වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්

ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්

ගතින් ඒරොප්පෙ හිටියත් මේ පුංචි දිවයිනේ අභිමානය ලෝකෙට ගෙනියන්න උත්සහ කරන අපූරු මිනිසුන් ඉඳහිට හෝ ඉන්නවා. චිත්‍රාල් දි මෙල් සහ වයෝනි දි මෙල් කියන්නෙත් ඇමරිකාවෙ ජීවත් වෙන එවැනි හෘදයාංගම යුවළක්. මේ යුවළගේ සංකල්පයක් අනුව බිහිවුණු ‘බොස්ටන් ලංකා’ මාධ්‍ය ආයතනය ඇමරිකාවේ බොස්ටන් නගරයේ උපත ලැබුවත් හදවත ගැහෙන්නෙ ශී‍්‍ර ලාංකේය නාමයෙන්.

සාම්ප්‍රදායික විදියට තොරතුරු බෙදා දීමෙන් විතරක් ‘බොස්ටන් ලංකා’ ආයතනය සෑහීමට පත් වෙන්නෙ නැහැ. දේශීය සිනමාවට අලූත් මානයන් විවෘත කර දෙන්න ඔවුන්ගේ තිබෙන්නෙ විසල් උනන්දුවක්. ඒ ගැන සරසවියට අනාවරණය කරන්න බොස්ටන් ලංකා නිර්මාණකරු චිත්‍රාල් සිය හඬ අවදි කළේ මෙලෙසින්.

“දක්ෂ රංගන ශිල්පීන් මෙන්ම නිර්මාණකරණ අංශයෙන් සිංහල සිනමාවේ දක්ෂයෝ ඉන්නවා. නමුත් ලංකාව තුළ චිත්‍රපටයක් හදලා පෙන්නුවට ලෝක මට්ටමින් එයට ලොකු මාර්කට් එකක් ලැබෙන්නෙ නැහැ. ශී‍්‍ර ලාංකීය මාපියන්ගෙන් උපත ලබා ඇමරිකාව තුළ හැදී වැඩුණු ශී‍්‍ර ලාංකේය සිනමා ශීල්පීන් සිටිනවා. දැනට ඒ අය කරන්නෙත් ඇමරිකන් සිනමා නිර්මාණ. සමහර අය හොලිවුඩය සමග ශක්තිමත් සබඳතා සහිත පුද්ගලයින්. මම කැමතියි ඔවුන් සමග අපේ දේශීය නිර්මාණකරුවන් සම්බන්ධ කරමින් ශී‍්‍ර ලංකාව ලෝකෙට ගෙන යා හැකි විශ්ව නිර්මාණකරණයට දොරටු හැර දෙන්න. මට හැකි පමණින් ඉතා පුංචියට සිදු වුණත් ඒ උත්සාහය ඔවුන්ට දවසක මහා මාවතක් පෙන්වාවි. දැනටමත් එය සාකච්ඡා මට්ටමින් කරගෙන යනවා.”

මේ ඔස්සේ දේශීය සිනමාකරුවන්ගෙ නිර්මාණවලට ලැබෙන වටිනාකම මොන වගේද?

තමන්ගෙ නිර්මාණයක් ජාත්‍යන්තර සම්මාන උළෙලකට ඉදිරිපත් කිරීම ඕනෑම සිනමාකරුවෙකුගේ සිහිනයක්. මූල්‍යමය අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකියාවක් නැතිකමින් හෝ වෙනත් බාධක නිසා ඒවාට ඉදිරිපත් වීමට ඉඩකඩ මග හැරී ගිය දක්ෂ නිර්මාණකරුවන් ඉන්නවා.

එවැනි අයගේ නිර්මාණ කැඳවලා ප්‍රවීණයන් යටතේ තේරීමකට ලක් කර ගුණාත්මක නිර්මාණයක් කීර්තිමත් සිනමා සම්මාන උළෙලවලට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහිදී දැරිය යුතු බරපැන සඳහා මූල්‍යමය වශයෙන් අපේ සහය ලබා දෙන්නත් අපේක්ෂා කරනවා. මේ සියලූ මෙහෙවර හරහා අපි බලාපොරොත්තු වෙන්නේ සිංහල සිනමාව ජාත්‍යන්තරයේ කීර්තිමත් තලයකට රැගෙන ඒමයි. මේ සඳහා උනන්දුවක් දක්වන අයට www.bostonlankaradio.com වෙත අයදුම්පත් ඉදිරිපත් කරන්න පුළුවන්.

බොස්ටන් ලංකා ගුවන්විදුලි නාලිකාව සහ රූපවාහිනී සේවයගැනත් කතා කළොත්?

