වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




කඩවෙන පොරොන්දු දෙන්න මම සූදානම් නැහැ...

කඩවෙන පොරොන්දු දෙන්න මම සූදානම් නැහැ...

චිත්‍රපට සංස්ථාවේ අභිනව සභාපති සිතේන්ද්‍ර සේනාරත්න

මම හිතනවා මම මේ දේ කලක් අරන් ස්ථිරසාර විසඳුමක් දෙන්න අවශ්‍යයි කියලා. ඒකට මම හිතනවා හැම දෙනාගේම සහය ලැබේවි කියලා. මොකද සිනමාව ගොඩගන්න වැඩේ සභාපතිගේ වැඩක් විතරක් නෙවෙයි. ඒකට හැමෝම එකතු වෙන්න ඕනෑ. ඒ සඳහා මම සුදානම් සිනමාව වෙනුවෙන් ඉන්න හැමෝම මේ සඳහා එකතු කරගන්න. මමත් බොහෝ දේ අලුතින් ඉගෙන ගනිමින් ඉන්නේ. ඉන් පස්සේ මම සූදානම් තුන් අවුරුදු වැඩපිළිවෙළක් මේ සඳහා ඉදිරිපත් කරන්න. දැනටත් බොහෝ කටයුතු මේ දිනවල කෙරෙමින් පවතිනවා. ඒ වැඩපිළිවෙල 2018 වසරේ සිට අඛණ්ඩව වසර 3ක් තුල සාක්ෂාත් කර ගත යුතු අනිවාර්ය දේ තමයි යෝජනා වෙන්නේ. ඒ සඳහා මම දැනටමත් සංස්ථාව ඇතුළේ හොඳ කණ්ඩායමක් හදමින් යනවා. ඉතා දක්ෂ ජව සම්පන්න කණ්ඩායමක් නැතුව මේ වැඩේ කරන්න අමාරුයි. අපේ දුර්වලකම් ඕන තරම් තියෙනවා. ඒත් කණ්ඩායමක් හැටියට වැඩ කරද්දී එකිනෙකාගේ දුර්වල කම් මතුවෙන්නේ නැහැ. මොකද කෙනෙකුගේ දුර්වල කම් අනෙකාගේ දක්ෂතාවයෙන් මැකෙන නිසා.

කලින් කලට පරිපාලකයන් මාරු වීම ලාංකේය සිනමාවට එතරම් අරුමයක් නොවෙයි. ලංකාව තුල බොහෝ විට සිනමාව අරබයා කළ යුත්ත සහ නොකළ යුත්ත ගැන සංවාද ඇති වන්නේ පරිපාලන ස්කන්දය එහා මෙහා වීම තුලය. චිත්‍රපට සංස්ථාව බිහි වීමට පෙර අපේ සිනමාව විසින් ඉල්ලනු ලැබුවේ ප්‍රබල ඥාතියෙකි. එනම් මහා ගෙදරකි. අපේ සංස්කෘතිය අනුව මහා ගෙදර යනු තීන්දු තීරණ ගන්නා කේන්ද්‍රයකි. ඒ අනුව සංස්ථාව කේන්ද්‍රයේ තබා කර්මාන්තය පරිවාරයේ සිටීමට අපේ සිනමාව විසින්ම ගනු ලැබූ තීරණයකි. කාලය විශාල වශයෙන් වෙනස් වුවත් අදද මහගෙදර විසින් ගන්නා තීරණ වලට පරිවාරය හිස නමයි. ඇතැම් විට එසේ නොවෙයි. මහගෙදර සමඟ පරිවාරයට කෙතරම් උරණ වීමට කාරණා මතු වුවද කෙදිනකවත් එය සුන්නත්දූලි කිරීමට පරිවාරය කතා නොකරයි. බුමුතුරුණු මත වේයන් තට්ටු නිවාස හැදුවත් පෙට්ටගම දිරා පතුරු ගැලවුනත් මහගෙදර එසේ හෝ පවතිනවාට පරිවාරය තෘප්තිමත්ය. ඒ අනුව මහා ගෙදර පරිපාලකයා කොළඹ 7 ධවල ගොඩනැගිල්ලේ කරන්නේ මොනවා දැයි කර්මාන්තයේ සමහරු සූක්ෂමව බලා සිටී. පත්තරකාරයන් වන අපට පරිපාලකයන් අංශකයට මැන බැලීමට ක්‍රමයක් පවතින ක්‍රමයෙන් යෝජනා නොවන හෙයින් පරිපාලකයාට හැසිරිය හැකි වපසරිය පමණක් උලුප්පා වාර්තා කිරීම කළ හැකිය.

