වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




අසෝකා සිනමාහලේදී සරසවිය කර්තෘවීමට සිහින දුටුවෙමි

අසෝකා සිනමාහලේදී සරසවිය කර්තෘවීමට සිහින දුටුවෙමි

මීට වසර 56 කට ප්‍රථම ග්‍රෑන්ඩ්පාස් හි 'අසෝකා' සිනමාහලේ ගැලරියේ සිට ප්‍රථම සරසවිය සම්මාන උලෙළ නැරඹූ 14 හැවිරිදි මම ඉන් වසර 4 කට (1969) පසු සරසවිය පුවත්පතට බැඳී වසර 20 කට පසු (1989) දී එම පත්‍රයේම ප්‍රධාන කතුවරයා වීමි. 'සරසවිය' පත්‍රයේ කතුවරයාවීමට එකල මම සිහින මැව්වෙමි. ඒ 1989 වසරේ අපේ‍්‍රල් 01 දාය. එතෙක් මම හැකි ලෙස පත්‍රය වෙනුවෙන් අපමණ කැපවීමකින් කටයුතු කළෙමි. අද බොහෝ නවක මාධ්‍යවේදීන්ට මෙන් එදා (1969) පහසුකම්, ක්ෂණික උසස් වීම් එකල නොවීය. මෙය මා පවසන්නේ අහිතකින් නොව කාලයේ හැටි කීමටය. කොපමණ ලිපි ලිව්වත් එදා අපේ නම පවා පළ වූයේ ඉඳහිටය. පළ වුණත් ඉතා කුඩා අකුරෙනි. (10 පොයින්ට්). රාජකාරි වැඩකට පවා කාර්යාලයීය ටෙලිෆෝනයෙන් ඇමතුමක් දීම අසීරු කරුණක් විය. මාත්, කැමරා ශිල්පී බන්දු කොඩිකාරත් හැතැප්ම ගණන් පයින් ගොස් ඇත. අව්වේ පිච්චි, බඩගනිනේ ඇවිද තිබූ වාර අපමණය. එවැනි දුෂ්කරතා වාසනාවකට මෙන් අද මාධ්‍යවේදීන්ට නැත.

ඒ දුෂ්කර ක්‍රියා තුළින් මම අපමණ පන්නරයක් ලැබුවෙමි. 'සරසවිය' පත්‍රයේ ලිපියක් සහිත නම ද පළ වීම තුළින් අසීමිත සතුටක් ලැබුවෙමි. ඉරිදා දිනවල සරසවිය නිකුත් වන දිනට පෙර දින නින්ද නොයයි. පාන්දර අවදිවන මම මිටින් හළ කුරුල්ලෙකු මෙන් කොස්ගස් හන්දියේ වෛත්‍යලිංගම් සුරුට්ටු කඩේට දුවමි. පත්‍රය රැගෙන එය මේසය මත තබා එය කිහිපවරක් කියවන්නෙමි. එකල සරසවියේ වර්ණ පාට නොතිබුණී. අකුරු පමණක් පාටින් බැබලුණි. මැද පිටුවේ ලිපියක් ගිය දාට ප්‍රීතිය දෙගුණ තෙගුණ වෙයි. මා මෙන්ම එකල අප සමඟ සරසවියට ලියූ සෙසු නවකයන්ට ද අත හිත, ගුරුකම් දුන්නේ සරසවියේ ජ්‍යෙෂ්ඨ උප කතුවර ලක්ෂ්මන් වික්‍රමසිංහ - සෝමවීර සේනානායක, නිමල් පෙරේරා අභයවර්ධන පමණි. අපේ නම් 24 පොයින්ට් තරමට ලොකු කර දැම්මේ ඔවන්ය. ඔවුන්ට නොවක් තුති.