බොස්ටන් ලංකා ගුවන්විදුලි නාලිකාව වැඩි වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ සිංහල භාෂාවෙන්. විදෙස්ගත වුණු ශී‍්‍ර ලාංකිකයන් සිංහල බසින් ඉදිරිපත් කෙරෙන වැඩසටහන්වලට ලොකු ආකර්ෂණයක් දක්වනවා. මොනවා කිව්වත් මව් රටෙන් පිට වෙලා ගියාට පස්සෙ සිංහල අපේ හඬ ඇහෙන එක තරම් තවත් සතුටක් නැහැ. ඒ විතරක් නෙවෙයි රූපවාහිනී සේවයේ විකාශය වෙන ‘මව්බිමෙන් එතෙර අපි‘ වැඩසටහන සමඟත් විශාල රසික පිරිසක් අත් වැල් බැඳගෙන ඉන්නවා. ඉදිරියේදී වෙබ් අඩවියටත් සිංහල ලිපි වැඩිපුර එකතු කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

අපි බොස්ටන් ලංකා ප්‍රඩක්ෂන් හවුස් එකක් පටන් ගත්තා. ‘ආදරණීය නයගරා’ ටෙලි නාට්‍යය එහි හොඳ ප්‍රතිඵලයක්. සීතලෙන් ගැහි ගැහි කණ්ඩායමේ සියලූ ශිල්පීන් කරපු අප්‍රමාණ කැපකිරීම්වල ජයග්‍රහණයක් විදියට එය හැඳීන්වුවොත් වඩාත් නිවැරදියි. මේනක රාජපක්ෂ ඇතුළු ජනපි‍්‍රය රංගන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් කළ මෙම නිර්මාණය ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට අපූරු අත්දැකීමක් එකතු කරාවි. බොස්ටන් ලංකා මියුසික් ලේබලය යටතේ කෙරෙන සංගීත නිර්මාණ ගැන කතාකරනකොට සුවිශේෂයෙන් මතක් කළ යුතු දක්ෂයෙක් ඉන්නවා. ඒ තමයි මහාචාර්ය අර්ජුන බාලසූරිය. ඔහු ඇමරිකානු සරසවි ඇදුරෙක් වුණත් සංගීත නිර්මාණකරණයේ විශිෂ්ටයෙක්. ‘ආදරණීය නයගරා’ ටෙලි නාට්‍යයේ ගීත පහටම සංගීතය නිර්මාණය කළේ ඔහු විසින්.

ගෙදර බේස්මන්ට් එකේ උපත ලැබූ බොස්ටන් ලංකා එදා සිට අද දක්වා පැමිණි ගමන සිහිපත් කළොත්?

අමෙරිකාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන්ට තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න, එයාලාගෙ හැකියාවන් ඉදිරිපත් කරන්න සහ කුසලතා පූර්ණ ශී‍්‍ර ලාංකිකයන් ගැන මාධ්‍ය හරහා කියවෙන්න නිසි ඉඩක් තිබුණෙ නැහැ. ඒ අඩුව පුරවන්න තමයි බොස්ටන් ලංකා රූපවාහිනී සේවය ආරම්භ කළේ. වෙබ් මට්ටමින් කි‍්‍රයාත්මක වෙන මෙම රූපවාහිනී නාලිකාව 2010 දි ගෙදර බේස්මන්ට් එකේ ස්ටුඩියෝවක බොහොම පුංචියටයි ඇරඹුණේ.

එය ගොඩනඟන්න මගේ බිරිය වයෝනි දි මෙල්ගේ කැපවීම ලොකු ශක්තියක් වුණා. එයා තමයි මුල් කාලෙ අපේ වැඩසටහන් ඉදිරිපත් කරන්නිය වුණේ. අදටත් ඇය ඒ සියලූ දායකත්වයන් නොමසුරුව ලබා දෙනවා. ඇය ශී‍්‍ර ලංකාවෙ ජීවත් වෙන කාලෙ ජාතික මට්ටමින් හොඳම වේදිකා නිළිය ලෙස අභිෂේක ලැබූ දක්ෂ කලාකාරිණියක්. ඒ අත්දැකීම් මේ කාර්යයන්වලට තවත් ශක්තියක් වුණා.

මේ වෙනකොට මිනි ටීවී ස්ටූඩියෝ 2ක් පැය 24 පුරා කි‍්‍රයාත්මක වෙන වෙබ් රේඩියෝ සේවයක්, ඉංගී‍්‍රසි බසින් මුද්‍රණය වන මැගසින් එකක්, ප්‍රඩක්ෂන් හවුස් එකක් සහ මුළු ඇමරිකාවෙ පුරාම කි‍්‍රයාත්ම වෙන ශක්තිමත් සබඳතා ජාලයක් අපිට තිබෙනවා. www.bostonlankaradio.com  හෝ www.uslanka.net හරහා ලොව ඕනෑම අයෙකුට බොස්ටන් ලංකා රසවිඳීන්න පුළුවන්.