ඒ අනුව සිනමාවේ මහගෙදර නව පරිපාලකයා සොයා කොළඹ 7 මන්දිරය වෙත ගියේ ලෙදර් පන්දු විලෝ පිතිවල ගැටෙන හඬ ඇසෙනා මානයෙන්ය. ඔහු සිතේන්ද්‍ර සේනාරත්න ය. ඔහු ගැන වචන කිහිපයක් සඳහන් කළහොත් ඔහු ආදී ආනන්දියෙක් වේ. කීර්තිමත් ආදී ශිෂ්‍ය පදනමට වඩා ආනන්දයේ ආදී ශිෂ්‍ය සංගමයේ කීර්තිමත් හිටපු නායකයෙක්ය. එමෙන්ම ලංකාවේ ව්‍යාපාර පරිපාලන ක්ෂේත්‍රයේ ඉහලින්ම කියැවුණු නමකි සිතේන්ද්‍ර සේනාරත්න. නම් දැරූ සමාගම් කිහිපයක ඉහළම තනතුරු දැරූ ඔහුගේ ව්‍යාපාර පරිපාලන අත්දැකීම දශක 3 කටත් වැඩිය. කර්මාන්තයේ අත්දැකීම් ලත් අය විමසිල්ලෙන් බලන්නට වටින කාරණය වන්නේ ඔහුගේ මේ ධාරිතාව කෙසේ නම් සිනමාවේ සුබසිද්දියට යෙදවේවිද යන්නය. මේ සිතේන්ද්‍ර සේනාරත්න පරිපාලකයා හා මා අතර වූ සංවාදයයි.

* සංස්ථාවට පිවිසි විගසම වාගේ ඔබට අහන්න දකින්න ලැබුණ දේ මොකක්ද?

මම වැඩ බාර ගත් විගසම වාගේ මට හමුවුනේ සිනමාවේ අපට සිටින ජ්‍යෙෂ්ඨයෙක්. ඔහු මට යමක් කිව්වා. ඔහු කිව්වේ අපේ රටේ තිරගත වුනු පළමුවෙනි චිත්‍රපටය කඩවුණු පොරොන්දුව. ඒ නිසාමද දන්නේ නැහැ සභාපතිතුමා සිනමාව වෙනුවෙන් පාලකයෝ දුන්නු පොරොන්දු දිගින් දිගටම කඩවුණා. දැන් ඔබතුමා මෙතනට පත් වුණු වෙලේ මම ප්‍රර්ථනා කරනවා එසේ නොවේවා කියලා. එතුමා ඒ කියපු දේ මට ඉතාම තදින් කා වැදුනා. මම හිතා ගත්තා මම සිටිනා වකවානුවේ පොරොන්දු කඩ නොවී ස්ථිරසාර යමක් සිනමාව වෙනුවෙන් කරනවා කියලා.

* තනතුරේ කාර්යය පවත්වාගෙන යාමට හේතු වෙන ඔබේ පසුබිම මොකක්ද?

මුලින්ම කියන්න ඕනේ මම සිංහල සිනමාවේ දැඩි රසිකයෙක්. සිනමා ලෝලියෙක්. සිනමාහලේ විවිධ මට්ටම් වල ඉඳන් සිනමාව රස වින්ද කෙනෙක්. පාසලෙන් පස්සේ මම නුපුහුණු අලෙවි විධායකයෙක් හැටියට මගේ ගමන මම ආරම්භ කරනවා. මගේ ක්ෂේත්‍රය අලෙවිකරණය. මේ ක්ෂේත්‍රයේ දැනට අවුරුදු 30ක් මම නියැළිලා. කෙමෙන් කෙමෙන් මම මගේ ක්ෂේත්‍රයේ ඉහළටම ආවා. කොටස් වෙළඳපොළේ ඉහළම ලැයිස්තුගත සමාගම් කිහිපයක ඉහල කළමනාකරණ අත්දැකීම් මට තිබෙනවා.

* සංස්ථාවට පැමිණි විගස ඔබ අත්දැක්ක ව්‍යුහාත්මක කාරණය මොකක්ද?

