වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




බූ බබා තුල්සි එක්ක පඬිතුමා හැදූ යෝධයාට 85යි

බූ බබා තුල්සි එක්ක පඬිතුමා හැදූ යෝධයාට 85යි

එස්. ඒ දිසානායක කියන නම ගැන ඔබට දෙවරක් කිව යුතු යැයි මම නොසිතමි. ඒ තරමටම වර්තමානයේ සිටින ළමයින්ට මෙන්ම අනාගතයේ සිටි කුඩා ළමුන්ටද ඔහුගේ නම කටපාඩම් ය. ඔහුගේ නම කෙසේ වුවද ඔහු අඳීන ලද චිත්‍රකතාවල චරිත තවමත් අපේ හදවතේ ජීවත් වන බව නම් රහසක් නොව්. ‘බටකොළ’ ආච්චි’, ‘බූ’, ‘බබා’, ‘තුල්සි’, ‘යෝධයා’, ‘පඬිතුමා’, ‘පුංචිත්තා’, ‘කුක්කා’, ‘යකාබාස්’ යන චරිත එදා අපගේ නිවෙසට පැමිණියේ ‘මිහිර’ පුවත්පත හරහා ය. ඒ මිහිරට බොහෝ ළමයින් මෙන්ම වැඩිහිටියන්ද ඒකරාශී වූ කාරණයක් වූ චිත්‍ර කතාව අඳීන ලද්දේ එස්. ඒ. දිසානායකයන් ය.

ඒ චිත්‍ර කතාවලට කෙතරම් අප ආදරය කළේ ද යත් ඊළඟ සතියේ ‘මිහිර’ පුවත්පත පැමිණෙනතුරු මඟා බලා සිටීම අපගේ සිරිතක්ව පැවතිණි. එකල මිහිර පුවත්පත සතිපතා මිලට රැගෙන දීමට මගේ මවුපියන්ට වත්කමක් නොතිබිණි. ඒ නිසා මා මිහිර පුවත්පතේ තිබූ බටකොළ ආච්චි හා මායාකාර කොස්සේ කතාව දැන ගත්තේ පාසල අසල ඇති කඩයේ පත්තර එල්ලා ඇති වැලේ තිබෙන මිහිර පුවත්පත කියැවීම මඟිනි. වසර ගණනකට එපිට කියැවූ ඒ කතාවෙන් බොහෝ දේ උගෙන මිහිරට පත්වූ කුඩා ළමයකු වූ මට වසර ගණනකට පසුව හදිසියේම ඒ කතා ගෙතූ සොඳුරු මිනිසා සොයා යන්නැයි කර්තෘතුමා කළ ඉල්ලීම අදහාගත නුහුණු විය. ඒ ඉල්ලීමට අනුව මා කුඩාකල බෙහෙවින් ප්‍රියකළ, ආදරය කළ යෝධයා සොයාගෙන බොරැලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතට පිවිසියෙමි. මා ඉදිරිපසට පිවිසියේ තරුණ කාන්තාවකි. ඒ යෝධයා පැමිණෙනතුරු ඈ මට සාලයේ අසුන් ගන්න යැයි පැවසුවා ය. පඬිපෙළ බසිමින් මා හමුවට පිවිසියේ යෝධයකු නොවේ. බොහොම කුඩා මිනිසෙකි.

මේ කුඩා මිනිසා උපන්නේ අවිස්සාවේල්ල ගැටහැත්තත් අතර බිහිටි මාදොළ නමැති ග්‍රාමයේයි. නිවෙසට පෙනෙන මානයේ තිබුණු කැලණි වැලි දුම්රිය මඟ ඕපනායක දක්වා වැටී තිබුණු අතර ඊටත් එහායින් පිහිටා තිබුණේ වෙලන් ගල්ලවත්තයි. එතැනිනුත් එහා රත්නපුර බස්මාවත අසල පිහිටියේ රෝමානු කතෝලික පල්ලිය හා පාසලයි. දිසානායක කොලු ගැටයා පාසල් ගියේ එහි පාසලටයි.

