වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




වින්දනීය සිනමා සටහනක්

වින්දනීය සිනමා සටහනක්

සාහිත්‍ය අනුවර්තනයට ලැදියාවක් දැක්වූ ජෝන් හුස්ටන්

ජෝන් හූස්ටන්
ඇමෙරිකා එක්සත් ජනපදය
අගෝස්තු 5, 1906 - අගෝස්තු 28, 1987
විශිෂ්ට චිත්‍රපට - ද මොල්ටින්ෆැල්කන්, ද ට්‍රෂර් ඔෆ් ද සියෙරා මාදේ, ද ඇෆ්‍රිකන් ක්වීන්, ද මෑන් වුඩ් බී කිංග්, ප්‍රිස්සීස් ඕනර්

ජෝන් මාර්සෙලස් හූස්ටන් උපත ලැබුවේ මිසුරි ජනපදයේ. ඔහුගේ පියා ත්‍යාගශීලී චරිතාංග නළුවෙකු වූ වෝල්ටර් හූස්ටන් වූවා. මව රියා ගෝර් පුවත්පත් කලාවේදිනියක් වූ අතර ඇය රට වටා සංචාරය කළේ පත්තරේට කතා ලිවීමටයි. අවුරුදු 14 දී ජෝන් පාසැල හැර ගියේ බොක්සිංකරුවකු වන තිර අධිෂ්ඨානයෙන්. ගැටවර වියේදී ඔහු ලොස් ඇඅන්ජලීස් නුවර ස්මිත් ස්කූල් ඔෆ් ආර්ට් ආයතනයට බැඳුණත් මාස කිහිපයකට පසුව එයිනුත් පිට වුණා. ඉන් පසුව ඔහු ගිහින් නැවතුණේ ආර්ට් ස්ටුඩන්ට්ස් ලීග් ඔෆ් නිව්යෝක්හීය.

හූස්ටන් ඔහුගේ සිනමා ජීවිතය ආරම්භ කළේ තිර රචකයකු ලෙසයි. වරෙස්, ඩොක්ටර් එර්ලිවිස් මැජික් බුලට් සහ හයි සියෙරා චිත්‍රපට තිරනාටක ලිවීමට ඔහු හවුල් වුණා. පිටපත් රචනා කිරීමට තමා තුළ වූ සහජ හැකියාව තේරුම් ගත් ජෝන් වෝර්නර් බ්‍රදර්ස් චිත්‍රාගාරය සමඟ සහයෝගීව තිර පිටපත් කීපයක් ලිවීමට තීරණය කළා. වෝර්නර් සහෝදරයෝ ජෝන්ගේ හැකියාව ගැන කොපමණ පැහැදුණා ද කියතොත් ඔහුව ඊළඟ චිත්‍රපටයේ තිර රචකයා මෙන්ම අධ්‍යක්ෂවරයා ද වශයෙන් ද තෝරා ගනිමින් ගිවිසුම් අත්සන් කළා. ඩෑෂියෙල් හැමට්ගේ රහස් පරික්ෂක කතාවක් වූ ද මෝල්ටීස් ෆැල්කන් (1941) එම චිත්‍රපටයයි. මෙම විශිෂ්ට චිත්‍රපටය හම්ප්‍රි බොගාර්ට්ව එක රැයින් තරුවක් බවට පත් කළ අතර අදටත් වසර 70 කටත් පසුව ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ මතය වන්නේ ද මොල්ටීස් ෆැල්කන් ලොව මෙතෙක් බිහි වූ හොඳම රහස් පරික්ෂක චිත්‍රපටය බවයි. එය ආභාසයන්ට මුල්වුණු ඒවගේම ඉතාමත් රසවත් සිනමාවේ ශ්‍රේෂ්ඨතම නිර්මාණවලින් එකක් බවට පත් වුණා.

මේ අතරතුර කාලයේ ජෝන් බ්‍රෝඩ්වේ නාට්‍ය දෙකක් ලියා රඟදැක්වූවා. රිදී තිරයෙන් ඔහු ලැබූ අසීමිත සාර්ථකත්වය හේතුවෙන් ඔහුට (bad girl) බෙට් ඩේවිස් සහ (good girl) ඔලීවියා ඩි හැව්ලැන්ඩ් දෙදෙනාම අධ්‍යක්ෂණය කරමින් දිස් අවර් ලයිෆ් (1942) නැමැති භාවාතිශය චිත්‍රපටය නිරමාණය කිරීමට හැකියාව ලැබුණා. ඉන් පසුව ඔහු තමාගේ මෝල්ටීස් ෆැල්කන් තරු තුනක් (බොගාර්ට්, මේරි ඇස්ටර්, සිඩ්නි ග්‍රීන්ස්ට්‍රීට්) සහභාගි කරවගෙන අක්‍රොස් ද පැසිෆික් (1942) නැමැති යුද්ධය පසුබිම් කරගත් ආදර කතාව අධ්‍යක්ෂණය කළා.

