වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




මේ රඟහලට අපි ගිනි තියනවා

මේ රඟහලට අපි ගිනි තියනවා

තෝපාවැවේ දී නිරිඇල්ලට තර්ජනයක්

ජනකරළිය අත්දැකීම් ගැන පරාක්‍රම නිරිඇල්ල හෙළිකරයි

මේ වසරේ දෙවැනි වරටත්, කොළඹදී දෙවැනි වරටත් පැවැත්වෙන ජනකරළිය නාට්‍ය උලෙළ මේ මස 07 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ (ග්‍රහලෝකාගාරය අසල) ජනකරළිය ජංගම රඟහලේ දී පැවැත්වෙයි. ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල හා එච්. ඒ. පෙරේරාගේ එකමුතුවෙන් ඇරැඹුණු ජනකරළියට ඇත්තේ දිගු අතීතයකි. එහි අතීතය හා බැඳුණු ජනකරළියේ දී සිදු වූ විවිධ රසමුසු අවස්ථා මෙන්ම ශෝකජනක කාරණා ද බොහෝ වෙයි. ඒ පිළිබඳ ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල සිය මතකය අවදි කළ කාරණාවලින් මේ ලිපිය සැකසිණි.

ජනකරළිය ආරම්භ කර මේ වනවිට වසර දහතුනක්. එය ආරම්භ කරන්නේ පරාක්‍රම නිරිඇල්ලගේ අතිජාත මිත්‍රයා වුණු ඒච්. ඒ. පෙරේරාගෙත් සහයෝගයෙන්. ඔවුන් මෙහි ආරම්භය සඳහා ඉල්ලුම් පත් කැඳ වූ අවස්ථාවේ ලැබුණේ ඉල්ලුම් පත් දහස් ගණනක්. ඒ අතරෙන් අන්තිම වටයට එනවිට හැත්තෑවකගෙන් යුත් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට ඔවුන්ට හැකිවුණා. ඒත් ඔවුන් බලාපොරොත්තු වුණු විදියට ඒ අතර වෙනත් ජාතීන්වලට අයත් අයගෙන් ඉල්ලුම් පත්‍ර තිබුණේ නැහැ. ඒ නිසා පරාක්‍රමත්, එච්.ඒ.ත් ඔවුන්ගේ යහළුවන් මාර්ගයෙන් බොගවන්තලාව, ත්‍රිකුණාමලය වගේ ප්‍රදේශවලින් නාට්‍ය කලාවේ නියැළෙන්නට කැමැති දමිළ තරුණ තරුණියෝ කිහිපදෙනෙකුත් ජනකරළියට සහභාගි කර ගත්තා.

මේ සියලුදෙනාට ම වැඩමුළු කළේ හෝකන්දර නිවෙසක. ඒ අතර මේ අය අතර විවිධ ප්‍රශ්න පැන නැඟුණේ නොසිතුව විදියට. සිංහල ළමයි දෙමළ භාෂාව නොදැන සිටීමත්, දමිළ ළමයි සිංහල භාෂාව නොදැන සිටීමත් මේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුවක්.

“අරගොල්ලෝ අපට බණිනව ද දන්නේ නෑ?”

දෙගොල්ලෝ දෙගොල්ලන්ට ම චෝදනා කළා. පරාක්‍රමත්, එච්.ඒ.ත් මේ සියලු ගැටලුවලට පිළිතුරු සෙව්වේ බොහොම උපක්‍රමශීලීව. ටිකෙන් ටික ඔවුන් අතර සහයෝගීතාව වර්ධනය වුණේ සෙමෙන් සෙමෙන්. ඒ සහයෝගීතාව ගැන කිව හැකි අපූරු කතාවක් නිර්මාණ වුණේ මේ පුහුණු කාලයේදිමයි. වරක් සිංහල පිරිමි ළමයකුට ඒ කාලයේ තිබුණු උණක් වැලඳුණේ හදිසියේ ම වගේ. ඒ වෙලාවේ ඒ ළමයට ඇප උපස්ථාන කිරීමට වඩා උනන්දුවෙන් කටයුතු කළේ දමිළ ගැහැනු ළමයින් දෙදෙනෙක්. ඔවුන් අතර අපූරු සහයෝගීතාවක් ගොඩනැංවීමට ගතවුණේ මාස දෙකක තරම් බොහොම පුංචි කාලයක්.

