වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




දුමාල්ගේ සංගීතයට ගෙදරින් අලුත් බාධාවක්

දුමාල්ගේ සංගීතයට ගෙදරින් අලුත් බාධාවක්

“මා සංගීත කණ්ඩායමක් එක්ක එකතු වුණා කියන්නේ සුභාවිත ගීත ගායනා කරන්නේ නැහැ කියන එක නොවෙයි. සංගීත කණ්ඩායමත් එක්ක ගායනා කරන්නේ ඒ ගීතමයි. එහෙත් ගීතවලට සංගීතයෙන් දෙන හැඩය හෙවත් මොඩර්න් මියුසික් එකයි වෙනස් වන්නේ. තිල්ලානා වැනි ගායන ශෛලියක් සංගීත කණ්ඩායමක් එක්ක කිසිවකුත් ගායනා කරනවා මා අහලා නැහැ. එහෙත් මා ඔවුන් එක්ක තිල්ලානා ගායනා කරනවා. ඒකයි මා නාදවල තිබෙන වෙනස ගැන කතා කරන්නේ”

‘ධනාශ්‍රී ඉලෙආනා’

දුමාල් වර්ණකුලසූරියගේ සුන්දර කැදැල්ල එකතුවුණු පුංචි සාමාජිකාව. ඈට දැන් වසර එකහමාරක්. ඇගේ සුරතල් වදන්වලින් පිරුණු දුමාල්ගේ කැදැල්ලේ වෙනදා නැති සතුටකින් පිරිලා. ඉතිරිලා. ඒ ඉලෙආනා දුවගේ දඟකාරකම් නිසා. ඉලෙආනා දුවට තාත්තා නැතිවම බැරි වගේ ම දුමාල්ටත් දූගෙන් තොර ලෝකයක් නැතිතරම්. තාත්තා නිවෙසේ ඉන්නවා නම් ඉලෙආනා සිඟිති දියණියගේ කෑ කොස්සන් ගෑම වැඩියි.

“මෙයා තමයි අපි දෙන්නාගේ ම පණ’

දුමාල් වර්ණකුලසූරිය තමන්ගේ එකම දියණිය දෝතට තුරුලු කර ගන්න ගමන් පැවසුවේ ආදරයෙන් ඇගේ මුහුණ සිප ගන්න ගමන්.

ඒ දෙන්නා අසල ම සිටියේ ශෙන්යා. දුමාල්ගේ දයාබර සුන්දර බිරිය.

“දුවටත් ඉතිං තාත්තා ඉන්නවා නම් ඊට වඩා දෙයක් නැහැ. එහෙට පනිනවා. මෙහෙට පනිනවා. ඒත් දුමාල්ට කිසිම නිර්මාණ කටයුත්තක නම් යෙදෙන්න දෙන්නේ නැහැ. එයාවයි මුලින් ම සුරතල් කරන්න ඕනෑ.”

ශෙන්යා පවසන්නේ දියණියගෙත්, සිය සැමියාගේත් ආදරය විඳීන අතරතුර.

“එහෙමනම් දුමාල් නිර්මාණ කටයුතුවල යෙදෙන්නේ කොහොමද?”

මා විමසුවේ දුමාල්ගෙන්.

“මම මොකක් හරි නිර්මාණයක් කිරීමට සිතාගෙන කී බෝඩ් එක ගත්තොත් දුවත් එතැනට එනවා. ඇවිත් මුලින්ම එයා කරන්නේ කී බෝඩ් එක වාදනය කරන එකයි. එයා එහි තිබෙන ස්වර එකින්එක තාලයට වාදනය කරන අයුරු අහන්න ඉන්න ආසා හිතෙනවා. නැතිනම් මම දුවට මොකක් හෝ සංගීත කණ්ඩයක් වාදනය කරලා පෙන්වනවා. ඊට පස්සේ එයත් වාදනය කරන්න ගන්නවා. ඒ විදියට කී බෝඩ් එක දුවට වුවමනා තරම් වාදනය කිරීමෙන් පසුවයි මගේ කාර්ය කළ හැක්කේ.”

දුමාල් නිර්මාණකරණයේ යෙදන්නේ ඉන්පසුවයි. දුව ඉපදුණ මුල් කාලයේ නම් දුමාල් කිසිම නිර්මාණ කාර්යයක් කළේ නැහැ. ඔහුගේ සම්පූර්ණ කාලය කැප කළේ දුව වෙනුවෙන්.

“ඒත් දැන්නම් දුව තරමක් වැඩුණු නිසා සංගීත කටයුතු කිරීම ආරම්භ කරලාද?”

“මේ වන විට නම් යළිත් සංගීත කටයුතු ආරම්භ කරලා ටික දවසක් වෙනවා. මගේ පුද්ගලික සංගීත වැඩකටයුතුවලට අමතරව වෙනසකට තියෙන්නේ ‘නාද’ සංගීත කණ්ඩායමත් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට තීරණය කිරීමයි.”