හොලිවුඩ් විභූතිය නැවතත් ජෝන් වෙත ආවේ වෝර්නර් බ්‍රදර්ස් සහ හම්ප්‍රි බොගාර්ට් සුසංයෝගයෙන් දි ත්‍රෙෂර් ඔෆ් සියෙරා මාදේ (1948) රත්තරන්, තණ්හාව සහ මිනිසා විසින් මිනිසාටම දක්වන අමනුස්සකම් ගැන කියැවුණු ක්ලැසික් කතාවක් වූ මෙය රූපගත කළේ මෙක්සිකෝවේ. හොඳම අධ්‍යක්ෂකට සහ හොඳම තිර නාටකයට හිමි ඔස්කාර් සම්මාන දෙකම ජෝන්ට හිමි වූ අතර ඔහුගේ පියා හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනාගත්තා. චිත්‍රපට කීපයකම සාර්ථකත්වයෙන් හොලිවුඩ් හි තම නාමය හොඳින් ස්ථාපිත කරගත් ජෝන්ගේ මීළඟ චිත්‍රපටය වුයේ තිරගත වූ ඇස්පෝල්ට් ජන්ගල් නම් සොරකමක් පිළිබඳ වූ ධෛර්යවන්ත කතාවයි. එය එතෙක් නිර්මාණය වුණු අපරාධ කතා චිත්‍රපටලට නව අරුතක් දීමට සමත් වූ චිත්‍රපටයක් වූවා. ඒ එක්කම ජෝන් ඇෆ්‍රිකන් ක්වීන් නිර්මාණය කළේ ප්‍රධාන නළු හම්ප්‍රි බොගාර්ට තම ජීවිතයේ ලබා ගැනීමට හැකි වූ එකම ඔස්කාර් සම්මානය ලබා දෙමින්. බීමත් බෝට්ටු කපිතාන් චාර්ලි ඇල්නට් ගේ චරිතය වෙනුවෙන් බොගාර්ට එම හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. හූස්ටන්ගේ ඊළඟ නිෂ්පාදනය වූයේ ස්ටීවන් ක්රේන්ගේ ද රෙඩ් බැජ් ඔෆ් කරේජ් නමැති නවකතාවේ අනුවර්තනයක්. එය නිෂ්පාදනය කිරීමේදී හූස්ටන්ට එම්. ජී. එම්. චිත්‍රාගාරය සමඟ ගැටලු රාශියකට මුහුණ දෙන්නට සිදු වූ බව නොරහසක්. 1952 දී ජෝන් චිත්‍ර ශිල්පී හෙන්රි ඩි ටූලුස් ලාට්‍රෙක් ගේ ජීවන චරිතය ඇසුරෙන් නිර්මාණය කළ මුලාන් රූජ් කලා අධ්‍යක්ෂණයට සහ ඇඳුම් නිර්මාණයට හිමි ඔස්කාර් සම්මාන දිනා ගත්තා.

ජෝන් සහ සම තිර රචක රේ බ්‍රැඩ්බරි ඉතා විශිෂ්ට සාහිත්‍ය කෘතියක් වූ මොබි ඩික් රිදී තිරයට ගෙන ආවේ ග්‍රෙගරි පෙක් කැප්ටන් එහාබිගේ චරිතය සඳහා තෝරා ගනිමින්. මේ කාලය වන වි හූස්ටන් අයර්න්තයේ නිවහනක් සොයාගෙන තිබුණා. අ ෆෙයාවෙල් ටු ආර්ම්ස් චිත්‍රපටය නිෂ්පාදනය අතරතුර දී අතහැර ගිය ජෝන් ද අෆ්‍රිකන් ක්වින් වට්ටෝරුවේම ආදර කතාවක් ලෙස හැවන් නෝස්, මිස්ටර් ඇලිසන් අධ්‍යයක්ෂණය කළා. 1961 දී ඔහු මිස්ෆිට්ස් අධ්‍යක්ෂණය කළ අතර මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ට ශෝකජනක මතකයක් එක් කළේ ඒ මැරලින් මොන්රෝ සහ ක්ලාක් ගෙබල්ගේ අවසාන චිත්‍රපටය වූ නිසයි. එහි සහය චරිතයක් රඟපෑ මොන්ගමිරි ක්ලිෆ්ට් ඊට පසු ජෝන් අධ්‍යක්ෂණය කළ ෆ්‍රොයිඩ් චිත්‍රපටයේ මනෝ විශ්ලේෂකගේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තා. ඉන් පසුව තවත් සාහිත්‍ය අනුවර්තන දෙකක් ඔහු රිදී තිරයට තැනුවා. ඒවා නම් පිලිප් මැක්ඩොනල්ඩ්ගේ රහස් පරීක්ෂක නව කතාවක් වූ ද ලිස්ට් ඔෆ් ඒඩ්‍රියන් මෙසෙන්ජර් සහ ටෙනසි විලියම්ස්ගේ නාට්‍යයක් වූ ද නයිට් ඔෆ් ද ඉගුවානා වූවා.