ජනකරළියේ ඇත්තන් ඈත ගම් පළාතකට ගිය පළමු අවස්ථාවෙදියි මේ සිදුවීම වුණේ. ඒ ජංගම රඟහල ගොඩනැඟුණේ අනුරාධපුරයේ මධ්‍ය මහා විද්‍යාලයේ පිට්ටනියේ. ඇවිදින රඟහල ඉක්මනින් ම ඉදිවුණා. එදා ඉරිදා දවසක්. උදේ පැවැත්වෙන මංගල දර්ශනයට අවට පාසල් කිහිපයකටම වේදිකා නාට්‍ය නරඹන්න ආරාධනා කරලා තිබුණත්, කිසිම කෙනෙකු පේනතෙක් මානයකවත් සිටියේ නැහැ. සිටියේ පහළොස් දෙනෙකු විතරයි. පරාක්‍රම නිරිඇල්ලගේ සිතේ ඇතිවුණේ චකිතයක්. ශෝකයක්. ඔහු දුවලා ගියේ අනුරාධපුරයේ මධ්‍ය මහා විද්‍යාලයට. විදුහල්පතිත් එක්ක කතා කළාට පස්සේ නාට්‍ය නැරැඹීමට නේවාසිකාගාරයේ සිටිය ළමයින් ටිකත් ඇතුල් වුණේ ඒ විදියට. ඒත් එක්කම අල්ලපු වැටේ තිබුණු හමුදා ඉස්පිරිතාලයේ නිවෙස් වෙත යන්නට සූදානම් සිටි හමුදා සොල්දාදුවන් රැසකුත් මේ දර්ශනයට එකතු වුණා. ඒ විදියට මංගල දර්ශනය වේදිකා ගතවුණා. රාත්‍රි දර්ශනයටත් සිටියේ දෙසියයක් වගේ පිරිසක්. පරාක්‍රම නිරිඇල්ලගේ සිතේ උදෑසන ම ඇතිවුණු ශෝකය තව තවත් තීව්‍ර වුණා. ඊළඟ දිනයටත් ඉර පෑව්වා. කළමනාකාරවරයා පරාක්‍රම නිරිඇල්ලගේ මුහුණ බැලුවා.

“ඕගොල්ලෝ යන්න. මම පරක්කු වෙලා එන්නම්.”

පරාක්‍රම නිරිඇල්ල පැවසුවේ සිතේ හටගත්ත ශෝකය ඒ වනවිටත් දුරුව නොතිබුණු නිසා.

වෙලාව උදෑසන 8.30යි. පරාක්‍රම නිරිඇල්ලගේ ජංගම දුරකථනය නාද වෙන්න පටන් ගත්තේ එකපාරට ම.

“පරාක්‍රම මහත්තයා, ළමයි ගොඩක් ඇවිත් හසුරවා ගන්න බොහොම අමාරුයි. ඉක්මනට එන්න පුළුවන් ද?”

දුරකථන ඇමතුමෙන් පැවසුවේ එවැනි කතාවක්. එතැනට ගිහින් බලන කොටයි ඔහු දැක්කේ දිගට තිබෙන ළමයින්ගේ පෝලිම. එක තැනක රණ්ඩුවක්. ඒ රඟහලට ඇතුල් වීමට නොහැකි වුණු අයගේ. පස්සේ නියමිත කාලයක් අනුවයි ඔවුන්ට නාට්‍ය නැරැඹීමට සිදුවුණේ. 2005 වසරේ ඒ ඇරැඹුම සාර්ථක වුණේ ඒ ආකාරයට. දවස් දහයක් අනුරාධපුරයට නාට්‍ය පෙන්නුව ජනකරළිය කණ්ඩායම නැවතත් වතාවක් අනුරාධපුරයට ආවා. ඒ යළිත් වතාවත් දෙවැනි අදියරේ නාට්‍ය රඟ දැක්වීමට සිතාගෙන.

මේ සිදුවීම සිද්ධ වුණේ පොළොන්නරුව තෝපාවැවදි. තෝපා වැව මහා විද්‍යාලයේ පිටිටනියේ ජංගම රඟහල ඉදි කරද්දි මුහුණ දීමට සිදුවුණේ නොසිතුව කරදරයකට. ඒ පිට්ටනියේ සෙල්ලම් කරන අය ජනකරළිය නාට්‍ය කණ්ඩායමත් සමඟ රණ්ඩුවක පැටලුණා.

අපට සෙල්ලම් කරන්න තිබෙන පිටිටනියේ ඕක ඉදිකරන්න දෙන්න බැහැ.”