1969 ජූලි මාසයේ මට රු, 270 ක දීමනාවක් ලැබුණි. එදා තරම් සතුටු දිනක් මට මතක නැත. මා මිත්‍ර කුලරත්න ආරියවංශ හා කොස්ගස් හන්දියේ මිතුරන් වූ එම්. ඩී. ප්‍රේමරත්න, ජේ. කේ. තුංගසේන හා සුමනපාල ඒකනායක සමඟ වික්‍රමනායක හෝටලයේ උණු උණු මාළු පාන් කෑ අයුරු අද මෙන් මතකය. හෝටලය අයිති වික්‍රමනායක මහතා සරසවියේ පාඨකයකු නිසා ඔහු අපෙන් අය කළේ ද සොච්චම් මුදලකි.

ලැබුණු මුදලින් හෙන්ට්ලි වර්ගයේ කමිස දෙකක් (එකක මිල රුපියල් 35 කි) මිල දී ගෙදරට රුපියල් 100 ක් දුන්න ද ඉතිරි මුදල මුළු මාසයටම සෑහේ. සරසවියේ පත්‍රයේ විශේෂාංග රචකයකු ලෙස පත්‍ර කලා ජීවිතය ඇරඹූ මා, කර්තෘ මාණ්ඩලිකයෙකු, ජ්‍යෙෂ්ඨ උප කතුවරයකු (එකල නියෝජ්‍ය කර්තෘ පදවි නොතිබුණි) 20 වසරක් සේවය කොට සරසවිය කර්තෘවීමට හැකි විය. ඊට කලින් මට කර්තෘවීමට තිබූ ඉඩකඩ ඇහුරුවේ දේශපාලන බලවේග එකල ප්‍රබල වීම නිසාය. අගමැති ප්‍රේමදාස මහතා ඉතාම සමීපව සිටියත් ඒ සඳහා මම කිසිදු පිහිටක් නොපැතුවෙමි. මගේ කර්තෘ මණ්ඩලය මට සෑම අතින්ම උපරිම සහාය දුන්හ. අනුර බණ්ඩාර රාජගුරු, ලතා බොතේජු, කැමිලස් පෙරේරා, නෙළුම් විමලරත්න, විවේකා සමරසිංහ, දීප්ති ෆොන්සේකා, ගීෂා මුණසිංහ සහ කර්තෘ මාණ්ඩලිකයන් මෙන්ම අපේ සහායක ආරියරත්න පෙරේරා මා සමඟ සහෝදරත්වයෙන් සහයෝගයෙන් මා ළඟම වුන් පිරිසය.

සරසවිය නව මුහුණුවරකින් නිකුත් කිරීමට අපි කටයුතු සම්පාදනය කළෙමු. මුල් පිටුවේ සිට වෙනස්කම් පටන් ගතිමු, එකල ග්‍රාන්ට්ස් වෙළඳ ප්‍රචාරක ආයතනයේ ග්‍රැෆික් ශිල්පියකු ලෙස දස්කම් පැ තරුණයෙකු මම දැන සිටියෙමි. ඔහුගේ නම අතුල උපසිරි කල්දෙමුල්ලය. මා නවයුගය පුවත්පතට ලියූ චරිත හමුව විශේෂාංගයට ඔහු විවිධ චරිත ගැන ලියමින් සිටියේය.

'රංජිත් අයියා අපේ බොස් ඇඩ්වටයිං ගැන විතරක් නෙවෙයි හොඳ කලා රසිකයෙක්, හොඳ චිත්‍ර ශිල්පියෙක්. රෙජී කන්දප්පා කිව්වාම ඒ ක්ෂේත්‍රයේ හොඳම වැඩකාරයෙක්. බැරිද? බොස් ගැන 'චරිත හමුවක්' කරන්න.'

'කර්තෘ මහත්තයගෙන් අහලා කියන්නම්' මම කීවෙමි.

නවයුගය කර්තෘ එඩ්වින් ආරියදාස මහතාගෙන් මේ ගැන මා ඇසූ විට එක පයින්ම 'අයිසේ මගේ හොඳම මිත්‍රයෙක්. ලියන්න. මම ආදරෙන් මතක් කළා කියන්න' කීවේය.