මොබි ඩික් (1956), අ අන්ෆොර්ගිවන් (1960), ද මිස්ෆිට්ස් (1961), ෆ්‍රොයිඩ් (1962), ද නයිට් ඔෆ් ද ඉගුවානා (1964) සහ ද බයිබල් ද බිගිනින් (1966) වැනි පසුකාලීන චිත්‍රපට බොහෝ දුරට හොඳ විචාරවලට පාත්‍ර වූ නමුත් ඔහුගේ මුල්කාලීන විශිෂ්ට සිනමා කෘතිවල තත්ත්වයට ළඟවීමට නොහැකි වුණා. ඔහු කැමරාව පිටුපස ඉඳගෙන නොයෙකුත් පර්යේෂණ කළෙත් මේ කාලයේයි. විවිධ වර්ණ ප්‍රයෝග අත්හදා බැලූ ජෝන් බොහෝමයක් අධ්‍යක්ෂවරුන් සාකච්ඡාවකවත් ගන්නට අකමැති මාතෘකාවලට සමීප වුණා.

1953 දී තිරගත වුණු බීට් ද ඩෙවිල් නැමැති අසම්මත ත්‍රාසජනක විකට චිත්‍රපටයට ලැබුණු දුර්වල ප්‍රතිචාරයත් සමඟම හුස්ටන්ගේ ගේ ගෞරාන්විත නාමය පවත්වාගෙන යාමට ඊළඟට ගතවුණු අවුරුදු 20 පුරාවටම නොයෙකුත් බාධක පැමිණියා. මේ පසුබැසීමට හේතුව වූයේ හූස්ටන්ගේ කැලඹීමට පත් වුණු පුද්ගලික ජීවිතයයි. ඒ කෙසේ වෙතත් ඔහු සාහිත්‍ය අනුවර්තනවලට ඔහුගේ තිබුණු කැපවීම දිගටම පවත්වාගෙන ගියා.

1963 දී ඔටෝ ප්‍රෙම්ජර්ගේ ද කාඩිනල් චිත්‍රපටයත් සමඟ හූස්ටන් රඟපෑමට අවතිර්ණ වුණා. එයින් රංගන ජීවිතයක් ආරම්භ කළ ඔහු දිගටම තමන්ගේ සහ අනෙක් අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටල රඟපෑවා. රූපාවාහිනී වැඩ සටහන්, වාර්තා චිත්‍රපට ගණනක් සඳහා හූස්ටන් කථනයෙන් දායක වුණා. මහජන සේවා ව්‍යාපාර සඳහා පෙනී සිටිමින් විශේෂයෙන්ම (ඛ්ධතධපඪලචබඪධද) වර්ණකරණයට යනු කළු සුදු හෝ තනි වර්ණ චලන චිත්‍ර දර්ශනවලට වර්ණ යෙදීමයි. මෙය විශේෂ ප්‍රයෝගයක් ලෙස භාවිත කරන්නේ කළු සුදු චිත්‍රපට නවිකරණය කරන්නට හෝ වර්ණ චිත්‍රපට ප්‍රතිසංස්කරණය කරන්නයි) විරුද්ධව ඔහු ප්‍රසිද්ධියේ නැඟු හඬ හේතුවෙන් හූස්ටන්ට මහජන පිළිගැනීම වැඩිදුරටත් ලැබුණා. හුස්ටන් මිය යන විට ඔහුගේ කාලයේ අධ්‍යක්ෂවරුන් අතරෙන් නළු නිළි තරු තරමටම ප්‍රේක්ෂකයන්ට මතකයේ රැඳුණු රූපයක් ඇති අධ්‍යක්ෂවරයෙකු වන්නට ඔහුට පුළුවන් වුණා. එයට ප්‍රධාන වූයේ හූස්ටන්ගේ ගොරෝසු සුන්දර ලෙස අවලස්සන වුණු ඔහුගේ මුහුණත් කනට මිහිරි මාධූර්ය බැරිටොන් කටහඬත්ය.