ඔව්. එවැනි කාරණා කිහිපයක් මට සඳහන් කරන්න පුලුවන්. එක කාරණයක් තමා මට වැටහුනා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ඉන්නේ අතෘප්තියෙන් බව. ඒ අතෘප්තිකර බව නැති කරන්න විසඳුම් හොයන එක තමයි මේ මොහොතේ මගේ රාජකාරිය බවට පත් වෙන්නේ. අනික මට දැනිච්ච දෙයක් තමයි මෙතෙක් කල් පරිපාලනය සිද්ද වුන ව්‍යුහයේ යම් කිසි බරපතල අඩුපාඩුවක් තිබෙනවා. මොකද මම දැක්කා අප ගන්නා තීරණ බොහෝ විට උඩ සිට පහළට බලෙන් ගලා යන විදිහටයි කි‍්‍රයාත්මක වෙන්නේ. මේ උඩ සිට පහළට යන කි‍්‍රයාවලිය ඇතුළේ තමයි මේ අතෘප්තිකර තත්වය නිර්මාණය වෙන්නේ. මොකද බොහෝ විට උඩින් ගන්නා තීරණ වෙන එකක්. ඒ වුනත් යට තිබෙන තත්ත්වය ඊට වඩා වෙනස්. එතැනදී මේ තීරණයන්ගෙන් කෙනෙක් අතෘප්තියට පත් වෙන එක වෙන්න පුළුවන් දෙයක්. මම හිතනවා ඒ දේට මට විසඳුම් දෙන්න හැකියි කියලා. මොකද සිද්ද වෙන්න ඕන පහළ සිට පෝෂණය වන අදහස් උඩදී තීරණ හැටියට කි‍්‍රයාත්මක වීම.

* හොඳයි. ඔබ ජාතික චිත්‍රපට සංස්ථා පනත ගැන දරන අදහස මොකක්ද? මම මෙහෙම අහන්නේ වැඩි දෙනා යෝජනා කරනවා පනත සංශෝධනය කරන්න කියලා සිනමාවේ අර්බුද විසඳන්න.

චිත්‍රපට සංස්ථා පනත ගෙනාවේ 70 දශකයේ. 70 දශකයේ මේ පනත ගෙනාවේ ඒ දශකයේ අවශ්‍යතාව නිසා. එකෙන් අදහස් වෙන්නේ ඒ කාලයට අනුරූප වන පරිදි තමයි මේ නීති සම්පාදනය වෙන්නේ. ඒක නිසා ඔබත් කිව්වා වගේ මේ පනත සංශෝධනය විය යුතු තැන් ඇති. නමුත් මම කිසිම මොහොතක හිතන්නේ නැහැ පනත අහෝසි විය යුතුයි කියලා. ඒ වගේම මම කොහොමටත් හිතන්නේ නැහැ සිනමාව කඩා වට්ටන්න පනත හේතු වුණා කියලා. ඇත්තෙන්ම පනත ගැන මගේ අදහස තමයි අපේ දේශීය සිනමාව රැක ගන්න සෑහෙන ශක්තියක් වෙන දේවල් මේ පනතේ තිබෙනවා. ඒ නිසා දේශීය සිනමාව වෙනුවෙන් මේ පනත උපයෝගී කර ගත හැකියි.

* සංස්ථාව වෙනුවෙන් වාර්ෂිකව රජය කොතරම් පිරිවැයක් දරනවද?

මගේ මේ ස්වල්ප කාලයක දැනීම අනුව නම් වාර්ෂිකව මිලියන 80ක පමණ වැය ශීර්ෂයක් සංස්ථාව වෙනුවෙන් වෙන් වෙනවා.

* ‘රිත්මා’ මණ්ඩලය මගින් සංස්ථාව දේශීය චිත්‍රපට බෙදාහැරීමටත් හවුල් වෙනවා. සංස්ථාවට එය ලාබයක්. මණ්ඩලයේ අනාගතය ගැන ඔබේ අදහස මොකක්ද?

ඇත්තටම මම හිතනවා රිත්මා මණ්ඩලය දිගටම පැවතිය යුතුයි කියලා. ඒ මණ්ඩලය තවත් ශක්තිමත් විය යුතුයි කියලයි මට හිතන්නේ.

* ලංකාවේ සිනමාවේ අර්බුදය පැති ගණනාවකින් එළියට එනවා. ඔබ ඒ සඳහා යෝජනා කරන විසඳුම් ව්‍යුහය කවරාකාර එකක්ද?

