වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මාතා ගැන කතාබහක්

මාතා ගැන කතාබහක්

ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකාවක සහ කතුවරියක වන තුෂාරි අබේසේකරගේ ‘මාතා‘ නවකතාව පිළිබඳ මාධ්‍ය කතා බහක් 2017 අගෝස්තු 29 වැනි අඟහරුවාදා සවස 3.30ට අංක 5, මිහිඳු මාවතේ, ලිලියන් ශ්‍රවණාගාරයේ දී පැවැත් වෙයි.

එදින ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා සහ ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය විසින් දේශන පැවැත්වීමට නියමිතය.

උත්සව සභාව ප්‍රවීණ නිවේදක සහ මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක මහතා මෙහෙයවයි. එදිනට කලාකරුවන් සහ විද්වතුන් රැසක් සහභාගී වීමට ද නියමිත ය.


‘නේරංජනේ ඉස්නානේ’ 29 දා

කේ. කේ. සමන් කුමාරගේ ‘නේරංජනේ ඉස්නානේ’ නවමුද්‍රණය අගෝස්තු 29 වන අඟහරුවාදා සවස 3.00ට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වෙයි.

ස්තී‍්‍රමය ලේඛනය, ස්ත්‍රීවාදය, මනෝවිශ්ලේශනය හා බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යය යන මාන ඔස්සේ මේ පිළිබඳ හෂිත අබේවර්ධන, ලංකා බණ්ඩාරනායක සහ විදර්ශන කන්නංගර අදහස් දක්වනු ලබන අතර කතිකාව මෙහෙයවීම අසංක සායක්කාරගෙනි.

‘නේරංජනේ ඉස්නානේ’ අගහස් ප්‍රකාශනයකි.


‘නො. 999-බංගලාව-1’ එළිදැක්වෙයි

ජයශංඛ කරුණාරත්නගේ අලුත්ම නවකතාව ‘නො. 999 - බංගලාව - 1‘ කෘතිය මේ මස 29 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමේ පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදැක්වෙයි. මේ කෘතිය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.


බිනෝයි සුරේන්ද්‍ර අභාවය

ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ බිනෝයි සුරේන්ද්‍ර අභාවප්‍රාප්ත විය. දිනමිණ පුවත්පතහි හිටපු නියෝජ්‍ය කර්තෘවරයකු වූ ඔහු ඩිංගිරි මැණිකා සිනමාපටයේ රංගනයෙන් දායක වූ පුවත්පත් කලාවේදී සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍රගේ පුත්‍රයා වේ. රංගන ශිල්පී අභාවප්‍රාප්ත ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍රගේ ඥාති සොයුරෙකු වන බිනෝයි මහතා මිහිර කර්තෘ මණ්ඩලයේ සේවය කරන ආත්මා සුරේන්ද්‍රගේ පියාණන් වේ.


රාජ්‍ය සාහිත්‍ය උත්සව දෙසුම් 30 වැනිදා

රාජ්‍ය සාහිත්‍ය උත්සවයට පූර්වගාමීව සංවිධානය කෙරෙන රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන මෙම මස 30 වැනිදා සවස ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙදින මුඛ්‍ය දේශනය ඉන්දු ශ්‍රී ලංකා ශාස්ත්‍රීය සම්බන්ධතා සාහිත්‍ය කලා විෂයක පර්යාලෝකයක් යන මැයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සේවාර්ජිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් පවත්වනු ලැබේ. ද්විතීය දේශනය හෙවත් ප්‍රාසාංගික දේශනය සංගීත සහ නර්තන ප්‍රසාංගික කලා විෂයයක ඉන්දු ශ්‍රී ලංකා නිර්මාණාත්මක සංසපර්ශය යන මැයෙන් ප්‍රවීණ නර්තනවේදී රවිබන්ධු විද්‍යාපති සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ දෙපළ විසින් පවත්වනු ලබයි. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මුලසුන හොබවන අතර දේශන ද්විත්වයට අදාළ ග්‍රන්ථගත මුද්‍රිත පිටපත් මෙදින නොමිලයේ බෙදාදීමට විධිවිධාන සලසා ඇත.


