වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




මෙවැනි උසස් සම්මානයක් මට ලැබේ යැයි හීනෙකින්වත් හිතුවේ නැහැ

මෙවැනි උසස් සම්මානයක් මට ලැබේ යැයි හීනෙකින්වත් හිතුවේ නැහැ

අමා විජේසේකර

හෙළ සිනමා අඹරේ පායා එන නැවුම් තරු කැටයන්ද සරසවියට සුවිශේෂ වෙනවා. සරසවිය නැඟි එන නළු නිළි සම්මාන පෙළ වෙන්වෙන්නේ ඔවුන් වෙනුවෙන්. මෙලෙසින් පෙළ ගැසෙන සරසවිය නැඟී එන නළු නිළි ගොන්නෙහි 1998 වසරේදී නැඟී එන නිළිය ලෙසින් සම්මානනීය වූයේ, අමා විජේසේකර. මව්පිය උරුමයෙන් කලාවට පිවිසි අමා රංගනයේ ‘අ’ යනු ‘ආ’ යනු කියන්නේ වයස අවුරුදු පහේදීයි. එදා සිට තම හැකියාවෙන් මෙරට ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය සේම සිනමාව තුළත් තම රංගන ප්‍රතිභාවෙන් ආලෝකමත් කරන්නට උරදෙමින් ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘ලොකු දුව‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අමා, ‘දුවට මවක මිස’, ‘ඉරැස්මා’, ‘හෝගානා පොකුණ’ සහ ‘පත්තිනි’ වැනි සිනමා නිර්මාණ හැඩ කරන්නට දායක වුණා. සිනමා තරුවක ලෙස සම්මානනීය කරවමින් සරසවිය නැඟි එන නිළි සම්මානය ඇය වෙත පිදුණේ ‘දුවට මවක මිස’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.

අමා ඔබේ රංගන ජීවිතයේ ආරම්භය ගැන සිහිපත් කළොත්?

මම මුලින්ම දායක වුණේ රූපවාහිනියෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍යයකට. වෙසක් උත්සවය වෙනුවෙන් ටයිටස් තොටවත්ත මහත්තයා ‘මනෝ පුබ්බංගමා ධම්මා’ නමින් කළ ටෙලි නාට්‍යයට තමයි මම මගේ ප්‍රථම රංගන දායකත්වය ලබා දුන්නේ. එතකොට මගේ වයස අවුරුදු පහක් විතර ඇති. එහි රාධා ද මෙල් මහත්මිය, ලූෂන් බුලත්සිංහල මහත්මා වැනි ප්‍රවීණයන් සමඟින් මමත් රංගනයෙන් දායක වුණා. මට සිනමා රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබුණේ වයස අවුරුදු දහතුනේදී දාහතරේදී විතර. මගේ ප්‍රථම රංගනය වුණේ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘ලොකු දුව‘ චිත්‍රපටයේ රංගනය යි.

රංගනයට පිවිසෙනවිට සම්මාන බලාපොරොත්තුවක් හිතේ තිබුණාද?

අපෝ එහෙම අදහසක් නම් තිබුණේ නැහැ. මම කවදාවත් සම්මාන බලාගෙන රඟපෑවේ නැහැ. ඇත්තටම මුල් කාලයේදී හීනෙකවත් එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. 1998 වසරේදී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘දුවට මවක මිස’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මට සරසවිය නැඟි එන නිළියට හිමි සම්මානය ලැබුණා. සරසවිය සම්මානයක් හිමිවීම ගැන තියෙන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්. අපේ රටේ සිනමාව වෙනුවෙන් වෙන් වුණු සුවිශේෂිම ඇගයීම වෙන්නේ සරසවිය සම්මාන උලෙළයි. එහිදි සම්මානයක් ලැබීම කලාකරුවෙකු ලබන භාග්‍යයක්. සම්මානයක් ගැන කිසිම බලාපොරොත්තුවක් තියා‍ගෙන රඟපෑවේ නැති නිසා ඒ ඇගයීම මට ලොකු දෙයක්. ඒක ඉදිරි කටයුතුවලට ලොකු ධෛර්යයක් වුණා. හැබැයි සම්මානයක් ලබන්නත් දක්ෂකම වගේම පොඩි වාසනා ගුණයකුත් තියෙන්න ඕනි කියලා මම හිතනවා.