අතුල සමඟ මම රෙජී කන්දප්පා මහතා හමුවීමට ගියෙමි. ආනන්ද තිස්ස අල්විස් විසින් සංස්කරණය කළ 'දින දින' හා 'ලංකා' නම් සඟරා දෙකේම චිත්‍ර සංස්කාරවරයා ලෙස නම දැන සිටි අතර චිත්‍ර දැක තිබූ නිසා ඔහු මා සමඟ ඉක්මනින් මිත්‍ර විය. අපි චිත්‍ර ගැනත්, වෙළෙඳ දැන්වීම් කලාවේ ප්‍රවණතාත් ගැන පැය දෙකක් පමණ කතා කළේය. ඒ ඇසුරින් මා නවයුගයට ලියූ ලිපිය කිය වූ ඔහු තේ පැන් සංග්‍රහයකට ඇරයුම් කළේය. අතුල ඉතා සතුටින් මා කැඳවාගෙන ගියේය.

'ඔබට අවශ්‍ය ඕනෑම පොතක් මගේ ලයිබ්‍රරි එකෙන් තෝරා ගන්න. කියවලා අතුල අතේ එවලා අනිත් ඒවත් ගෙන්න ගන්න'යි රෙජී කන්දප්පා මහතා තේ පැන් සාදයෙන් පසු කීවේය.

'බොස් ලෙහෙසියෙන් කාටවත් පොතක් දෙන්නේ නෑ. රන්ජිත් අයියා, ආටිස්ට් කෙනෙක් නිසයි ඔයාට දුන්නේ'

මට 'සරසවිය' පත්‍රය භාර වූ පසු කර්තෘ මණ්ඩලිකයන් මෙන්ම අතුල ද ශක්තියක් විය. අතුල 'සරසවිය' මුල් පිටුව නිර්මාණාත්මකව සකස් කිරීමට හැම විටම උත්සාහ ගත්තේය. වසරකට පමණ කාලයක් සරසවිය වාරණයට ලක් විය. මාලිනි, ලකීගේ ඡායාරූපයකින් අපි අලුත්ම සරසවිය සැරසුවෙමු. අතුල මෙන්ම පසුව ටෙලි නාට්‍ය නළුවකු වූ කුමාර ජයකාන්ත ද 'සරසවිය' කවරය සකස් කර ගැනීමට කළ උපකාර අමතක නොවේ. එවකට ප්‍රකට වෙළඳ ප්‍රචාරක ආයතනයක විධායක නිලධාරියකුව සිටි කුමාර ජයකාන්ත අතුලට රිසි සේ කවර නිර්මාණය කිරීමට අවශ්‍ය සම්පත් දායකත්වය ලබා දුන්නේය. කලක සිට අතුල ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී. මෑතදී මට අසනීප වූ බව ආරංචි වී එතෙර සිට කතා කළ අතුල මට විටමින් වර්ග ඇතුළු බෙහෙත් පෙට්ටියක්ම තැපෑලෙන් එවූ බව කෘතඥතාපූර්වකව සටහන් කරමි.

ඡායාරූප ශිල්පී සුසන්ත ලියනවත්ත ගත් ලකී - මාලිනීගේ පින්තූරයට පසුබිම හැඩ ගැන්වූයේ අතුල විසිනි. ගුණරත්න අබේසේකරගේ ගුවන් විදුලි වැඩ සටහනකදී හඳුනා ගත් සමන්ත හේරත් එකල සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සිටි අතර මම සරසවියට සම්බන්ධ කර ගතිමි. 1989 අප්‍රේල් 14 පිට වූ සරසවියේ මුල් කවරයට සමන්ත මේ කවි සංකල්පනාව ලියා දුන්නේය.

'පහනින් පහන දැල් වී

දුකඳුර දුරින් දුරු වී

නව පැතුම් පිබිදී දිලී

නව ලොවක් වී දිිනේවා'

අතුල චිත්‍ර ශිල්පියකු මෙන්ම ගේය පද රචකයකු ලෙස ද ප්‍රතිභාව පෙන් වූ තරුණයෙකි. ඔහු දිනක් මගෙන් මෙසේ ඇසීය.

'රන්ජිත් අයියේ, මම කැමතියි, ගායක ගායිකාවන් ගැන සරසවියට ලියන්න'

ඉන් පසු අතුල ලක්ෂ්මන් විජේසේකර, අමරසිරි පීරිස්, ඇතුළු ගායක ගායිකාවන් ගැන අපූරු විශේෂාංගයක් ලිව්වා පමණක් නොව ඒවායේ 'හෙඩිම් ලස්සන අකුරින් සිත්තම් කර දුන්නේය.