ඒත් ජනකරළිය කණ්ඩායමට පිට්ටනියෙන් කොටසක් ලබාදීමට මුල්වුණේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා. ඒ සීමා මායිමේ ඇවිදින රඟහල ඉදිවුණා. ඊට පස්සේ ඇදගෙන වැටුණේ ධාරානිපාත වැස්සක්. ඒ වැස්සට පිට්ටනියේ වතුර පිරුණ විතරක් නොවෙයි, රඟහලටත් වතුර දැම්මා. ඒක වැළැක්වීමට සිතාගෙන රඟහල වටේ කානුවක් කැපීමටයි ඔවුන්ට සිද්ධ වුණේ. ඒක දැනගත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඔවුන්ට ඇවිත් දැම්මේ සත්තමක්.

“වැඩිය මුකුත් කරන්න එන්න එපා. මේ රඟහලට අපි ගිනි තියනවා.”

ඔහු පෙන්නුවේ ඔහුගේ බලය. ඒත් මෙහෙම ගියොත් කරදර ඒවි ද කියලා පරාක්‍රමගෙත්, එච්.ඒ.ගෙත් සිතේ ඇතිවුණේ බියක්. ඒ බිය දුරුවෙමින් ප්‍රේක්ෂකයෝ නාට්‍ය නැරැඹීමට පැමිණියේ පෝලිමට. ඊට පස්සෙයි කරදර කළ අයටත් මේ කටයුත්තේ අගය තෙරුණේ. සත්තමක් දැම්ම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිටත් නාට්‍ය උලෙළ නැරැඹීමට අවශ්‍ය වුණා. ඒත් නොපැමිණියේ පරාක්‍රම නිරිඇල්ල ඇතුළු ජනකරළියේ කණ්ඩායමගේ මුහුණ බලන්න බැරි නිසා.

එහිදී සිදුවුණේ තවත් අපූරු සිදුවීමක්. මේ ප්‍රදේශයේ සිටියේ ආටිගල කියන සම්මානනීය නාට්‍යකරුවෙක්. ඔහුටත් ජනකරළියේ නාට්‍යයක් වේදිකා ගතකිරීමට පරාක්‍රම නිරිඇල්ල ආරාධනාවක් කළේ මේ අතර. පරාක්‍රම නිරිඇල්ලගේ අධීක්ෂණයෙන් පස්සේ ඔවුන්ගේ නාට්‍ය කණ්ඩායම රාත්‍රියේ නවයෙන් පස්සෙයි නාට්‍ය පුහුණු වීම් සිදුකළේ. එතැන සිටි ජනකරළියේ කණ්ඩායමේ ක්‍රිශාන්තන් ඔවුන්ටත් උදවු කළා. ඒ බෙර වාදනයෙන්. ආටිගලගේ නාට්‍ය නැරැඹීමටත් ජනකරළියේ නාට්‍ය නරඹන්න වගේ ම සෙනඟ ආවා. නාට්‍ය වේදිකා ගත කරලා අවසානයේ ආටිගලගේ දෙනෙත්වල දිස්වුණේ සතුටු කඳුළු.

“මේ තරම් සෙනඟක් මගේ නාට්‍යයක් නරඹන්න ආවමයි පරාක්‍රම මහත්තයා. ”

ඒ විතරක් නොවෙයි වටිනාම අදහස් පෙළ ඔහු පැවසුවේ ඊට පස්සේ.

“ඇත්තට ම මම මේ වනතුරු බොහොම ජාතිවාදියකු වෙලා සිටියේ. හැබැයි මේ කිශ්‍රාන්තන් මගේ නාට්‍ය කටයුතුවලට බොහොම උදවු කළා. මට මනුස්සකම ගැන කියලා දුන්නේ ක්‍රිශාන්තන්. මීට පස්සේ කිසිම දවසක දෙමළ මිනිස්සුන්ට මම වෛර කරන්නේ නැහැ. සහජීවනයේ තිබෙන තේරුම මට දැන් වැටහෙනවා.”

නාට්‍ය වේදිකා ගත කරලා අවසානයේ තිබුණු සාකච්ඡාවේදී ආටිගල පැවසුවේ ප්‍රසිද්ධියේ ම.