“කලකදි තාත්තා අපත් සමඟ බලංගොඩට යන්නේ වෙළෙඳාමක් ආරම්භ කිරීමට සිතාගෙනයි. එහි බලංගොඩ පිරිමි පාසලට ඇතුළත් කරන අපට ටික කාලයක් පාසල් නොයා ඉන්නයි සිදුවන්නේ. ඒ ලෝක යුද්ධය පැවැති කාලය නිසයි. ටික කාලයක් පාසල් නොගිය නිසාත්, වාරය මැදදි පාසලට ඇතුළත් කළ නිසාත් 4 පන්තියේ වැඩ තේරුම් ගැනීමට මට නොහැකි වුණා. අවසානයේ මට සිදුවූයේ පන්තිභාර ගුරුතුමාගෙන් වේවල් කසාය කන්නයි. එහෙත් කලකදි යළිත් වෙළෙඳාම් පාඩුවීමත් සමඟ නැවතත් ආතා සහ ආච්චී පදිංචිව සිටි මහගෙදරට පිවිසෙන අප යළිත් ඇතුළත් වන්නේ පල්ලියේ ඉස්කෝලයටයි. ආර්ථික දුෂ්කරතා මැද පාසල් ගිය මට හත්වැන්නට සමත් වනවිට පාසල ඉතා ප්‍රියජනක ස්ථානයක් වුණත් නිවෙසේ ආර්ථික තත්ත්වය පිරිහී තිබුණෙන් මට රැකියාවකට යෑමටයි සිදුවන්නේ. ඒ ලිපිකාර සේවයටයි. එහිදියි මා පින්තාරු ශිල්පය ගැන දැන ගන්නේ”

නිවෙසේ ආර්ථිකය යහපත් වීම නිසා යළිත් සිය නිවෙසට පිවිසෙන දිසානායක යළිත් පාසල් දිවිය අරඹන්නේ බොහොම කැමැත්තෙනි. එහිදි චිත්‍රවලට දක්ෂ දරුවකු වූ දිසානායකට විවිධ අයගේ චිත්‍ර අඳීන කටයුතුවලට සහය දැක්වීමටයි සිදුවුණේ. ඒ අතර පැමිණෙන නිවාඩු කාලයේ දිසානායක ලංකාදීප පුවත්පතේ ළමා පිටුවට චිත්‍ර යැවීමද සිදු කළේ ය. ඒ යවන සියලු චිත්‍ර පළවුයේ දිසානායක කොලුගැටයාගේ සිතේ ප්‍රීතියක් ඇති කරමිනි.

“පෞද්ගලිකව ඉගෙන ගෙන සමත් විය යුතුව තිබුණු ගුරු විදුහලට ඇතුළත් වීමේ විභාගයට පන්ති යන්නට තරම් මගේ අතේ මුදල් තිබුණේ නැහැ. ඒ නිසා පරණ පුරුදු තැන ලිපිකාර රැකියාවට පැමිණෙනවා. ඒත් ඒ රැකියාව අතහැර දමන මගේ සිත ඇදී ගොස් තිබුණේ වාණිජ චිත්‍ර ශිල්පියකු වන්නටයි. ඒ රැකියාව අතර දැමීමෙන් පසුව අහම්බයෙන් මෙන් දිනක් මගේ පරණ ලිපිකාර ගුරුතුමා මුණ ගැසෙන්නේ පිටකොටුවේදියි. යළිත් ලිපිකාර සේවයට පිවිසෙන මට සවස් යාමයේ ලැබෙන නිවාඩුවත් සමඟ චිත්‍ර වැඩ තිබේදැයි කියා විමසමිනුයි කාලය ගත කළේ. එහි ප්‍රතිඵලයක් ලෙසයි සිරිසේන මාඉටිපේ මහත්තයාගේ ‘මාරක දත් පහර’ කියන පොතට පිටකවරයක් අඳීන්නට ලැබෙන්නේ. ඉන්පසුව මොටාගෙදර වනිගරත්න මහතාගේ චිත්‍ර පන්තියක් ගැන සඳහන් වූ නිසා ම එය සොයාගෙන ගිය මට චිත්‍ර ගැන ඉගෙන ගැනීමට ලැබෙන්නේ ටික දවසයි. චිත්‍ර පන්තිය නවතිනවා. මගේ ජීවිතය වෙනස් මඟකට යොමුවන්නේ රථයක් වර්ණ ගැන්වීමට ගිය අවස්ථාවේදී හමුවන දමිල මනුස්සයා නිසයි. ඔහුයි මට පවසන්නේ චිත්‍ර වැඩ සොයන්නට කොළඹ රස්තියාදු නොවී ගෙදර ගිහින් චිත්‍ර අඳීන්න කියලා. ඒ වචන ටික මගේ සිතට තදින්ම කා වැදෙනවා. මා ගෙදර ඇවිත් මහන්සි වී චිත්‍ර කතාවක් අඳීන්නේ ඉන්පසුවයි. එය අරගෙන ලේක්හවුස් ආයතනයට ගොඩවන මට පැවසෙන්නේ ළමා කතාවක් ඇඳගෙන එන ලෙසයි. එය ගිහින් දී පසු දිනෙක මා නවයුගය සඟරාව අතට ගත්තේ බොහොම සතුටින්. ඒ මගේ චිත්‍ර කතාව එහි පළ වී තිබීම නිසයි.”