සමන්ත හේරත් අපේ සම්භාව්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ගැන විශේෂාංගයක් දිගටම ලිවීමට යෝජනා කළේය. ඔහුගේ රචනා ශෛලිය ගැන දන්නා මම එවැනි ගැඹුරු විශේෂාංගයක් ලිවීමට පැවරුවෙමි. මේ අනුව ලෙස්ටර්, වසන්ත, පතිරාජ, සුමිත්‍රා, ධර්මසිරි, සිරි ගුණසිංහ, රංජිත් ලාල් ආදීන් ගැන ලිපි ඔහු ලිවීය. එය හැඳින්වූයේ 'අදියුරු ඇසින්' යන නිමිනි. අලව්වේ අම්බුළුව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වී එතැනින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ විශිෂ්ටතම ප්‍රතිඵල අඛණ්ඩවම වාර්තා කරමින් ප්‍රථම පන්ති ගෞරව සාමර්ථ්‍යයක් සහිතව ශාස්ත්‍රවේදී උපාධීය ලබා ගත් කලායයි මේ. සමන්ත හොඳ අනාගතයක් ඇති තරුණ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකුව වන බව අපි දැන සිටියෙමු. ඒ කාලයෙ සමන්ත කඳුළු නැති දෑසක් නමින් කාව්‍ය ග්‍රන්ථයක් ද 'අවලන්දු' නම් නාට්‍යකුත් නිෂ්පාදනය කර තිබුණි. අද සමන්ත විශ්වවිද්‍යාල මහචාර්යවරයෙකි. ඔහු සාහිත්‍ය මණ්ඩලයේ සිටියදී සංස්කරණය කළ හේමපාල විජයවර්ධන අමරදේව, ලෙස්ටර්, මහගමසේකර, සයිමන් ආදී විශිෂ්ටයන් ගැන පළ කළ ශාස්ත්‍රීය සංග්‍රහවලට මගේ ලිපි ඇතුළත් කිරීමට තරම් කාරුණික විය.

'සරසවිය 'පුවත්පතේ ආදි සාමාජිකයකු වූ විමල් තිලකරත්න නැවත අපට එක් විය. අප කණ්ඩායමේ වැඩිහිටි අයියා ඔහු විය. ඕනෑම සාදයකදී 'බයිට්' එකට ගත්තේ විමල්වය. ඔහු විහිළු ඉවසූ එහෙත් කේන්තිය සිනවකින් පිළිගන්නා වැඩිහිටියෙකි. දැන් ඔහු අප අතරින් සමුගෙනය.

දිනක් ළාබාල තරුණයෙක් මා හමුවීමට පැමිණියේය. මා සමඟ එකම පන්තියේ ඉගෙන ගත් උපාලි කොළඹගේ ගේ (රාවය පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ) ලිපියක් රැගෙනය.

'රංජිත් මේ තරුණයා ආනන්දයේ ශිෂ්‍යයෙක්. 'රාවය'ටත් ලිව්වා. සිනමාව ගැන ලොකු දැනුමක් තියෙනවා. හැකි උපකාරයක් කරන්න. - උපාලි කොළඹගේ'

මේ තරුණයා ප්‍රේම් දිසානායක සංස්කරණය කළ 'විචිත්‍ර' සිනමා සංග්‍රහයට විශේෂංග ලියූ නිසා මගේ හිතේ රැඳුණු නමකට හිමිකම් කී අරුණ ගුණරත්නය. එහෙත් ඔහු දුටුවේ එදාය.

අරුණ ප්‍රේම් ගැන කෘතඥතාපූර්වකව කතා කළේය. පසුදා එන ලෙස මම ඔහුට කීවෙමි.

මම අප හිතාදර ප්‍රේම්ට කතා කළෙමි.