වරක් ජනකරළිය නාට්‍ය කණ්ඩායමට භයානක සිදුවීමකට මුහුණ දීමට සිදුවුණේ තංගල්ල හා හම්බන්තොට වැනි ප්‍රාදේශවලදි. ඒ කාලය තොප්පිගල මෙහෙයුම සිදුවුණු කාලය. මොකද ජනකරළියේ සිංහල ළමයින් වගේ ම දමිළ ළමයිනුත් සිටියා. පිරිමි ළමයින් ටික නැවතිලා සිටියේ හම්බන්තොට ටවුමෙමයි. දිනක් රාත්‍රියක ත්‍රී රෝද රථයකින් ආව පිරිසක් ඔවුන්ට තර්ජනය කරලා ගිහින් තිබුණේ මේ අතර. ඒ නිසා සියලුදෙනා ම සිටියේ තරමක් බියකින්. පසුදින නාට්‍ය කණ්ඩායම සිය නාට්‍ය කටයුතු ප්‍රචාරණය කිරීමට හම්බන්තොට ටවුමට බැස්සේ සිතේ යම් චකිතයකින්. ඒත් කිසිම අමිහිරි සිදුවීමකට මුහුණ දීමට ඔවුන්ට සිදුවුණේ නැහැ.

“මේ කලාව මඟින් මිනිස්සුන්ගේ ආකල්ප කොයිතරම් වෙනස් කරන්න පුළුවන් ද?”

පරාක්‍රම නිරිඇල්ලට සිතුණේ ඉබේට ම.

මේ අතර ප්‍රේක්ෂාගාරය ම අඬවපු අවස්ථාවක් ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලයන්ගේ මතකයට නැඟුණා. ඒ මේ අපූරු සිදුවීම සිදුවුණේ පසුගිය සැප්තැම්බරයේ දී. ඒ කියන්නේ යාපනයේ තිබුණු ජනකරළිය ඇවිදින රඟහලේ නාට්‍ය රඟදැක්වීමේදී. එදා රඟදැක්වුණේ වෙන්කට්ටි වට්ටම්. හුනුවටයේ කතාවේ දමිළ පර්වතනය. උදෑසන නාට්‍ය දර්ශනය වෙන්වලා තිබුණේ පාසල් ළමයින් වෙනුවෙන්. නාට්‍ය නරඹලා අවසානයේ තිබුණු අදහස් දැක්වීමේදි ගැහැනු ළමයකු නැඟිට්ටේ ඉද්ද ගැහුව වේගයෙන්.

“හුනුවටයේ ගෲෂා දැක්ක ම මගේ මතකයට නැඟෙන්නේ මගේ අම්මා. ඒ අම්මා, මාවත්, මල්ලිවත් කුඩා කාලයේ ජීවත් කරවන්නට ගත්ත උත්සාහයයි. තාත්තා හිටියේ එල්.ටී.ටී.ඊ. යුද්ධයට සහභාගි වෙලා. අහස උසට බඩු ගණන් ගිහින් තිබුණු ඒ කාලයේ කෑම වේලක් කන්න දරන්න වුණේ පුදුම මහන්සියක්. ඒ අතර අම්මා ශෙල් වෙඩිල්ලක් වැදිලා මැරුණා. ඊට ප්සසේ මට යනඑනමං තිබුණේ නැහැ. මාව හදාගත්තේ ආත්තම්ම කෙනෙක්. ගෲෂාගේ චරිතයෙන් දැක්කේ මගේ අම්මා. මට ගෲෂාව බදාගෙන ඉඹින්න ඕන.”

ඒ ළමයා දුවගෙන ආවා. ගෲෂාගේ චරිතය රඟපෑම ලීලාවතීත් නැඟිටලා ආවා. බොහෝ වෙලාවක් ඒ දෙන්නා වැලඳගෙන ඇඬුවා. ඒ විතරක් නොවෙයි, ඒ දර්ශනය දැක්ක මුළු ප්‍රේක්ෂකාගාරයේමත් දෙනෙත්වල දිළිසුණේ කඳුළු. ඒ මොහොත එහි පැමිණි සියල්ලන්ගේ ම සිත්වල ඇඳුණේ අනුවේදනීය කතාවක්.

මේ වගේ බොහෝ අනුවේදනීය කතා රාශියකින් ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ අත්දැකීම් පිරිලා, ඉතිරිලා. මේ දවස්වල රඟදැක්වෙන ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ ඇවිදින රඟහල අසල ඉදිමින් පැවසුවේ මේ කණ්ඩායමේ නඩේගුරා. ඒ කියන්නේ පරාක්‍රම නිරිඇල්ලයන්.