හොඳ කලදසාව ගෙවී ගිය පරිහානියට පත්වුණු බොක්සිං ක්‍රීඩකයෙකු ගැන කියැවුණු අනුවේදනීය කතා පුවතක් රැගත් ෆැටි සිටි (1972) විචාරක සමාජ තුළ හුස්ටන්ගේ පුනරාගමනය සටහන් කළා. ද මෑන් හූ වුඩ් බි කින්ග් මුලින්ම සැලසුම් කර තිබුණේ අවුරුදු විස්සකටත් පෙර හම්ප්‍රි බොගාර්ට සහ ක්ලාක් ගේබල් ප්‍රධාන චරිතවලට යොදා ගනිමින් නිෂ්පාදනය කිරීමටයි. මෙවර එහි ප්‍රධාන චරිත රඟපෑවේ සෝන් කොනරි සහ මයිකල් කේන්ය. මෙම චිත්‍රපටය හුස්ටන්ගේ සිතැඟි මුදුන්පත් කළ වෘත්තාන්තය බවට පත් වුණා.

1979 තිරගත වූ වයිස් බ්ලඩ් ෆ්ලැනරි ඕ කොනල් විසින් රචිත දක්ෂිණ ගොතික නවකතාවක අනුවර්තනයක් වුණා. තදින් සිත් ගන්නා සුලු නිර්මාණයක් වු මෙය සාහිත්‍ය අනුවර්තන සිනමාවට නැඟීමට හුස්ටන් තුළ තිබුණු අසීමිත දක්ෂතාව නැවතත් ලොවට ඔප්පු කිරීමට සමත් වුණා. එස්කේප් ටු වික්ටර් (1981) සහ ඇනී (1982) සහ අසාර්ථක නිර්මාණ දෙකෙන් අනතුරුව හූස්ටන් නැවතත් ජයග්‍රාහී සිනමා කෘතියක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කළේ ප්‍රිස්සීස් ඕනර් සමඟයි. මෙය කොමඩියක් වූ අතර එය ඔහුගේ දියණිය වූ ඇන්ජලිකාට හොඳම සහය නිළියට හිමි ඔස්කාර් සම්මානය ලබාදීමට සමත් වූවා.

හුස්ටන් සම්පූර්ණ කළ අවසන් චිත්‍රපටය වූයේ ඩෙඩ් (1987)ය. ජේම්ස් ජොයිස් විසින් රචිත ජනාදරයට පත් කෙටි කතාවක් වූ ද ඩෙඩ් චිත්‍රපටයට අනුවර්තනය කළේ හුස්ටන්ගේ පුතා වූ ටෝනිය.

හූස්ටන් පිරිමිකමින් පිරිච්ච එළිමහන් දිවියක් ගත කළේ සම්මතයට සහ සීමාවලට යටත් නොවීමිනි. ඔහුගේ මේ ජීවන රටාව නිතරම අර්නස්ට් හෙමිංවේ සහ ඔර්සන් වේල්ස්ගේ (දෙදෙනාම ඔහුගේ සමීප මිතුරන්) විචිත්‍ර ජීවන රටාවට සමාන කෙරුණා. අයහපත් සෞඛ්‍යය හුස්ටන්ගේ ජිවිතයේ අවසාන කාලයෙන් සැලකිය යුතු කොටසක් සොරා ගත්තා. පෙණහළුවල වායු කෝෂවලට හානි පැමිණීම එම රෝගවලින් ප්‍රධාන වුණා. ඒ වුවත් ඔහු සුපුරුදු ලෙස මහන්සි නොබලා වැඩ කළේ අවශ්‍ය වෙලාවට හුස්ම ගැනීමේ පහසුවට ඔක්සිජන් මැෂිමකුත් එල්ලාගෙනයි. අවසානයේදි මේ ජීවමාන පුරාවෘත්ථයක් බඳු වූ මිනිසා තම පුතා වූ ඩැනීගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වූ මිස්ටර් නොර්ත් හී ආරාධිත රඟපෑම යෙදෙන අතරේ නිව්මෝනියාව වැලඳී බරපතළ ලෙස රෝගාතුර වී දර්ශන තලයේම මිය ගියා. මිය යන විට ඔහු 81 වියේ පසු වුණා.