සාමාන්‍යයෙන් දුමාල් වර්ණකුලසූරිය කියන්නේ මෙතෙක් ඒ විදියට සංගීත කණ්ඩායමකට කොටුවුණු ගායකයකු, සංගීතඥයතු නොවෙයි.

“මේ ඇති කරගත් වෙනස කුමක්ද?”

“නාද එක්ක සම්බන්ධ වීමට මා සිතුවේ එයාලගේ වාදනය පැත්ත ගත්තොත් ඔවුන් සිතන්නේ වෙනස්ම විදියකටයි. ඔවුන්ගේ වාදනය නිර්මාණය වී තිබෙන්නෙත් වෙනස් ම හැඩයකටයි. ඒ වාදනය නිසා අපේ ගීතවලට හානියක් සිදුවන්නේත් නැහැ. මේ කාරණා නිසා මට ඔවුන් සමඟ එක්වීමට කළ ආරාධනය පිළිගැනීමට සිතුණා. එහෙම නැතිනම් මා කිසිම දවසක සංගීත කණ්ඩායමක් සමඟ එකතු වී වැඩ කරන්න සිටි කෙනෙකු නොවෙයි.”

දුමාල් යම් තීරණයක් ගනු ලබන්නේ හොඳට කල්පනා කිරීමෙන් පසුවයි. ඔහුගේ ඒ තීරණයට නිවැසියන්ගෙන්ද ලැබුණේ සහයෝගයක්. මෑත කාලයේ බිහිවූ ගායක - ගායිකාවන් අතරින් වෙනස්ම හැඩයක් ගත් දුමාල්ගේ ස්වරයේ තිබෙන්නේ ගැඹුරු බවක්. ඒ ස්වරය පිළිබඳ යම් අවබෝධයක් ඔහුට තිබෙන බව අපට පෙනෙන්නේ ඔහු ආවාට ගියාට ගීත නොගයන නිසා.

“සංගීත කණ්ඩායමත් සමඟ සම්බනධ වීමත් සමඟ දුමාල්ට සුභාවිත ගීතය අමතක වේවිද?”

“මා සංගීත කණ්ඩායමක් එක්ක එකතු වුණා කියන්නේ සුභාවිත ගීත ගායනා කරන්නේ නැහැ කියන එක නොවෙයි. සංගීත කණ්ඩායමත් එක්ක ගායනා කරන්නේ ඒ ගීතමයි. එහෙත් ගීතවලට සංගීතයෙන් දෙන හැඩය හෙවත් මොඩන් මියුසික් එකයි වෙනස් වන්නේ. තිල්ලානා වැනි ගායන ශෛලියක් සංගීත කණ්ඩායමක් එක්ක කිසිවකුත් ගායනා කරනවා මා අහලා නැහැ. එහෙත් මා ඔවුන් එක්ක තිල්ලානා ගායනා කරනවා. ඒකයි මා නාදවල තිබෙන වෙනස ගැන කතා කරන්නේ”

ළඟදී නාද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාලාවක ප්‍රසංගයකට සහභාගි වුණා. ඒ ප්‍රසංගයේදී ප්‍රවීණ ගායකයකු වන එඩ්වඩ් ජයකොඩි වගේ ම නිරෝෂා විරාජිනිත්, දුමාල්, චාමර වීරසිහංත් ගී ගැයුවා. නාදට ලැබුණු ප්‍රතිචාර බොහොමයි.

“ඔබගේ අලුත් නිර්මාණ කරළියට පිවිසුණේ නැතිද?”

“පසුගිය දවස්වල අලුත්ම ගීත කිහිපයක්ම නිර්මාණය කළා. එහි එක් ගීතයකට සංගීතය නිර්මාණය කළේ දර්ශන රුවන් දිසානායකයි. පද ලිව්වේ රත්න ශ්‍රී විජේසිංහයි. පොළොන්නරුවේ දරුවකුට කෑම ඉල්ලීම නිසා සිය මව හා සුළු පියා කරන ලද දඬුවම් නිසා මරණය ළඟා කරගත් සත්‍ය කතාව ඇසුරිනුයි මේ ගීතය රචනා වුණේ. ‘තොටිල්ලක් වන්.... නමිනුයි ඒ ගීතය නම් කර තිබෙන්නේ. ඊට අමතරව රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ පද මාලාවකුත් ගීතයක් බවට පත්වුණා. ඒ වගේ ම පියෝ ගසල් එකකුත් නිර්මාණය කළා. ඒ අතර චිත්‍රපට පසුබිම් ගීත කිහිපයකුත් ගායනා කළා. ටෙලි නාට්‍ය පසුබිම් ගීත කිහිපයක් ගැයීමට ආරාධනා ලැබිලා තිබෙනවා. විදේශීය සංගීත අධ්‍යක්ෂවරුන් සමඟ නිර්මාණ කටයුතු කිහිපයකටත් අත ගහලා තිබෙනවා. ඒවා ඉදිරියේදී සියල්ලන්ටම දැක ගැනීමට ලැබේවි.”

