වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

ගුවන් යානයෙන් තරු විසිවෙයි

පසුගිය දවසක බොලිවුඩ් තරු කිහිපයක් ගුවන් යානාවලින් එළියට ඇද දැමූ බව ආරංචි වුණා. කත්‍රිනා කයිෆ්ට සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා ගුවන් ගමනකදී ගුවන් යානයෙන් ඉවත් කළ බව ආරංචියි. දිල්ලි සිට මුම්බායි දක්වා ගුවන් ගමනකදී එයාර් ඉන්දියා සමාගමේ කාර්ය මණ්ඩලය විසින් මේ දෙදෙනාව ගුවන්යානයෙන් ඉවත්කර තිබෙන්නේ රසික රසිකාවන් සමඟින්  Bhar bar Dekho චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු කිරීම හේතුවෙන්.

ඒ විතරක් නෙවෙයි ප්‍රීති සින්ටාටත් පසුගිය දවසක ගුවන් ගමනක් වැරදුණා. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හමුවකට සහභාගි වෙන්න යන ගමනකදී තමයි මේ ප්‍රීති මේ සිදුවීමට මුහුණු දීලා තියෙන්නේ. ජෙට් එයාර්වේස් ගුවන් යානයකින් මුම්බායි සිට නවදිල්ලි දක්වා යන ගමනක් වෙනුවෙන් ඇය සූදානම්ව ගුවන්තොටුපලට පැමිණසිටියත් සිදු වූ ප්‍රමාදයක් නිසා ඇයට ගුවන්යානයට ගොඩවීමට අවස්ථාව ලබාදී නැහැ.

ප්‍රීතිට නම් මේ සිදුවීමට ගොඩක් කේන්ති ගිහින්. ඒ ගැන සමාජ ජාලා වෙබ් අඩවිවල ඇය අදහස් පළ කළත් ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් මුම්බායි මිරර් වෙත පවසා තිබුණේ, එක් මඟියෙක් ගුවන් යානයට නඟින්න ලබාදී කාලය ඇතුළත එයට ගොඩ නොවූ නිසා ඊළඟ ගුවන්යානයේ ඒ වෙනුවෙන් ඉඩක් ලබාදුන් බවයි. හැබැයි ප්‍රීති නම් කිව්වේ පාර්සලයක් ලැබීමේ ප්‍රමාදය නිසා ඇයට මේ අසාධාරණය සිදු වූ බවයි.


ඛාන් යුවළට විසිපහයි

ශාරුක් ගෞරි කියන්නේ බොලිවුඩයේ සිටින බොහොම ආදරණීය යුවළක්. මේ ආදරණීය යුවළ සිය විසිපස් වැනි විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් සහභාගී වී තියෙන්නේ ඔවුන්ගේ ළඟම හිත මිතුරන්. මේ වෙනුවෙන් ශාරුක් සිය නවතම චිත්‍රපටය The Ring රූගත කිරීම් පවා නවත්වලා.

ශාරුක්, ගෞරි සිය බාලම පුතු අබ්රාම් සමඟින් ස්පාඤ්ඤයේදී තමයි විසිපස් වැනි විවාහ සැමරුම වෙනුවෙන් සාදය පවත්වා තියෙන්නේ.

1991 වසරේදී ශාරුක් - ගෞරි විවාහ උත්සවය පැවැත් වුණේ සාම්ප්‍රදායික හින්දු චාරිත්‍රානූකූලවයි. 1997 වසරේදී ආර්යන් පුතුත් 2000 වසරේදී සුහානා දියණියත් 2013 වසරේදී අබ්රාම් පුතුත් ශාරුක් ගෞරි කැදැල්ලට එක් වුණා.


කරීනා මව් පදවිය අභියස

කරීනා කපූර් මේ දිනවල සිනමාවෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ. ඒ ඇය මව් පදවිය අපේක්ෂාවෙන් සිටින නිසා. අවසන්වරට ඇයගේ දායකත්වය ලැබුණේ ‘Udta Punjab’ චිත්‍රපටයට. කරීනා - සයිෆ් විවාහය සිදු වුණේ 2012 වසරේදීයි. පසුගිය දවසක කරීනාව මුම්බායි ගුවන්තොටුපලේදී දකින්න ලැබුණා.

පසුගියදා ඔවුන්ගේ විවාහ දිවියට වසර හතරක් සපිරුණා. ඔවුන් එය සැමරුවේ සයිෆ්ගේ අලුත් චිත්‍රපටය වන ‘Chef’ දර්ශන තලයේදීයි. ලබන දෙසැම්බර් මාසයේදී ඔවුන් සිය දරුවා බලාපොරොත්තුවෙන් සිටිනවා. කපූර් පවුල වගේම ඛාන් පවුලත් අලුත් සාමාජිකයා පිළිගන්න බොහොම ආසාවෙන් බලාගෙන ඉන්න බවත් ආරංචියි.


