාම විශාල ජනතාවක් එක් රොක්වන බව ප්‍රකාශ කිරීම සතුටකි. එලෙසම ඔබ සතු සුහදශීලිත්වය නිසාම සෑම කෙනෙත්ම ඔබ ප්‍රිය කරනා බව සතුටින් දන්වා සිටිමි.

මිල්ටන් ප්‍රනාන්දු

නව එක්සත් මාවත

මුදුකටුව


පුංචි තිරේ

සත්තු වත්ත

නයි, මුගටි, මී මැස්සෝ, මොනරු, ගෝනුස්සෝ, හරක්, පත්තෑයෝ ප්‍රධාන චරිත රඟන එකම විදෙස් කතා මාලාව ප්‍රේම දඩයම යි. තනිකරම සත්තු වත්තක් වගෙයි. එයින් ප්‍රේක්ෂකයන් මුලා කරන බව මගේ හැගීමයි.

සරත් සේනාධීර

ජා-ඇල

කලඑළිය


සිඳු ටෙලි නාට්‍යයේ

දිලුම් සර්ට

සිඳු ටෙලි නාට්‍යයේ දිලුම් සර් ලෙසින් කාගේත් පැසසුමට ලක්වන යාෂ් මිහිරාන් සමබර වූද සංවේදී වූද ඔබගේ රංගනය කතාවේ ප්‍රධාන චරිතය සහ සෙසු චරිත ගලා යාමට මනා පිටුවහලක් වන්නේය. ඔබගේ ඉදිරි රංගන ජීවිතය වාසනාවන්ත වේවායි පතමි.

සුනිල් විජේසිංහ

ඕවිටිගල

මතුගම


ග්‍රේෂන් නාමය

අමරණීය යි

හැත්තෑව දශකයේ ගුවන්විදුලි ගායකයකු ලෙස සංගීත ලොවට පා නැඟූ ඔබ එයට පෙර පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සිටි බව මතකයි. ගුවන්විදුලියේ පමණක් නොව ප්‍රසංග වේදිකාවේද පුංචි තිරයේද සිනමාවේද ගායකයකු සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසින් තැබූ සටහන් අමරණීය වේ.

ලක්ෂ්මන් රණසිංහ

හේකිත්ත

වත්තල