දුමාල් වගේ තරුණ හැකියාවක් තිබෙන ශිල්පියකු අපේ රටට වටින්නේ නැති වුණාට ඉන්දියාවට ව‍ටිනවා. මා එලෙස පවසන්නේ මේ වනවිටත් ඔහු ඉන්දියාවේ බොහෝදෙනා අතර ජනප්‍රිය සංගීතඥයකු සමඟ වැඩ රාශියක් ආරම්භ කර ඇති බව දන්නා නිසයි. පසුගිය කාලයේ දුමාල් සිය පවුලේ අය සමඟ පදිංචිය සඳහා ම විදේශ ගතවීමට සිටින බවයි පවසා තිබුණේ. ඒ මෙහි සිදුවන බොහෝ දේ නිසා ඔහුගේ සිතේ ඇතිවුණු කළකිරීමත් සමඟයි. එහෙත් ඒ ආරංචිය ඇසූ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ම දුමාල්ට කතා කළේ බොහොම ළෙන්ගතුවයි.

“අද වනවිට විදේශ ගතවීමේ ඒ අදහස ඔබ අතහැර දැමුවාද?”

“අපේ රටේ සංගීතය කියන දෙය අද ගමන් කරන්නේ මාර අවුල් තැනකටයි. එහෙම වුණත් අපි සමාජය ගැන සවිඥ්ඥානිකයි නම් කවද හරි මේ තත්ත්වය හරි යනතුරු වැඩ කරන්නයි මා තීරණය කළේ. ඒ ගැන උනන්දු කළේ අපේ ප්‍රවීණයන්ම කිහිපදෙනෙක්. ඔවුන් පැවසුවේ අපි වැනි අනාගයේ යමක් කළ හැකි කිහිපදෙනාත් ලංකාවෙන් ගියාට පස්සේ මේ ක්ෂේත්‍රයේ අනාගතයට කුමක් වේවිද යන්නයි. ඒ නිසා යන්න එපා යැයි ඔවුන් පැවසූ අදහස මා පිළිගත්තා.”

දුමාල් යළිත් සිය කටයුතු ආරම්භ කර ඇත්තේ විදෙස් ගතවීමේ අදහස අතහැර දැමීම නිසා. මේ සියලු දෙයටම දුමාල්ට සහයෝගය දෙන්නේ බිරිය ශෙන්යා. ඔහු පසුපස සිටින ශක්තිමත් සෙවණැල්ල ඇයයි.

“නිවෙසේ සියලු කටයුතු කෙරෙන්නේ ඇගේ අත්දෙකෙන්. මගේ නිර්මාණ කටයුතුවලට යන්න සූදානම් වෙද්දි අවශ්‍ය සියලු කළමනා සූදානම් කරලා දෙන්නේ ඈ. දුවගේ කටයුතුත් කරන ගමන්ම නිවෙසේ සියලු කටයුතුත්, මගේ කටයුතුත් සොයා බලා කරන නිසා ඈ විටෙක බොහොම කාර්යබහුලයි.”

දුමාල් වුණත් තමන්ගෙන් නිවෙසට විය යුතු සියලු යුතුකම් ඉටු කිරීමට අමතක නොකරන සැමියෙක්. ඒ අතර දියණිය ඉලෙආනා පැමිණ දුමාල්ගේ අතේ එල්ලෙයි.

“දුමාල් එයා කරන වැඩවලින් ලැබෙන මුදලින් දුවට සෑම වෙලාවකම මොකක් හෝ අලුත් දෙයක් ගේනවා. අපට ලොකුවට සල්ලි නොතිබුණත් දුවට ලැබිය යුතු සියලු ම දේ අඩු නැතිව ලබාදීම ඔහුගේ වගකීම ලෙසයි දුමාල් සිතාගෙන සිටින්නේ. එවැනි සැමියකු ලබන්නට මමත්, දියණියත් වාසනාවන්ත බවයි මට නම් සිතෙන්නේ.”

ශෙන්යාගේ සිතේ දුමාල් ගැන තිබෙන ආදරය පෙන්නුවේ ඒ විදියට. විවාහයට පෙර නිවේදනයට, නර්තනයට, රඟපෑමට දස්කම් පෑව ශෙන්යා අද දුව වෙනුවෙන් කැපවෙලා. ඈ සෙමෙන් සෙමෙන් සැමියාත්, දියණියත් අතරට පිවිසුණේ ඔවුන්ගේ දඟවැඩවලට උදව් වීමට සිතාගෙන.