බිඳී ගිය මිතුදම

කරන් ජොහාර්ගේ පළමු සිනමා නිර්මාණය වූ Kuch Kuch Hotha Hai චිත්‍රපටයට දැන් අවුරුදු දහඅටක් ගත වෙලා. ශාරුක් ඛාන්, කාජල් සමඟින් රාණි මුඛර්ජි ඒ සඳහා දායක වුණා. ආදරය යනු මිත්‍රත්වයයි යන සංකල්පය ගෙන ආ සුන්දර සිනමා නිර්මාණයක් ලෙසින් Kuch Kuch Hotha Hai චිත්‍රපටය ජනාදරයට පාත්‍ර වුණා.

ගත වූ වසර දහඅට වෙනුවෙන් කරන් පසුගියදා සුබ පැතුමක් අන්තර්ජාලයට එක් කළා. “මගේ සිනමා සිහිනය සැබෑ කළේ එය යි” යන්න එහි සඳහන් වුණා. හැබැයි ඒ නම් අතරේ කාජල්ගේ නම නම් තිබුණේ නැහැ. මෑතක සිට මේ දෙදෙනා අතරේ හිත නොහොඳකමක් තියෙන බව තමයි කියවෙන්නේ. කලින් බොහොම හොඳීන් මිතුරුව සිටියත් කලකට ඉහතදී මේ දෙදෙන් දුරස් වෙලා. “ඇත්තටම ඒක තිත්ත දෙයක්” ඒ ගැන විමසන විට කරන් පවසනවා.

ඇතැම් අය පවසන්නේ Shivaai  චිත්‍රපටය හා Ae Dil Hai Mushkil චිත්‍රපටය නිසා කියලත් පවසනවා. ඇත්ත හේතුව ඊට වඩා වෙනස් කියලා තවත් අය පවසනවා. සම්මුඛ සාකච්ඡාවකදී මේ පිළිබඳ අජේගෙන් විමසූ විට පවසා තිබුණේ එය පෞද්ගලික දෙයක් මිස වෘත්තීය දෙයක් නොවන බවයි. උත්සව අවස්ථාවකදී කරන් කාජල් ගැන යම් ප්‍රකාශයක් කරලා. අජේ‍ට ඒක ආරංචි වෙලා කරන්ට හොඳටම දොස් කියලා. කණ පිරෙන්න කිව්වා කියලා තමයි ආරංචි.


දැක්කොත් පද්මාවතී

සන්ජේ ලීලා බන්සාලිගේ අලුත්ම චිත්‍රපටය Padmavati  ගැන කාගේත් අවධානය යොමු වෙලා. මේ ගැන පැතිරෙන කටකතා නිසා නිවැරදි යමක් පවසන්න ෂහීඩ් කපූර් තීරණය කරලා. ඔහුත් එහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. Padmavati චිත්‍රපටයට රංගනයට ෂහිඩ් සමඟින් දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං දායක වෙනවා.

“බොහෝ දෙනෙක් කියන්නේ මේ චිත්‍රපටය වීරයන් දෙදෙනෙකුගේ චිත්‍රපටයක් කියලයි. ‘Udta Punjab’  චිත්‍රපටයෙත් වීරයන් දෙදෙනෙකු සහ වීරවරියන් දෙදෙනෙකු සිටියා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුනක් තියෙනවා. මේක අපි තුන් දෙනාටම හොඳ අවස්ථාවක්. දීපිකාටත් රන්වීර්ටත් ලැබිලා තියෙන්නේ හොඳ චරිත. මට ලැබුණෙත් අගනාම චරිතයක්. ඒනිසා මේ චරිතය වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙනවා” ෂහීඩ් පැවසුවේ එලෙසින්.

‘Udta Punjab’  චිත්‍රපටයේදී දීපිකා චිතෝර්හි පද්මිණි රැජන ලෙසත්, රන්වීර් කිල්ජි වංශයේ දෙවන සුල්තාන් අලවුදීන් කිල්ජි ලෙසත් ෂහීඩ් රණා රාවල් රතන් සිං ලෙසත් චරිත නිරූපණය කරනවා. පද්මිණි රැජන ලබා ගැනීම වෙනුවෙන් රාජස්ථානයේ චිතෝර්හි සිදුවන හමුදා මෙහෙයුමක් පිළිබඳ කතාවක් මෙහි කියවෙනවා. මෙම මෙහෙයුම මෙහෙයවන්නේ අලවුදීන් කිල්ජි විසින්.