වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




දැවෙන විහඟුන් ටෝකියෝ තරගකාරි අංශයට

දැවෙන විහඟුන් ටෝකියෝ තරගකාරි අංශයට

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds)17 වන ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උ‍ළෙලේ (17th Tokyo FILMeX International Film Festival)තරගකාරී අංශය සදහා තෝරාගෙන ඇත. ජපානයේ, ටෝකියෝ නගරයේදී නොවැම්බර්19 දා සිට 27දා දක්වා සිනමා උළෙල පැවැත්වේ.

දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds)පසුගිය ඔක්තෝම්බර් මස පැවති 21 එක්වන බුෂාන් අන්තර්ජාතික සිනමා උළෙලේ (21st Busan International Film Festival)තරගකාරී අංශය (NEW CURRENTS AWARDS) සදහා තේරුණු අතර එහිදී එය චිත්‍රපටය පේ‍්‍රක්ෂක සහ විචාරක දෙපිරිසේම දැඩි අවධානය දිනා ගැනීමට සමත්විය.

දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. චිත්‍රපටය ශී‍්‍ර ලංකා, ප්‍රං‍ශ, දොහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. දැවෙන විහඟුන් තිර රචනය කාන් සිනමා උලෙළ් 2012-2013 වසරේ සිනේ ෆොන්ඩේෂන් නේවාසික අංශයට (Cinéfondation Résidence, Cannes Film Festival)  තේරුණු අතර පසුව චිත්‍රපටයේ තිර රචනය වැඩිදුරටත් සංවර්ධනය කිරීම සදහා 2014 දී ඊශ්‍රාලයේ, ජෙරුසුලම් තිර රචනා ඇකඩමියට (The Jerusalem International Film Lab) තෝරා ගන්නා ලදී. එහිදී සංජීව ප්‍රංශ ජාතික තිර රචනා උපදේශක ජාක් අක්කොතිගේ උපදෙස් මත තිර රචනය සත්මසක කාලයක් පුරා වැඩිදුරටත් රචනා කරන ලදී.

ප්‍රංශයේ නියෝන් (Neon Production) ප්‍රඩක්ෂන් වෙනුවෙන් අන්තොනා දෙදේ (Antonin Dedet) සහ ඩොමිනික් විලෙන්ස්කිත් (Dominique Welinski) ශී‍්‍ර ලංකාවේ සපුෂ්ප එක්ස්ප්‍රෙෂන්ස් (Sapushpa Expressions) වෙනුවෙන් සංජීව පුෂ්පකුමාරත් දැවෙන විහඟුන් චිත්‍රපටයේ නිෂ්පාදකයන් ලෙස කටයුතු කරයි.

ලන්ඩනයේ (London) පිහිටිෆිල්ම් රිපබ්ලික් (FilmRepublic) සිනමා සමාගම චිත්‍රපටයේ අලෙවි සමාගම (World Sales Agent) ලෙස කටයුතු කරනු ලබයි.

මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මපි‍්‍රය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, පි‍්‍රයංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ඇතුළු පිරිස රංගනයෙන් දායකවන මෙහි කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශපි‍්‍රයගෙනී. ඇදුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණය පි‍්‍රයන්ත දිසානායක, සංස්කරණය අජිත් රාමණායක සහ කැතරිනා වර්තේනා (Katharina Wartena), වර්ණ සංයෝජනය එළි අකෝකා (ElieAkoka) ,  ශබ්ද පරිපාලනය පි‍්‍රයන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් (Nicolas D’halluin), පළමු සහය අධ්‍යක්ෂණය අරුණ තිලකරත්න, දෙවන සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න සහ නිෂ්පාදන කළමණාකරණය හැරල්ඩ් කරුණාතිලක සිදු කර තිබේ.

සිනමා උළෙල අතරතුර සංජීව පුෂ්පකුමාර ටෝකියෝ ටැලන්ට් කැම්පස් (Tokyo Talent Campus)  ආයතනයේ ආරාධනයකට අනුවආසියාවේ අනාගත තරුණ සිනමාකරුවන් පුහුණු කිරිමේ වැඩමුළුවේදී ලෝක සිනමාකරණයේ නව ප්‍රවේශයන් පිළිබදව විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිතයි.ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උ‍ළෙළ, ජර්මනියේ බර්ලින් සිනමා උළෙලේ ටැලන්ට් කැම්පස් (Berlin Talent Campus) ආයතනය සමග එක්ව ටෝකියෝ ටැලන්ට් කැම්පස් (Tokyo Talent Campus) ආයතනය පිහිටුවා තිබේ. ආසියාවේ අනාගත තරුණ සිනමාකරුන් පුහුණු කිරීම වෙනුවෙන් වාර්ෂිකව ටෝකියෝ ටැලන්ට් කැම්පස් (Tokyo Talent Campus) සිනමා පුහුණු වැඩමුළුව පැවැත්වෙයි.


සෝමසිරි මැදගෙදරගේ සඳුයි තරුයි 19 දා

විශාරද සෝමසිරි මැදගෙදරගේ 'සඳයි තරුයි' ප්‍රසංගය 19 දා රාත්‍රී 7 ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ. ඔහුගේ කලා ජීවිතයට 35 වසරක් සපිරීම නිමිත්තෙන් පත්වන මේ ප්‍රසංගයට නොමිලේ ඇතුළුවීමට රසිකයන්ට ඉඩ සැලසේ.