'අරුණද? හොඳට ලියන්න පුළුවන් තරුණයෙක්. රංජිත් පුළුවන් උදව්වක් කරන්න'

ප්‍රේම්ගේ රෙකමාදුරුවත්, උපාලිගේ හැඳින්වීමත් නිසා අරුණ සරසවියට බඳවා ගතිමි. ඔහුට තිරයේ පසුපස සිටින නිහඬ චරිත ගැන ලිවීමට පැවරූ අතර ඔහු මුලින්ම ලියාගෙන ආවේ කැමරා ශිල්පී වාමදේවන් ගැනය. ඉන්පසු හේමපාල ධර්මසේන, බන්දුල කුරේ, ලයනල් සිල්වා, බර්නාඩ් රෙජිනොල්ඩ්, ආනන්ද බස්නායක, කුමාර් කොතලාවල, තිස්ස නාගොඩවිතාන, එම්. එස්. අලිමාන්, ෂෙල්ටන් ජයසිංහ ආදීන් ගැන අපූරු විචිත්‍රාංග ලිවීය. විදේශීය සිනමාව ගැන පෘථුල දැනුමක් ඇති අරුණ තමාට ආවේණික ශෛලියකින් ගැඹුරු එහෙත් සරල බසින් ලිපි ලිවීමේ ශූරයෙකි. ලෝකයේ විශිෂ්ට චිත්‍රපට බලා ඇති ඔහු විචාර පූර්වකව විචාර ලිපිත් විශේෂ පර්යේෂණ ලිපි ලිවීමටත් දක්ෂයෙකි.

(අද අරුණ 'සරසවිය' පුවත්පතේ ප්‍රධාන කතුවරයාය. ඔහු කතුවරයාවීමේ සතුට ඔහුට වඩා ඇත්තේ මටය. වඩාත් ආඩම්බර වන්නේ ද මාය).

අරුණගේ පියා විදුහල්පතිවරයෙකි. කාරුණික ගැමියෙකු වූ 'ගුණරත්න මහත්තයා' අද ජීවතුන් අතර නැත. ඔහුගේ මෑණියන් ද විදුහල්පතිවරියක ලෙස සේවය කොට විශ්‍රාම සුවයෙන් පසුවන්නීය. මේ දෙදෙනාම මට පුතෙකු මෙන් සැලකූහ.

මේ කාලයේ පැරණි නළු නිළියන්ගේ ඡායාරූප ගැනීමේදී මට උපකාර කළේ පැරණි සිනමාව ගැන මනා දැනුමකින් හා ගීත, චිත්‍රපට ච්ඍච් සංරක්ෂණය කරන සිනමා රසිකයකු වූ වයික්කාලේ ලුවිස් කුමාර්ය. මා සරසවිය කර්තෘවීමට පෙර සිට ලුවිස් මට මීගමුව පැත්තේ නළු නිළියන්ගේ පින්තූර ගෙන එමින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකා උදව් කළේය. ඔහු සමඟ මීගමුවේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ නිවස, එඩී ජයමාන්නගේ මුල් නිවස, එඩී - රුක්මණි පදිංචිව සිටි 'ජයරුක්' නිවස බැලීමට ගියා පමණක් නොව හියුගෝ මාස්ටර්, වික්ටර් කුරේරා වැනි නළුවන් ද බැලීමට ගියෙමු. එහිදී පටිගත කරගත් හඬ පටි ද ඔහු සතුව ඇත. ලුවිස් එක්තරා ගුවන් විදුලි නාළිකාවකින් ඒ හඬ පටි භාවිත කරමින් වැඩසටහනක් නොකඩවාම කළේය. අද ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ලුවිස් 'යටගිය දවස' අන්තර් ජාලය ඔස්සේ බලා මට කතා කරයි. වයික්කාලේ සිටියදී ඔහුගේ නිවසටත්, ස්ටුඩියෝවට ගිය ගමන් මටත් බිරිඳටත් අමතක නොවේ. ඔහු මෙන්ම ඔහුගේ බිරිඳ ද, පුතා සහ දියණිය ද අපට සෙනෙහස දැක් වූ පවුලකි.

සරසවිය පවුලේ සෙසු තොරතුරු ඉදිරියට ලිවීමට බලාපොරොත්තු වෙමි.