හෙළයේ මහා කිවිඳියගේ අධ්‍යක්ෂණය යටතේ රඟපාන්න අවස්ථාව ලැබීම ගැන මොකද හිතෙන්නේ?

මට මුලින්ම එතුමිය සමඟින් කටයුතු කරන්න ලැබුණේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේදීයි. එතුමිය අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි’ ටෙලි නාට්‍යයේ කුසුම්ගේ බාල වියට පණ දුන්නේ මම. ඊට පසුව එතුමිය අධ්‍යක්ෂණය කළ ‘ලොකු දුව‘ චිත්‍රපටයේ ගීතා කුමාරසිංහ මහත්මියගේ පොඩි නංගිගේ චරිතයට තෝරා ගත්තා. මගේ ප්‍රථම සිනමා රංගනය ‍ලෙසින් එය විශේෂ වෙනවා. සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ ‘දුවට මවක මිස’ චිත්‍රපටයේ රංගනයට දායකවෙන කොට මගේ වයස අවුරුදු දහසයක් විතර ඇති. ඒක මගේ දෙවැනි සිනමා රංගනය යි.

සුමිත්‍රා පීරිස් මහත්මිය එක්ක වැඩ කරන්න හරිම පහසුයි. ඒ හැම මොහොතම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාත් ළඟින්ම හිටියා. එතුමිය කවදාවත් රංගනයේදී බලපෑම් කරන්නේ නැහැ. ඒ මං කරන රංගනයට ඔවුන් කැමැති වෙන්න ඇති. ඒ වගේම බොහොම සාමාන්‍ය විදියට නළු නිළියන් රංගනයේ යෙදවීම මා ඔවුන් තුළින් දකිනා විශේෂ ලක්ෂණයක්. යම් අවස්ථාවක අපි ඔවුන්ට අවශ්‍ය විදියටම රංගනයේ නොයෙදුන අවස්ථාවල විතරක් “පුතා මේක මේ විදියට කරන්න” කියලා කියනවා. ඒ හරිම පහසුවක්. මම මගේ රංගනය බොහොම සරළ තැනකින් කරන්නේ. ඒ ක්‍රමයට ඔවුන් කැමැතියි.

එහිදී යශෝධා විමලධර්මගේ නැගනියගේ චරිතයට පණ පොවන්න තමයි මට පැවරුණේ. ඒ චරිතය බොහොම කෙළිලොල් හැම දෙයක් ගැනම බලාගෙන සිටින චරිතයක්. ඒක ඒ වෙනකොට මගේ වයසම වගේ නිරූපණය කරන චරිතයක් වුණා. නිරූපණය කළ කාලය තමයි වෙනස් වුණේ. ඒ නිසා ඇඳුම් පැලඳුම් වෙනස් වුණා. සිතුම් පැතුම් සාමාන්‍ය ජීවිතයේ වගේම නිසා රංගනයේ ලොකු බරපතළකමක් දැනුණේ නැහැ. මට ඒ චරිතය දැනෙන විදියට තමයි රංගනයේ නිරත වුණේ. අවංකවම මට දැනෙන දේ කළා. ඇත්තටම මට නොදැනුවත්වම නිර්මාණයට අවශ්‍ය රංගනය ඔවුන් මගෙන් අරගෙන තිබුණා.

‘දුවට මවක මිස’ චිත්‍රපටයේදී ඔබට රංගන ක්ෂේත්‍රයේ දැවැන්තයන් රැසක්ම හමු වෙනවා නේද?