එතැනින් ඇරැඹූ එස්. ඒ. දිසානායක තරුණයාගේ චිත්‍ර කතා ඇඳීමට ලේක්හවුස් ආයතනයෙන් ලැබුණේ නොමඳ සහයෝගයකි. ඔහුට ලියනගේ මහතාගෙන් නවයුගයට ළමා කතාවක් ඉදිරිපත් කිරීමට පිටු හතරක්ම ලැබිණි. එහි කතාව අත්අකුරෙන් ලියන්නට වුණේද ඔහුටමය. ඊට අමතරව කෙටිකතා සඳහා අවශ්‍ය චිත්‍ර ඇඳීමටත් ඔවුන් සෙව්වේ දිසානායකව ය. වර්තමානයේ මිහිර පුවත්පතේ පළවන ‘පඬිතුමා’ කාටුනය පළමුව නිර්මාණය වන්නේ නවයුගයට ය. 1964 වසරේදී ගුරුවරයකු බවට පත්වන එස්. ඒ. දිසානායක චිත්‍ර කතා, කාටුන් ඇඳීමට අමතරව ගුරුවෘත්තියේද නියැළුනෙකි. මිහිර ළමා පුවත්පත ආරම්භ වන්නේ ඒ අතර ය. එයට ‘යෝධයා’ කාටුනය ඉදිරිපත් වන්නේ එලෙසිනි. ඉන්පසුව ආරම්භ කරන ‘තරුණි’ පුවත්පතටත් සිය දායකත්වය සපයන දිසානායක තරුණයාට සෑම පැත්තෙන්ම ආරාධනා ගලා පැමිණියේ චිත්‍ර කතා, කාටුන් ඇඳ ගැනීම සඳහා ය. ඔහු කාර්යබහුල මිනිසකු බවට පත්වූයේ නිතැතිනි.

“මේ ලබන අසූපස් වසර ඇතුළත පැමිණි ගමන ගැන මොන වගේ හැඟීමක්ද ඔබට තිබෙන්නේ?”

මේ වනවිට නිවෙසට සිය සැදෑසමය බොහෝ සුන්දරව ගත කරන සොඳුරු මිනිසාගෙන් මම විමසීමි.

“මා මගේ සිතේ තිබුණු අදහස සඵල කර ගැනීමට ගත් මහන්සිය සාර්ථක වීමේ සතුටයි මගේ සිතේ පැළපදියම් වී තිබෙන්නේ. එය ලබා ගැනීමට බොහෝ මහන්සි වීමට මට සිදුවුණා. දුෂ්කර ගමනක් පැමිණියා. එහි අවසානය සතුටු දායකයි.”

ඔහුට තිබුණේ කෙටි පිළිතුරකි.

“මම කිසිම දවසක අනෙක් අයගේ චිත්‍ර කතාවක් කියවලා නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. මේ කළ නිර්මාණ මා ගෙනාවේ හොඳට හිතලා. බලලා. යම් සිදුවීමක් මගේ සිතේ ඇතිවුණාට පස්සේ එය මගේ සිතේම තියාගෙන එහාට මෙහාට හරව හරවා බලනවා. ඒක මෙහෙම වුණොත් කොහොමද? එහෙම වුණොත් කොහොමද? කියලා. මගේ ලෝකය නිර්මාණය වී තිබුණේ චිත්‍ර කතාවලින්. නිදා ගනිද්දිත්, නිදාගෙන ඇහැරෙන විටත් මා සිටියේ චිත්‍ර කතා නිර්මාණය කරමින්. ඒ සමඟ ජීවත්වෙමින්.”

ගුරුවරයකු ලෙස පාසල් ගිය පසුව ඔහු ජීවත් වූයේ ගුරු භූමිකාවේ ය. චිත්‍ර කතා සඳහා නිර්මාණ ගැන සිතීම දිසානායක ආරම්භ කරන්නේ සිය නිවෙසට පැමිණීමත් සමඟිනි. ඔහුට නිර්මාණවලට වස්තුබීජ සැපයුවේ කුඩා කාලයේ ඔහු විසූ පරිසරයයි. ඒ පරිසරය හරහා නිර්මාණය වූ අපූරු කතාවක් නම් ‘ඔන්න බබෝ’ චිත්‍ර කතාව ය.

