වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී

මේ කියන්න හදන්නේ සංජය ලීලාරත්න සහ දයාරත්න රටගෙදර ගැන අතීත කතාවක්. මේ දෙන්නා අද ක්ෂේත්‍රයේ නමගිය චරිත. ඒ නම හදා ගන්න කලින් වෙච්ච සිදුවීමක් ගැනයි මේ මතක් කරන්න සැරසෙන්නේ. සංජය සහ රටගෙදර ඒ කාලේ ඉඳලා අතිජාත මිත්‍රයෝ. දෙන්නටම ක්ෂේත්‍රයට පිවිසෙන්නට දැඩි වුවමනාවක් තිබුණා. සංජයට ඕනෑ වුණේ නළුවෙකු වෙන්න, රටගෙදරට අධ්‍යක්ෂවරයකු වෙන්න. ඒ හින්ද දෙන්නම නිතරම ක්ෂේත්‍රය ගැන අවධානයෙන් හිටියා. ඔය අතරේ රටගෙදරට අවස්ථාවක් ලැබුණා දෑස නිසා චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමට එකතු වන්නට. ඔහුට කතා කරලා තියෙන්නේ ප්‍රකට සහාය අධ්‍යක්ෂක උපාලි පෙරේරා. කොළඹින් ගොඩක් දුරබැහැර තමයි ෂූටිං තිබිලා තියෙන්නේ. නමුත් යන්න සල්ලි නැතිලු. ගෙදරින් ඉල්ලුවත් දුන්නෙත් නැතිලු. අන්තිමට රටගෙදර තම අතිජාත මිත්‍රයා වූ සංජයට මේ ගැන කියලා.

'උඹට සල්ලි මං හොයලා දෙන්නම්'

සංජය එහෙම කිව්වලු. කිවව් වගේම පහුවෙනිදා සංජය රටගෙදරට සල්ලිත් දුන්නලු. ඒ වෙනුවෙන් රටගෙදර සංජයට ස්්තුතිවන්ත වෙලා දෑස නිසා දර්ශන තලයට ගිහින් වැඩ කරන්න පටන් ගත්තලු. රටේගේ ඇරැඹුම එතැන. ඒක නෙවෙයි හොඳම කතාව. සංජයගේ තාත්තා එමින් ගමන් කිරුළපන පොල්හේන්ගොඩ පිහිටි හිතවත් අයකුගේ පොඩි තේ කඩයකට ගිහින්. එතැන තිබුණු කෙහෙල් කැනකින් ගෙඩියක් කඩාගෙන කෑවලු.

'ෂෝක් කෙහෙල් කැන මහත්තයෝ. ආයෙත් මේ වගේ කෙහෙල් කැනක් තිබුණොත් පුතාට කියන්න ගෙනත් දෙන්න කියලා.'

සංජයගේ තාත්තා බිබී හිටපු තේ එකත් උගුරේ හිරවුණාලු මුදලාලි කියපු කතාවට. කොහොම හරි එදා සංජයට තාත්තාගෙන් කනපුරෝලා වැදිලා තියෙනවා. දැන් ඔබට වැටහෙනවා ඇතිනේ සංජය රටගෙදරට දීපු සල්ලි සංජය කොහොමද හොයාගෙන තියෙන්නේ කියලා. හොරෙන් කෙහෙල් කැන් කපලා.