මම හිතනවා මම මේ දේ කලක් අරන් ස්ථිරසාර විසඳුමක් දෙන්න අවශ්‍යයි කියලා. ඒකට මම හිතනවා හැම දෙනාගේම සහය ලැබේවි කියලා. මොකද සිනමාව ගොඩගන්න වැඩේ සභාපතිගේ වැඩක් විතරක් නෙවෙයි. ඒකට හැමෝම එකතු වෙන්න ඕනෑ. ඒ සඳහා මම සුදානම් සිනමාව වෙනුවෙන් ඉන්න හැමෝම මේ සඳහා එකතු කරගන්න. මමත් බොහෝ දේ අලුතින් ඉගෙන ගනිමින් ඉන්නේ. ඉන් පස්සේ මම සූදානම් තුන් අවුරුදු වැඩපිළිවෙළක් මේ සඳහා ඉදිරිපත් කරන්න. දැනටත් බොහෝ කටයුතු මේ දිනවල කෙරෙමින් පවතිනවා. ඒ වැඩපිළිවෙල 2018 වසරේ සිට අඛණ්ඩව වසර 3ක් තුළ සාක්ෂාත් කර ගත යුතු අනිවාර්ය දේ තමයි යෝජනා වෙන්නේ. ඒ සඳහා මම දැනටමත් සංස්ථාව ඇතුළේ හොඳ කණ්ඩායමක් හදමින් යනවා. ඉතා දක්ෂ ජව සම්පන්න කණ්ඩායමක් නැතුව මේ වැඩේ කරන්න අමාරුයි. අපේ දුර්වලකම් ඕන තරම් තියෙනවා. ඒත් කණ්ඩායමක් හැටියට වැඩ කරද්දී එකිනෙකාගේ දුර්වල කම් මතුවෙන්නේ නැහැ. මොකද කෙනෙකුගේ දුර්වල කම් අනෙකාගේ දක්ෂතාවයෙන් මැකෙන නිසා.

* ලංකාවේ ප්‍රකට සමාගම්වල ඉහළ කළමනාකරණ තනතුරු දැරූ ඔබ එයින් කරන යෝජනාව මොකක්ද?

ප්‍රධානම දේ තමයි අද වෙනකොට මේ කර්මාන්තය තියෙන්නේ ඉතාම දුර්වල තැනක. මේ කර්මාන්තය ගොඩගන්න නම් අපිට සිද්ද වෙනවා අලුතින් ආයෝජන කැඳවන්න. එහෙම කරලා කර්මාන්තය අලුත් කරන්න.

*ද ඔබ මේ රටේ ප්‍රකට වෘත්තීය අලෙවිකරුවෙක්. මේ වෙළඳපොළේ වර්තමාන තත්ත්වය මොන වගේද?

ඔබ අහළ ඇති අලෙවිකරණයේදී භාවිතා කරන P පහේ සංකල්පය. ( 5 P MARKETING ) එතැනදී භාවිත වෙන්නේ PRODUCT, PRICE, PEOPLE, PLACE, PROMOTION (නිෂ්පාදනය, මිල, ජනතාව, ස්ථානය, ප්‍රචාරණය) කියන නිර්ණායක ටික. ඒත් මේ වෙළඳපොළේ මේ සංකල්ප කි‍්‍රයාත්මක වෙන බවක් අපිට පේන්න නැහැ. නිෂ්පාදනයක් තිබුණට ඒකට නියමිත ස්ථානයක් ප්‍රචාරණයක් ඇත්තෙම නැති තරම්. අනික ජනතාව සුදානම් නෑ භාණ්ඩය හොඳ නැත්නම් යම් ස්ථානයකට ගිහින් ඒක රසවිඳීන්න. ඔවුන්ට දැන් ටෙලිවිෂන් එක තිබෙනවා ඒ වෙනුවෙන්. මේ ස්ථානය කියන ප්‍රශ්නය තමයි සිනමාවට තිබෙන ලොකුම ප්‍රශ්නය. ශාලා වල බහුතරයක් තත්වය අවුල් සහගතයි. ඉස්සර වගේ බංකුවල වාඩි වෙලා අද මිනිස්සු චිත්‍රපට බලන්නේ නැහැ. කුෂන් පුටුව පවා සැප පහසු වෙන්න ඕනෑ. දහඩිය දාන්නේ නැති වෙන්න ඕනෑ. ඒවාට අවශ්‍යය වෙන පරිදි ආපනශාලා හැදෙන්න ඕන. පුස් රහ රටකජු කකා චිත්‍රපට බලන පරම්පරාවක් නෙවෙයි දැන් ඉන්නේ. මේ වෙනුවෙන් අපි සූදානම් සිනමාහල් වලට උදවු කරන්න. අලුත් ආයෝජන ගේන කටයුත්ත අපි කරනවා. ඒකෙන් අපිට පුළුවන් වෙයි වැසුණු සිනමාහල් යළි ඇරගන්නත්. මම පෞද්ගලිකවත් මැදිහත් වෙනවා මේ ආයෝජකයෝ ගේන කාරණයේදී.