නෙරංජලාගේ හඬ ආයෙත් නෑසේ

මෙරට පළමු පෞද්ගලික සිංහල ගුවන් විදුලි නාලිකාවෙහි ආරම්භක නිවේදිකාවක වූ නෙරංජලා බස්නායක අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 49 කි. පසුකාලීනව සවන සහ ශ්‍රී ගුවන් විදුලි නාලිකාවලට එක්වන ඇය ප්‍රසංග වේදිකාවේද නිවේදිකාවක ලෙසින් කටයුතු කළාය. ආරියදාස පීරිස් සහ ජයන්ත පීරිස් යන අයගේ ඥාති දියණියක වන නෙරංජලා චරිතා ප්‍රියදර්ශනී පීරිස්, චතුරිකා පීරිස් සහ පූර්ණිකා පීරිස් කලාකාරිණියන්ගේ ඥාති සොයුරියක වේ. ඇගේ අවසන් කටයුතු ඉකුත් සඳුදා බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරිණ.


කොළඹ නාට්‍ය කතිකාව 29

ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම මෙහෙය වන කොළඹ නාට්‍ය කතිකාව මේ මස 29 වැනිදා පස්වරු 5.00ට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි. මෙවර සංවාදය පැවැත්වෙන්නේ 'වේදිකා රංගය, වාර්තා චිත්‍රපටය හා සංවාදය' යන මැයෙනි. මෙහෙයවීම නාට්‍යවේදී එම්. සෆීර්ගෙනි.


ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ අවසන් වටය 29දා

38 වැනි ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ අවසන් වටය මේ මස 29 වැනිදා මරදාන ටවර් රඟහලේදී ආරම්භ වෙයි. මේ මස 29 වැනිදා පටන් සැප්තැම්බර් 08 වැනිදා දක්වා සෑම දිනෙකම පස්වරු 6.30ට වේදිකා ගතවන මේ නාට්‍ය උලෙළේ 29 වැනිදා - ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමිගේ 'සූකර භවන' දිගු නාට්‍යයද, 30 වැනිදා නිමේෂ් සී අධීකාරිගේ 'බිසෝ අම්බලම', එස්.එච්. මධුරංගගේ 'හනිමුන්', ආර්. ජී. ටී. එම්. වික්‍රමසිංහගේ 'ආදරේ දිනයි දවසක' යන කෙටි නාට්‍යයද වේදිකා ගතවෙයි.


අසුරු සැණින් රූපවාහිනියේ

යමුනා විමෝදනී පසුගිය දිනෙක කොළඹ ටවර් රඟහලේදී පැවැත් වූ අසුරු සැණින් ප්‍රසංගය මෙම මස 27 වැනිදා ලබන ඉරිදා දහවල් 1 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.


ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ප්‍රදර්ශනයට නිර්මාණ භාර ගැනේ

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරනු ලබන 18 වැනි ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය සැප්තැම්බර් 15, 16 සහ 17 යන තෙදින තුළ ජේ. ඩී. ඒ පෙරේරා කලාගාරයේදී පැවැත්වීමට නියමිතය. මෙම ඡායාරූප ප්‍රදර්ශනය 15 වැනිදා පෙරවරු 10.00ට තුර්කි ජනරජයේ තානාපති සහ ප්‍රවීණ සංගීතවේදිනි විශාරද නන්දා මාලිනීයගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

කෘතින් භාර ගන්නා අවසාන දිනය අගෝස්තු 25 වැනිදා වන අතර ඇතුළත් වීමේ පත්‍රිකාව සංගමයේ නිල වෙඩ් අඩවිය www.npasslanka.org වෙත පිවිසීමෙන් ලබාගත හැකිය. එය අන්තර්ජාලය ඔස්සේ ද ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා ඇත.