වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා ලේඛක සුනිල් ලීනස් අසරණයි

සිනමා ලේඛක සුනිල් ලීනස් අසරණයි

අනතුරකින් ඔත්පල වෙලා ජීවත්වීමට ඔබේ පිහිට පතයි

70 දශකයේ සිට සිනමා පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කරන සුනිල් ලීනස් මීට මාස දෙකකට පමණ පෙර සිදු වූ හදිසි අනතුරකින් බරපතළ ලෙස ඔත්පල වී මේ වනවිට මඩපාත, ජඹුරැලිය, ගුණසේකර වත්ත, අංක 7/3 දරන නිවසේ ගිලන් ඇඳක අසරණව වැතිර සිටියි. සිදු වූ අනතුරින් උකුළු ඇටය සහ දකුණු අත බිඳීමෙන් සුනිල්ට ගිලන් ඇඳෙන් නැඟිටීමට පවා නොහැකි වී ඇති අතර රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමේදී මෙන්ම ජීවත්වීමේදී ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදු වී තිබේ.

ඔහුගේ අතින් නිම වූ කලා කෘති අතර 'අහස් මාළිගා' (කෙටි චිත්‍රපටය) 'සහන් එළියක්' සහ 'කං කං බූරු' (නාට්‍ය), 'චලන රේඛා' - 'මංජුසා' හා 'කලා' (සිනමා සඟරා) 'ඉරක් සේ බැස යන්න' සහ 'කම්කරුවෙකුගේ නිවාඩු දවස' (කවි) 'සිනේලංකා' සහ 'සිංහල සිනමාව' (චිත්‍රපට වාර්ෂික ග්‍රන්ථ) 'සිංහල චිත්‍රපට හා මුල් යුගයේ පුරෝගාමියෝ' සහ 'විජය කුමාරතුංග සිනමාව සහ දේශපාලනය' වැනි කෘති සුනිල් ලීනස්ගේ දායකත්වය ලැබූ නිර්මාණ කෘති අතර වෙයි.

ඉතා දුක සේ නොයෙකුත් කම්කටොලුවලට මුහුණ දෙමින් සිය පෞද්ගලික වියදමින් සිනමාව පිළිබඳ පොතපත ලියා පළ කරමින් සිංහල සිනමා ක්ෂේත්‍රයට අගනා මෙහෙවරක් ඉටු කරමින් සිටි සුනිල් මෙලෙස රෝගාතුර වීම හේතුවෙන් ඔහු බොහෝ අසරණ විී සිටින අතර ඉදිරියට තව මාස කිහිපයක් ගිලන් ඇඳේම වැතිර ප්‍රතිකාර ලැබීමට සිදු වී ඇති හෙයින් ඔබට හැකි පමණින් ඔබ ලබාදෙන යම් ආධාර මුදලක් ඇත්නම් පහත දැක්වෙන ඔහුගේ 100710428477 යන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අංකයට යොමු කළ හැකිය. ඔහු පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට 0112707067 හා 0774708708 යන දුරකථන අංකවලට අමතන්න.


කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළට අයැදුම්පත් භාරගැනේ

2017 වසරේ සයවැනි වරටත් පැවැත්වීමට නියමිත කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළට අයදුම්පත් භාරගනු ලැබේ. ඒ සඳහා කෙටි නාට්‍ය හා දිගු නාට්‍ය අංශවලට අයැදුම්පත් භාරගැනීම මේ දිනවල සිදුවෙයි. එහිදී කෙටි නාට්‍ය සඳහා 20 – 30 අතරත්, දිගු නාට්‍ය සඳහා 45 -90ත් අතර ධාවන කාලය ඇතුළත සිංහල/ දමිළ / ඉංග්‍රීසි භාෂාවලින් අවම දෙබස් සහිත හෝ දෙබස් රහිත නිර්මාණවල නාට්‍ය පිටපත් හෝ සංකල්ප පිටපත් සමඟ මේ සඳහා ඉංග්‍රීසියෙන් නිමවන ලද අයැදුම්පතක් එවිය යුතුය. ඉන්ටර් ඇක්ට් ආර්ට් බ්ලැක් බොක්ස් රඟහල, 295, යූ.ඊ. පෙරේරා මාවත, ඔබේසේකරපුර, රාජගිරිය යන ලිපිනයට ඒ අයැදුම්පත් එවිය යුතු අතර ඒ මේ මස 30 වැනිදාට පෙරයි. වැඩි විස්තර ජයලත් - 0758521126 හා සෆීර් - 0773129749 යන දුරකථන අංකවලින් විමසිය හැකිය.


රොෂාන්ගේ සයවැනි ගීතය

වැව් ඉවුරේ ඉවුරු කොනේ මා තනි වී උන්නා
ගං දියවැල් හිමින් ගලන හැටි සවනට වැටුණා
ඒ අතරට නුඹ විත් මට මිහිිරි වදන් කීවා
මිහිරියාව දැක ගන්නට මා මදි පින් කෙරුවා

තම ආදරවන්තියව දැක ගැනීමට පින් නොකළ තරුණයකුගේ සිතුවිලි සමුදායක් රැගත් මෙම ගීතය ගයන්නේ රොෂාන් අනුරුද්ධ. මේ දිනවල ඇසෙන ඒකාකාරී ගීත අතරේ මෙය වෙනමම ආරකට නිර්මාණය වී තිබෙනවා. කලක් ගායකයකු ලෙස කටයුතු කරන රොෂාන්ගේ හයවැනි ගීතයයි වැව් ඉවුරේ. එය මැණික් ජයසිංහගේ පද රචනයක්. සංගීතය ලස්සන ජයසේකරගෙන්. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් වැව් ඉවුරේ නිර්මාණය කොට තිබීම විශේෂත්වයක්. රොෂාන්ගේ පළමු ගීතය පැතූ සිහිනේ. ඊට පසුව ඔය රුවටම වසඟ වෙලා, ආදර අම්මෙ තාත්තේ, වීදි දරුවකුගේ කඳුළක් ආදී ගීත ඔහු විසින් ගයනු ලැබුවා. ඉන් පැතු සිහිනේ, ආදර අම්මේ තාත්තේ ගීතයන් රොෂාන්ව ජනප්‍රිය කළා. මේ දිනවල වැව් ඉවුරේ ගුවන් විදුලි මාධ්‍ය කිහිපයකින්ම ඇසෙන ගීතයක් බවට පත් වෙලා.

රොෂාන්ගේ ගම කොටිකාවත්ත. ඔහු මේ වන විට පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඉඩ ලැබෙන පරිදි දිගටම සංගීත වැඩ කටයුතු කරන්නයි ඔහුගේ අදහස.