“මම මේ නිර්මාණවල යෙදුණේ කොළඹ හෝටලයක කාමරයක නැවතී සිටිමින්. ඒ පරිසරය කිසිම නිර්මාණයක් ගැන හිතන්න සුදුසු පරිසරයක් නොවෙයි. හෝටලයේ ඉහළම මාලයේ සිටි මට බිම බැලුවාට පසුව පෙනෙන්නේ හෝටලයේ මුළුතැන් ගෙයයි. එහි අයිති මුදලාලි මාලු ගෙනැත් කෝකියන්ට මාලු කපන අයුරු කියන විදියයි මට ඇසෙන්නේ. අනෙක් පැත්තකින් පෙනෙන්නේ කයිමන් දොරකඩයි. ඒ නිසා මේ කිසිම තැනකින් ළමා හැඟීම් උපදින්නේ නැහැ. ඒ නිසා මම ඇඳට වැටිලා කල්පනා කරන්නට ගත්තා. කතාවට අමුද්‍රව්‍ය තිබුණත් කතාව සිතේ ඉපදුණේ නැහැ. මේ ඉන්න අතරදියි මා මගේ නිවෙස මතකයට නඟා ගත්තේ. නිවෙස පිටු පස්සේ තිබෙන්නේ දොළ පාරක්. ඒ දොළේ වතුර පැමිණෙන්නේ වැස්ස කාලයට විතරයි. අනෙක් කාලයට එහි තිබෙන ගල්මතු වෙලා බොහොම ලස්සනයි. එතැනින් එහා තිබෙන්නේ කැලෑවයි. පුංචි කැලෑවත් වුණත් මට හිතෙන්නේ මේ කැලෑව ලොකුයි කියලා. මා පුංචි කාලයේ ඔතනට වෙලා කල්පනා කරන අයුරු සිතේ ඇඳුණේ ඉබේමයි. එවිටම අම්මා කියා දුන්න ‘ඔන්න බබෝ ඇතින්නියා’ කියන කවිය මගේ මතකයට පිවිසුණේ. දැන් මට පෙනුණේ අලි බබෙක් අර ගල්වලට අඩි තබමින් කැලෑවට යන විදියයි. ඔන්න දැන් මට කතාවේ මුල අහුවුණා. ඒ ‘ඔන්න බබෝ’. අලි පැටියෙකුත් ඉන්නවා. බබෙකුත් ඉන්නවා. මම කතාව ගෙතුවා.”

‘ඔන්න බබෝ’ කතාවේ මුලින්ම සිටි බූ සහ බබා ඉපදෙන්නේ ඒ ලෙසිනි. බටකොළ ආච්චි දිසානායකගේ මතකයට පිවිසෙන්නේ අම්මාගේ කතන්දරයක් හරහා ය. අම්මා කියූ බටකොළ ආච්චි කැලෑබඳව හුදකලාව ජීවත් වූ බිය නැති ආච්චි කෙනෙකි. මායාකාරියක් නොවේ. ඈ මායාකාරියක් බවට පත්වූයේ දිසානායකගේ සිතේ ය.

එස්.ඒ. දිසානායක මහතාට සිටින්නේ පුතණුවන් හා දියණියයි. චරිත දිසානායක හා නදී දිසානායක යන මේ දෙදෙනාද චිත්‍ර ඇඳීමටත්, කතා ලිවීමටත් දක්ෂයෝ ය. චරිත කලක් ස්වාධීන රූපවාහිනියේ හා ලක්හඬ ගුවන් විදුලියේ ද සේවය කළ චරිත සිනමා විචාරකයකු ලෙසද පතලව සිටියේය. ඔහු මේ වනවිට සිටින්නේ විදේශ ගතව ය. නදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරන්නීය. එහි කටයුතු අතර සිය පියාණන් රැක ගනිමින් සමාජ සේවා කටයුතවල නියැළී සිටින ඈ ළමයින්ගේ දක්ෂතා හඳනා ගැනීමට වෙහෙස වන්නියකි. මේ සියලු කටයුතුවලට ඈට සහය වන්නේ සැමියාය.

“තාත්තා වයස්ගත නිසා බොහොම පරිස්සමෙනුයි මා බලා ගන්නේ. හරියට මේ 27 වැනිදාට තාත්තාට වසර අසූපහක් ලබනවා. ඒ වෙනුවෙන් මා භික්ෂූන් වහන්සේලා හත්නමකට සාංඝික දානයක් දෙනවා.”

දියණිය නදී පැවසුවේ සිය පියාගේ අසූපස්වැනි උපන්දිනය පිළිබඳ සමරන අයුරු ය. ළමයින් වෙන්වෙන් සිය පෑන මෙහෙය වූ මේ සොඳුරු මිනිසාගෙන් සමුගැනීමට මත්තෙන් මම ඔහුට නිරෝගී සුව පැතීමි.