* සිනමාවේ පරිවාරයේ තිබෙන කාරණා ගැන ඔබේ දැක්ම මොකක්ද?

ශාලා වල ප්‍රශ්නෙට අමතරව අපි සූදානම් අනෙක් කාරණා සඳහාත් ස්ථිර වැඩසටහනක් ගේන්න. දළුගම සරසවි චිත්‍රගාරය ප්‍රතිසංස්කරණය කරලා පුළුල් කරන්න මගේ අදහසක් තියෙනවා. එතකොට අපේ ශිල්පීන්ට පුළුවන් ඉන්දියාවට යන්නේ නැතුව මෙහෙදිම සියලු පසු නිෂ්පාදන කටයුතු කරන්න. ඒ වගේම ජාතික චිත්‍රපට සංරක්ෂනාගරයකුත් චිත්‍රපට පාසලකුත් ඇති කරන්න පසු ගිය කාලේ සැලසුම් හැදුවා. එකට අපේ කලින් සභාපතිතුමා සෑහෙන්න වෙහෙසුනා. ඒ කාර්යන් දෙකම සාර්ථක කරගන්නයි මගේ බලාපොරොත්තුව.

* ඩී.වී.ඩී චිත්‍රපට වෙළඳපළ කර්මාන්තයක් හැටියට සලකන්න ඔබ සූදානම් නැතිද? අද වෙන කොට නොසලකා නොහැරිය හැකි වෙළඳපළක් සිනමාව ඇතුළේ ඩී.වී.ඩී ය අත්පත් කරගෙන.

මම ඩී.වී.ඩී කර්මාන්තය දකින්නේ ප්‍රධාන කර්මාන්තයක් හැටියට නෙවෙයි. විකල්ප කර්මාන්තයක් හැටියට. ඒ වෙළඳපළටත් අභියෝගයක් විය යුතුයි මහ කර්මාන්තය. ඒ වෙනුවෙන් තමයි වඩාත් හොඳ විනෝදාත්මක ස්ථානයක් වෙනුවෙන් සිනමා ශාලාව අපි ප්‍රවර්ධනය කරන්නේ.

* ඔබ යෝජනා කරන වෙළඳපොළ තත්වයට ගැළපෙන නිර්මාණ කරන්න නිර්මාණකරුවෝ දිරිමත් විය යුතුයි. බොහෝ තරුණයෝ අද ඒ තත්වය අරගෙන තිබෙනවා. අනෙක් කාරණය ඔවුන් අද ඩිජිටල් මාධ්‍යයෙන් ඊට අනුරූපව නිර්මාණ කරන්නයි උපරිම උත්සහ කරන්නේ. ඒ දේ වෙනුවෙන් ඔබේ දායකත්වය මොකක්ද?

ඇත්ත. ඔවුන්ව දිරිමත් කරන ඒක අපි කරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් මම සූදානම් ඔවුන්ට ණය මුදලක් සපයා දෙන්න. ඔවුන් ගැන විශාල අධ්‍යයනයක මම යෙදිලා නැහැ. අනික මේ දේ ක්ෂණිකව කරන්නත් බැහැ. ඒකට කලක් යනවා. නමුත් මම සූදානම් තුන් අවුරුදු වැඩපිළිවෙළ යටතේ අලුත් ඩිජිටල් සිනමාකරුවන් ගැන ස්ථිරසාර වැඩසටහනක් හදන්න.

* හොඳයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු වුනා. එහි යාන්ත්‍රණය මේ වසරේ සිට කි‍්‍රයාත්මකයි. චිත්‍රපට සංස්ථාව සතුව තොරතුරු නිලධාරියෙක් සිටිනවද?

ඔව්. ඒ සඳහා නිලධාරියෙක් සංස්ථාවෙන් පත් කරලා තිබෙනවා.