වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

SARASAVIYA MODEL BANK

සරසවිය මොඩ්ල් බෑන්ක් ආරම්භක වැඩසටහනට වැලිගම චාන්දනී සිනමාහලේදී ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. එහි දෙවැනි පියවර ගම්පහ පුරවරයටය. ගම්පහ නයෝමි සිනමා ශාලවේදී සියනෑවේ නවක තරු සොයා ගිය සරසවිය මොඩ්ල් බෑන්ක් දෙවැනි අදියර මුල් අදියරට වඩා සාර්ථකය. බොහෝ දෙනෙකු එදින පැමිණ සිටියේ කලා ලෝකය තුළ තම ගමනට මගක් පාදා ගැනීමේ අභිලාෂයෙනි. ඒ වග ඔවුනගේ මුහුණෙන් මොනවට පැහැදිලි විය. අද සිට ගම්පහ නයෝමි සිනමා ශාලාවට පැමිණි නවකයන්ට සරසවියෙන් මේ ඉඩ වෙන්වේ. ඔවුනට කලා ක්ෂේත්‍රය තුළ ජය කෙහෙළි නංවන්නට හැකි වේවා කියා ද අපි ප්‍රාර්ථනා කරමු.

 

SMBGP 01

කැලුම් දිසානායක

මීරිගම පදිංචි කැලුම් සිනමා නිර්මාණ කිහිපයකටම සිය දායකත්වය සැපයුවා. ඇඩ්ඩ්‍රස් නෑ, සිරිදළදාගමනය, මහරජ ගැමුණු ඉන් කිහිපයක්. තව තවත් සිනමා නිර්මාණයන්ට දායක වෙන්නලු කැලුම්ට අවශ්‍යය. සනත් අබේසේකර, ජැක්සන් ඇන්තනි වගේ අධ්‍යක්ෂවරුන් යටතේ රඟපාන්න කැලුම් ආසාවෙන් ඉන්නවා. ඔහුගේ වයස අවුරුදු 50 යි.


SMBGP 02

යොහාන් කවිෂ්ක

යොහාන් කවිෂ්කගේ පදිංචිය හැඳල. ඔහු වේදිකා නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා. ඒ වගේම ඔහු නිරූපණ ක්ෂේත්‍රයටත් ප්‍රියයි. සිනමාවට සම්බන්ධ වෙන්නයි යොහාන්ගේ අපේක්ෂාව. ඔහුගේ වයස අවුරුදු විස්සයි.


SMBGP 03

එස්. සගායන්

සගායන්ගේ වයස අවුරුදු 43 යි. ඔහු වේදිකාවේ නිර්මාණ කිහිපයකටම දායකත්වය සපයා තිබුණා. බොහෝ දෙනෙකු සිනමාවට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට යොමු වුණත් සගායන් දිගටම වේදිකාවේ රැඳී සිටියා. ඔහු එදා ගම්පහ නයෝමි සිනමා ශාලාවට ආවේ සිනමාවට එකතුවීමේ අභිප්‍රායෙනි. උදයකාන්ත වර්ණසූරිය තමයි සගායන් කැමැතිම අධ්‍යක්ෂවරයා. ඔහුගේ පදිංචිය උඩ පේරාදෙණිය. රඟන්නට වගේම චිත්‍රපට සටන් ජවනිකාවලටත් සගායන් දායකත්වය දෙන්නට කැමැතියිලු.


SMBGP 04

දිනුකා මධුශානි

දිනුකා මධුශානිගේ වයස අවුරුදු විසිතුනයි. ඇගේ පදිංචිය උඩු තුත්තිරිපිටිය. දිනුකාට නම් කිසිදු රංගන අත්දැකීමක් නැහැ. ඇය අපේක්ෂා කරන්නේ ආදරණීය චරිතයකින් හා හා පුරා කියලා ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරන්න. දිනුකාට හොඳට නර්ථනය පුළුවන් කියලත් අපිත් එක්ක කිව්වා. ආචාර්ය සෝමරත්න දිසානායක තමයි ඇගේ කැමැතිම අධ්‍යක්ෂ.