වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවේ චිත්‍රපටයක රඟපෑමෙන් ලොව කබල්ම නළුවා ලෙස සම්මානය දිනූ අමෙරිකාවේ අලුත් ජනපති

ලංකාවේ චිත්‍රපටයක රඟපෑමෙන් ලොව කබල්ම නළුවා ලෙස සම්මානය දිනූ අමෙරිකාවේ අලුත් ජනපති

පසුගිය 09 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරදවා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළ බව ලොවම දන්නා කරුණකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සාමාන්‍ය ජනතාවට කෙසේ වෙතත් අමෙරිකානු ජනමාධ්‍ය මෙන්ම හොලිවුඩයද මවිත කළ ජයග්‍රහණයකි. ධනවත් ජර්මන් ජාතික පියෙකුට සහ ස්කොට්ලන්ත ජාතික මවකට දාව නිව්යෝර්ක් නගරයේදී උපද ලද ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ආර්ථික විද්‍යා විෂයෙන් සිය ප්‍රථම උපාධිය හිමිකර ගත්තේය.

ධනවත් ව්‍යාපාරිකයකු ලෙසින් ප්‍රකට ට්‍රම්ප් පිළිබඳ තවත් සුවිශේෂි කරුණක් නම් ඔහු හොලිවුඩ් චිත්‍රපට සහ රූපවාහිනි කතාමාලා සහ රූපවාහිනි වැඩසටහන් රැසකට දායක වූ නළුවකු වීමය. නමුත් අද ඔහු අමෙරිකානු ජනපති ධූරය දිනා ඇත. අමෙරිකානු ජනපතිවරුන්ගේ චරිතයන්ද බොහෝ හොලිවුඩ් චිත්‍රපට තුළින් දැක ගන්නට ලැබී ඇත. ඒ අතරේ ඉදිරියෙන්ම සිටින්නේ ඒබ්‍රහම් ලින්කන්ය. ලින්කන් චරිතය හොලිවුඩ් චිත්‍රපට 130ට පමණ රඟදක්වා ඇත. ජෝර්ජ් වොෂින්ටන්, ග්‍රාන්ට්, තෝමස් ජෙෆර්සන්, රිචඩ් නික්සන්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, තියඩෝර් රූස්වෙල්ට් ආදීන්ද ඒ අතරේ පෙරමුණේ සිටින අනෙකුත් ජනපතිවරුන්වේ. පසුගිය කාලයේ හිටපු අමෙරිකානු ජනපති බරක් ඔබාමාගේ චරිත කතාවෙන් කොටසක්ද සිනමාවට නැඟුණි. හොලිවුඩ් නළුවෙකුව සිට අමෙරිකානු ජනපති ධූරයට පත් පළමු වැන්නා වන්නේ රොනල්ඩ් රේගන්ය. හොලිවුඩ් නළු‍වකු ලෙසින් ඔහුහට වසර 27ක ඉතිහාසයක් ඇත.

නමුත් ට්‍රම්ප්ගේ කතාව ඊට වඩා ටිකක් වෙනස් වූවකි. එම නිර්මාණ සඳහා ඔහු රංගනයෙන් දායක වූ සෑම අවස්ථාවකම පෙනී සිටියේ තමන් (ඩොනල්ඩ් ට්‍රම්ප්) ලෙසින්මය. ඔහුගේ ප්‍රථම රංගනය බැඳී තිබෙන්නේ ශ්‍රී ලංකාව සමඟිනි. ඔහු සිය ප්‍රථම රංගනය ඉදිරිපත් කළ 1989 වසරේදී තිරගත වූ ටෙඩ් රොබ්සන් අධ්‍යක්ෂණය කළ Ghosts Can Do It චිත්‍රපටය රූගත කෙරුණේ ශ්‍රී ලංකාවේදීය. නිෂ්පාදන දායකත්වයෙන් සම්බන්ධ වූයේ චන්ද්‍රන් රත්නම්ය. කලා අධ්‍යක්ෂණයට එරල් කෙලී දායක විය. ඒ සඳහා හෙන්රි ජයසේනයන් ඇතුළු ලාංකික නළු නිළි පිරිසක්ද රංගනයෙන් දායක වූහ. විශේෂත්වය එය නොවේ. අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ධූරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවේ චිත්‍රපටයක රඟපා අමෙරිකාවේදී කබල්ම සහය නළුවා ලෙසින් සම්මානයට පාත්‍රවීමයි. ඒ ගෝල්ඩන් රාස්ප්බෙරි සම්මාන උලෙළේදීය. එහිදී ඔහුට පිරිනැමුණේ අසාර්ථකම සහය නළුවාට හිමි සම්මානය යි.

Home Alone 2: Lost in New York (1992), Across the Sea of Time (1995), The Little Rascals (1995), Eddie (1996), The Associate, Celebrity (1998), Zoolander (2001), Two Weeks Notice (2002), Wall Street Money Never Sleeps (2015) වැනි චිත්‍රපට රැසකට ට්‍රම්ප් සිය චරිතය නිරූපණය කරමින් දායක වී ඇත. ට්‍රම්ප්ගේ දායකත්වය ලද චිත්‍රපට බොහොමයක් හාස්‍යය තේමාකර ගත් සිනමා නිර්මාණයන්වීමද විශේෂත්වයකි. ඔහුගේ රංගනයන් අතරේ රූපවාහිනි කතා මාලාවන්ද විශේෂ වේ. The Jeffersors, The Nanny Suddenly Susan n  ද ඒ අතර වේ. එමෙන්ම Saturday Night Live වැඩසටහනද පසුගිය වසර දක්වාම ට්‍රම්ප්ගේ දායකත්වය ලද්දකි. ට්‍රම්ප් යනු මල්ලවපොර රසිකයෙකි. ඒ වෙනුවෙන්ද ඔහුගේ අවධානය යොමු කරන අතරේ Miss USA, Miss Univers, Miss Teen USA තරග පැවැත්වීමේ කොටස් හිමිකාරීත්වයද දරයි. ඔහු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීකඩයකු ද බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

මෙවර ට්‍රම්ප්ගේ ජනපති ජයග්‍රහණය අපේක්ෂාවෙන් ඔහුට සහයෝගය දැක්වූ කලාකරුවන් අතර ක්ලින්ට් ඊස්ට්වුඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, බෲස් විලිස්, චාලි ෂීන්, සාරා පේලින්, රොබට් ඩේව්, ගෙරී බිසී ඇතුළු පිරිසක් වේ. ඔවුන් ප්‍රසිද්ධියේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් තම අදහස් දක්වමින් කටයුතු කරනු දක්න්නට ලැබුණි. සුපිරි බොක්සිං ක්‍රීඩක මයික් ටයිසන්ද මේ අතර වේ. මේ වනවිට හැත්තෑවැනි වියේ පසුවන ජනපති ට්‍රම්ප් දරුවන් පස්දෙනෙකුගේ පියෙකි. තෙවරක් විවාහ දිවියට පත් ඔහුගේ බිරින්දෑවරුන් තිදෙනාම නිළියන්, නිරූපිකාවන් වීමද විශේෂය. ට්‍රම්ප් හොලිවුඩයේ ලබා ගැනීමට අසීරු දෙයක් යැයි කියවෙන හොලිවුඩ් තරුවකටද හිමිකම් කියන්නෙකි.