ගුවන් විදුලි සංස්ථා වාද්‍ය වෘන්දය සංගීතවත් කරන එදින සංගීතය මෙහෙයවීම සරත් ද අල්විස්ගෙනි. නර්තනයෙන් ජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායම එක්වන මේ ප්‍රසංගයේ දී යුග ගායනයෙන් විශාරද ධම්මිකා කරුණාරත්න සහ යශෝධා රසාංජලී මැදගෙදර ද අත්වැල් ගායනයෙන් සහන් ධනුෂ්ක මැදගෙදර ද සෝමසිරි මැදගෙදර සමඟ එක්වනු ඇත. එදින කථනය සේනක උබේසිංහ, සංඛ ජයලත් සහ හිරුණිකා මඩවලගෙනි. මංගල යහන (1986) අහිංසකාවිය (1989) සිතක් බිඳුණු පසු (1992) සන්ෆ්ලවර් සමඟ සෝමසිරි මැදගෙදර 1 සහ 2 සුවඳ හාදුවක් (2004) පහන් වැටක් (2011) ගීත එකතුන් එළිදැක් වූ සෝමසිරි මේ ප්‍රසංගයේදී ඔහුගේ අලුත්ම 'එදාටත් වඩා මං' ගීතය මුල්වරට ප්‍රසංග වේදිකාවේදී ගැයීමට නියමිතය.


ලතා ඇන්ජි මුණගැසී

ඒ දිනය ලතා වල්පොලට ඉතාමත් සුවිශේෂීය. මන්දයත් ඒ ඇගේ අසූ දෙවැනි උපන් දිනය නිසාය. ඇන්ජලින් ගුණතිලකට ද එදින තවත් සුවිශේෂී දිනයක් විය. ඒ දශක ගණනාවකට පසු ලතා, ඇන්ජිගේ නිවසට ආ බැවින්ය. මේ දෙපළ අප සිනමාවේ සදා අමරණීය ගායිකාවන්ය. එහෙයින් මේ සේයාරුව ඔවුනට ළැදි අපිට ද සුවිශේෂීය. මෙය ලතාගේ උපන් දිනයදා ඇන්ජිගේ සුවදුක් බැලීමට ලතා ගිය ගමනෙහි අපූරු අවස්ථාවකි. එමෙන්ම විරල සේයාරුවක්ය. මෙය නරඹන කොයි කවුරුත් පතන පැතුමම අපි ද පතන්නෙමු. ඒ ඔවුනට දීර්ඝායු වේවා යන්නය.

(ඡායාරූපය ෆේස්බුක් වෙතින් උපුටා ගැනිණ.)


රාජ්‍ය රූපවාහිනී සම්මාන 21 දා

13 වන වරට පවත්වනු ලබන 2016 රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ නොවැම්බර් 21 දින පස්වරු 6.00 ට කොළඹ 07 නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ.

ප්‍රවීණ මාධ්‍යවේදී රූපවාහිනි තිර රචක සෝමවීර සේනානායක මහතා හා ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු ඇමති එස්. බී. නාවින්න පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙදින රුපවාහිනි ක්ෂේත්‍රයට කරන ලද සේවාව උදෙසා ප්‍රවීණ නාට්‍යවේදී පද රචක ලූෂන් බුලත්සිංහල ජිවිතයේ එක් වරක් පමණක් හිමිවන යාවජීව විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත අතර රූපවාහිනි මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ආචාර්ය සෝමසිරි ඉලේසිංහ (රූපවාහිනි සංගීත ක්ෂේත්‍රය) ගිවන්ත අර්ථසාද් (රූපවාහිනි මාධ්‍ය රූප ක්ෂේත්‍රය) ජී. එන්. ගුණවර්ධන (රූපවාහිනි නිෂ්පාදන සේවා ක්ෂේත්‍රය) ශ්‍රී ස්කන්ධරාජා (රූපවාහිනි ඉංජිනේරු ක්ෂේත්‍රය) ධර්මදාස පරණගම මහතා (රූපවාහිනි පර්යේෂණ ක්ෂේත්‍රය) සම්මානයෙන් පුද කිරීමට නියමිතය.


 සන්දේශය ගෙන්වා දෙන්න ඉල්ලීමක්

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන් අධ්‍යක්ෂණය කළ සන්දේශය චිත්‍රපටයේ පිටපතක් චෙකොස්ලොවැකියාවේ සිනමා කෞතුකාගාරයක තිබෙන බවත් එය මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් සඳහන් කරමින් දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමය මඟින් විශේෂ ලිපියක් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට බාර දුන් බව එම සංගමයේ ලේකම් සරත් සිල්වා සරසවියට දැන්වීය. පසුගිය කාලයේ ඒ පිළිබඳ දන්වමින් ඉල්ලීම් ගණනාවක් අදාළ පාර්ශවයන්ට යොමු කළ ද ඒවා ඉටු නොවුණ බව ඔහු අප වෙත සඳහන් කළේය. එහෙයින් මෙයටවත් යහපත් ප්‍රතිචාරයක් ලැබේ යැයි දේශීිය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමයෙහි තමන් ඇතුළු පිරිස බලා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


පාර්සි නාට්‍ය කලාව ගැන ග්‍රන්ථයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල සහ ජනසන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය සුනේත්‍රා කංකානම්ගේ විසින් රචිත පාර්සි නාට්‍ය කලාව නමැති පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘතිය මෙම මස 23 වැනිදා සවස කොළඹ ශ්‍රී ලංකා ජාතික පුස්ථකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණගාරයේදී එළිදැක්වේ. මෙය පාර්සි නාට්‍ය කලාව සම්බන්ධයෙන් සිංහල සාහිත්‍යයට එකතුවන ප්‍රථම කෘතියයි. මෙම උත්සවයෙහි මුලසුන හොබවනුයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසිනි. ජැක්සන් ඇන්තනි සහ නිශ්ශංක දිද්දෙණිය මෙහිදී කෙටි දෙසුම් පවත්වති. පාර්සි නාට්‍ය කලාව කෘතිය සුරස ප්‍රකාශනයකි.