ඉතා වේගයෙන් ගලා යන පිටපත්, ප්‍රාණවත් ප්‍රබෝධමත් චරිත නිරූපණ උද්යෝගිත් එමෙන්ම අවසානයක් අනුමාන කළ නොහැකි කතා වසතුන් හුස්ටන්ගේ හොඳම චිත්‍රපටවල මුලික ලක්ෂණයක් වුණා.

ඔහුග් වැඩි ප්‍රසිද්ධියක් නොලැබූ චිත්‍රපට වාණිජමය වශයෙන් අසාර්ථක වූවා මෙන්ම විචාරක ප්‍රසාදය දිනා ගැනීමට ද අපොහොසත් වුණා. නමුත් ඒ නිර්මාණ තුළත් මානව උත්සාහය පිළිබඳව ඔහු තුළ වූ අපහාසාත්මක මෙන්ම අශුභවාදී දැක්ම පිළිබිඹු වූ අතර ප්‍රධාන නළු නිළියන්ගෙන් උසස් රංගන කුසලතාවන් උකහා ගැනීමට ඔහු තුළ තිබූ සහජ දක්ෂතාවයත් කැපී පෙනුණා.

හුස්ටන්ගේ චිත්‍රපට මනුෂ්‍ය ස්වභාවය සහ මානව දුෂ්කරතා පිළිබඳව සැඟවුණු සත්‍ය ගවේෂණය කිරීමට පෙළඹුණා. සමහර අවස්ථාවල මේ චිත්‍රපටවල පාරිසරික ප්‍රශ්න පිළිබඳව දූර්දර්ශී මත පළ කෙරුණු දෙබස් ඛණ්ඩ සහිත දර්ශන ඇතුළත් වුණා. ඒවා මහජනයා දැනුවත් වෙන්නට පටන් ගත්තේ අනාගතයේදී නැතිනම් 70 දශකකයේ මුල් භාගයේදීයි. උදාහරණ ලෙස ද ත්‍රේෂර් ඔෆ් සියෙරා මාදේ (1948) සහ ද නයිට් ඔෆ් ද ඉගුවානා (1964) සඳහන් කළ හැකියි.

හුස්ටන්ට ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ 15 ක් තම ජිවිත කාලය තුළ ලැබුණා. හොඳම අධ්‍යක්ෂවරයාගේ සම්මානයට නිර්දේශ වුණු වයස්ගතම පුද්ගලයා බවට පත්වීමට හුස්ටන්ට හැකියාව ලැබුණා. ප්‍රිස්සිස් ඕනර් සඳහා 1985 එම ගෞරවය හිමිවන විට හුස්ටන්ගේ වයස අවරුදු 79 ක් වුණා. ඊට අමතරව ඔහුට තමාගේ පියා මෙන්ම දියණිය ද ඔස්කාර් සම්මාන දිනා ගැනීමට හැකි වූ චරිතයන් බවට අධ්‍යක්ෂණය කිරිමට හැකි වුණා. මෙය මෙතෙක් කල් කිසිවෙකු විසින් සම නොකළ අද්විතීය සුවිශේෂිී අත්දැකීමකි. පරම්පරා තුනකම ඔස්කාර් සම්මානලාභීන් ඇතුළත් වුණු ප්‍රථම පවුල බවට හුස්ටන්ගේ පවුල සමත් වුණා.

ජෝන් හුස්ටන්ට ඒ. එෆ්. අයි. යාවජීව සම්මානය 1983 දී පිරිනැමුණා.

පුරුෂයන්ගෙන් පුරුෂයෙකු වූ මේ නිදහස් මතධාරියා ගැන පෝල් නිව්මන් වරක් පැවසූයේ හූස්ටන් යනු අම්මතයින්ගෙත් අසම්මතයෙකු බවයි. එවැනි චරිතයක් වූ ජෝන් හූස්ටන් චිත්‍රපට රසිකයන්ට ශත වර්ෂ ගණනකට රස විඳින්නට තරම් උසස් නිර්මාණ ගොන්නක් මේ ලෝකයට තිළිණ කර සමුගත්තා.

Personal Quote

හරි (ගැළපෙන) නළු නිළියන් තෝරා ගැනීම අධ්‍යක්ෂණයෙන් හරියටම අඩක්.