ඒක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ පුංචි කාලයේ පටන් ගත්තොත් ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත රැසක් ඇසුරේ තමයි ඒ රංගනයන් ඉදිරිපත් කළේ. මගේ මුල්ම රංගනය පටන් ගත්තේ ටයිටස් තොටවත්ත මහත්මයා යටතේදීයි. වෙස්සන්තර නාට්‍යයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් යටතේ කටයුතු කරන්න වාසනාව ලැබුණා. ‍සිනමාවේදී අපේ රටේ මහා සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් වගේම ආචාර්ය සුමිත්‍ර පීරිස් මහත්මියත් විශේෂ වෙනවා. ‘දුවට මවක මිස’ චිත්‍රපටයේදීත් ටෝනි රණසිංහ, සනත් ගුණතිලක, ශ්‍රියාණි අමරසේන, මැණිකේ අත්තනායක, වසන්ති චතුරාණි, ඩබ්ලිව් ජයසිරි වැනි ප්‍රවීණයන් සමඟින් කටයුතු කරන්න ලැබුණා. ඒ වගේම සංගීතා යශෝධා අක්කලාත් ඉතාම සුහදව මගේ රංගන දායකත්වයට සහයෝගය දුන්නා. ඒ අතින් බලනකොට මට ලොකු වාසනා ගුණයක් තියෙනවා. මොකද යුග කිහිපයකම ප්‍රවීණයන් සමඟින් රඟපාන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.

සරසවිය සම්මානය සමඟින් රංගන ක්ෂේත්‍රයේ ඉදිරිය දෙස බැලුවේ කොහොමද?

මෙහෙමයි මං කවදාවත් දිගටම රඟපාන්න ඕනේ කියන ආසාවෙන් හිටිය කෙනෙක් නෙවෙයි. මං මගේ රංගන දායකත්වය ලබා දුන්නේ මට ගැලපෙන චරිත ලැබුණු නිර්මාණවලට විතරයි. මගේ තාත්තයි අම්මයි මම රංගනයට පිවිසීම ගැන ලොකු සතුටකින් ඉන්නේ. එහෙම කියලා රංගනයටම කැප වෙන්න කියලා කවදාවත් බල කරලා නැහැ. ඔවුන් මට හැමදාම කිව්වේ හොඳ නිර්මාණවලට දායක වෙන්න කියලා විතරයි.

හැබැයි රංගනයෙන් මං ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. ඒ වගේම රඟපාන්න මං ආසයි. නමුත් ඒ ක්ෂේත්‍රයේ දිගමට සිටිනවා කියන බලාපොරොත්තුව මගේ හිතේ කොතැනකවත් තිබුණේ නැහැ. මගේ වාසනාවට මට හොඳ චරිත ලැබුණා. ඒවා මට පුළුවන් උපරිමයෙන් හොඳට ඉදිරිපත් කළා කියලා මං විශ්වාස කරනවා. මේ හැම දෙයකම සතුට සරසවිය සම්මානය දිහා බලනකොට වැඩි වෙනවා.

ආසාව තිබුණත් තෝරා ගැනීම් නිසා ඔබේ රංගනය සීමා වෙලා නේද ?

මෙහෙමයි, මම කවදාවත් කලාත්මක, වාණිජ කියලා චිත්‍රපට තෝරා ගෙන රඟපාන කෙනෙක් නෙවෙයි. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය යි සිනමාවයි ගත්තොත් මගේ වැඩි කැමැත්ත තියෙන්නේ සිනමාවටයි. මට හොඳ පිටපතක් ලැබුණොත් එහි මගේ චරිතය තුළ යමක් කරන්න හැකියාව තියෙන බව මට හැඟෙනවා නම් මම ඒ චරිතය භාරගෙන ඒ වෙනුවෙන් දායක වෙනවා. හොඳ නිර්මාණයක් බව මගේ හිතට දැනීම තමයි ප්‍රධාන වෙන්නේ. රංගන ක්ෂේත්‍රයේදී වේදිකා රංගනයත් මගේ කලා ජීවිතයේ විශේෂයි. වේදිකා රංගනයට නම් මගේ දායකත්වය දිගටම ලැබෙනවා. වේදිකාවේ මගේ නිර්මාණ කටයුත්තකුත් කරන්න අදහස් කරගෙන ඉන්නවා. මේ දක්වා පැමිණි ගමන ගැන ගොඩක් ලොකු සතුටක් හිතේ තියෙනවා. සිනමා නිර්මාණ ගත්තොත් මා විශාල සංඛ්‍යාවකට දායක වෙලා නැහැ. නමුත් දායක වුණු ඒ චරිත මතක හිටින ආකාරයෙන් කරන්න මම වගබලා ගත්තා. ඒ වෙනුවෙන් සරසවිය සම්මානය ඇතුළුව ලද අනෙකුත් ඇගයීම් මට ලොකු ශක්තියක්.