වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




ඉහළ විචාර ප්‍රතිචාර ලැබූ නවතම ගොපලු චිත්‍රපටය

ඉහළ විචාර ප්‍රතිචාර ලැබූ නවතම ගොපලු චිත්‍රපටය

‘වෙස්ටර්න්’ හෙවත් ‘පැරණි බටහිර අමෙරිකානු’ ප්‍රභේදයට අයත්, නැතහොත් ‘කවුබෝයි’ චරිත වටා නිර්මාණය වුණු චිත්‍රපටවල ඉතිහාසය වසර 1903 තරම් ඈතට දිව යයි. ‘ද ග්‍රේට්ට්‍රෙන් රොබරි’ නම් වූ පළමු කවුබෝයි චිත්‍රපටය නිහඬ චිත්‍රපටයක් වූ අතර, විනාඩි 12 ක ධාවන කාලයකින් යුක්ත විය. එදා මෙදා තුර මෙම ගනයේ චිත්‍රපට අති විශාල සංඛ්‍යාවක් තිරගත වී ඇති අතර, ද ට්‍රෙෂර් ඔෆ් ද සිඑරා මාද්රේ (1948), ද ගුඩ්, ද බෑඩ් ඇන්ඩ් දි අගලි (1966), හයි නූන් (1953), සචර්ස් (1956), ද වයිල්ඩ් බන්ච් (1969), වන්ස් අපොන් අ ටයිම් ඉන් ද වෙස්ට් (1968), (2010), ‘අ ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස් (1964)’, යන ඒවා ඉහළින්ම වැජඹෙන ඒවා බවට බොහෝ විචාරකයින් අදහස් දක්වා ඇත.

පසුගිය ඔක්තෝබර් 21 වැනිදා ඊට ලොව පුරා තිරගත වන ‘ඉන් අ වැලී ඔෆ් වයලන්ස්’ ඉහළ විචාරක ප්‍රතිචාර ලත් ඉහත ප්‍රභේදයේ චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ එන ‘පෝල්’ නම් ප්‍රධාන සුනඛයාද සමඟ යම් ගමනාන්තයක් අරමුණු කරගෙන යන අවි දැරූ අසරුවෙකි. මඟදී තවත් අසරුවකුගේ මං පැහැරීමකට මුහුණ දෙන පෝල් ඔහුව පරාජය කර ‘ඩේන්ටන්’ නම් ගොපලු නගරය දෙපස ගොඩනැගිලි අතරින් වැටී ඇති මාවත හරහා ගමන් අරඹයි. මඟදී ගිලී නම් නියෝජ්‍ය ෂෙරීෆ් හා ගැටුමකට මැදිවන ඔහු අසරුවා ගැටගසා බීම හලකට පිය නඟයි. එහි සිටින පුද්ගලයින් ඔහුව එතරම් මායිම් නොකරයි. මේ මෙම ආකාරයේ චිත්‍රපටවල දැක්වෙන සුලබ රූපරාමු පෙළකි. ගිලී හා සිදුවන ගැටුම ආරංචි වන ඔහුගේ පියා වන ෂෙරිෆ් පෝල් හමුවී නගරයෙන් බැහැර වන ලෙස තර්ජනය කරයි. කෙසේ නමුත් එදා රැයෙදී ගිලී හා මර පිරිසක් පෝල්ගෙ සුනඛයා මරා දමා පෝල්ව හෙළකින් පහතට ඇද දමති. නොමැරී බේරෙන පෝල් සිය ආදරණීය සහචරයා මරා දැමූ සාහසිකයින්ගෙන් පළිගැනීමට අරමුණු කර ගනියි. මින් පසු පෙළ ගැසෙන රූපරාමු පෙළ කුඩා යුද්ධයක ස්වරූපය ගනියි. ෂෙරීෆ්, ගිලී සහ සාහසිකයින් සමඟ සටන් කරන පෝල් හට උදවු කිරීමට එක් තරුණියක් ක්‍රියා කරයි. ඉහත සඳහන් වූ පරිදි මේ සියල්ල මේ ගණයේ චිත්‍රපටයන්හි ඇති සුලබ දසුන් වන නමුත්, මෙම චිත්‍රපටය මේ සියල්ල ප්‍රකාශ කරන ආකාරයත්, එහි එන චරිත, රඟ දක්වන රංගන ශිල්පීනුත් උසස් තත්ත්වයේ පවතින බව විචාරක අදහසයි.

සම්මානලාභී තරුණ අධ්‍යක්ෂවරයකු වන ටයි වෙස්ට් රචනා කොට අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය, ජේසන් බ්ලම් ඇතුළු නිෂ්පාදකවරුන් තිදෙනෙකුගේ නිෂ්පාදනයකි. ප්‍රවීණ නළු ඊතන් හෝක් (බිෆෝර් සන්සෙට්, සිනිස්ටර්), පෝල් ගේ චරිතයට පණ පොවන අතර ගෝල්ඩන් ග්ලෝබ් සම්මානලාභී ප්‍රවීන නළු ජෝන් ට්‍රැවෝල්ටා (ගෙට් ශෝර්ටි, ෆේස් ඕෆ්, ස්වෝර්ඩ් ෆිෂ්) ෂෙරීෆ් ක්ලයිඩ් මාටින් ගේ චරිතයට පණ පොවයි. ටරිසා ෆාමිගා, ජේම්ස් රන්සොම්, සහ කැරන් ගිලන් සෙසු චරිතයන්ද දායක වන රංගන ශිල්පීහු වෙති. විනාඩි 104 ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටය IMDB වෙබ් අඩවියේ 6/10 ක්ද රෝටන් ටෝමාටෝස් හි 7.6/10 ක් ද ලබා ඇති මුත් මේ වන විට ඇමෙරිකානු ඩොලර් 60,000 ක පමණ ඉතා කුඩා ආදායමක් වාර්තා කර ඇත.