වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




මම කුරුණෑගලට හරි පෙරේතයි

මම කුරුණෑගලට හරි පෙරේතයි

රිචාඩ් වීරක්කොඩි

ටොයොටා අයි. එස්. ටී වර්ගයට අයත්  K C 1539 අංකය සඳහන් රථය ඊයට බඳු වේගයෙන් විත් නැවතුණේ අප සිටි ඉසව්වට මඳ දුරක් ඈතිනි. මේ කුරුණෑගල වැව රවුමේය. එයින් බැස ගත් එක් පුද්ගලයකු අපිට මීට පෙර හොඳින් දැක ඇති පුද්ගලයෙකි. ඔහු රිචාඩ් වීරක්කොඩිය.

* ඉතිං කොහොමද රිචාඩ් අයියා මේ පැත්තේ?

මම මල්ලි අලුතෙන්ම වාහනයක් ගත්තා. ඉතිං ටිකක් නිදහසේ ඇවිදින්න කියලා වයිෆ් එක්ක මේ වැව පැත්තට ආවා.

* මීට කලින් තිබුණේ වෙන වාහනයක් නේද?

ඔව් මල්ලි, මම කාර් බිස්නස් එකක් කරනවා බයි ඇන්ඩ් සෙලින්. ටික කාලයක් පාවිච්චි කරනවා දෙනවා. තව එකක් ගන්නවා. මම කාර් එකක් කියලා මුලින්ම ගත්තේ මොරිස් මයිනර් එකක්. මේ කාර් එක මගේ දහනම වෙනි කාර් එක.

* ඉතිං රිචාඩ් අයියා මේ දවස්වල කලා කටයුතු එහෙම කොහොමද?

වරදක් නැහැ මල්ලි. හොඳින් කරගෙන යනවා. මම මේ දවස් දෙක තුනකට කලින් තමයි ගෙදර අවේ ෂූටින්වලට ගිහින් ඉඳලා.

* මොන වගේ නිර්මාණයකටද මේ දවස්වල දායක වෙලා ඉන්නේ?

ඩැනී ඩබ්ලිව්. පතිරණ අධ්‍යක්ෂණය කරන ගිරිකුලේ දෝංකාරය ටෙලි නාට්‍යයේ තමයි. වික්‍රම ඒ කාලයේ (චිත්‍ර ශිල්පී පී. වික්‍රමනායක) සතුට පත්තරයට ඇන්ද කතාවක් පාදක කරගෙන තමයි මේ නිර්මාණය කරන්නේ. එහි සක්කර උන්නැහේගේ චරිතය තමයි මම කරන්නේ.

* මේ නිර්මාණය ඔබට සුවිශේෂයි වගේ?

සුද්දාගේ කාලේ ගල්වලක් පාදක කොටගෙන කළ කතාවක් තමයි මෙහි එන්නේ. ඇඳුම් පැළඳුම් පවා වෙනස්. කැලෑ පරිසරයක් තුළ අපූරු කතාවක්. යටත් විජිත කාලේ උඩරට දුම්රිය මාර්ගය සඳහා කළුගල් සැපයීම මේ කතාවේ එක් පැතිකඩක්.

* දුෂ්කරතා මධ්‍යයේ විය යුතුයි මෙහි රූපගත කිරීම් වුණේ?

මේක මෙගා රැල්ලේ ටෙලි නාට්‍යයක් නෙවෙයි. වැලි පාරවල්, වෙල් යායවල්, ගල් තලාවල්වලින් පිරි කැලෑ ප්‍රදේශයක තමයි රූපගත කිරිම් සිදු කළේ. මහව ඉඳලත් හුඟක් ඇතුළේ තමයි දර්ශන තල තිබුණේ. ගොන් කරත්ත දහයක් පහළොවක් විතර ගෙනත් තමයි ෂූටින් එහෙමත් කළේ. මම මේ ගැන මේ තරම් කතා කරන්නේ මම රඟපා තිබුණ චරිත ගත්තම මේ චරිතය ඊට හාත්පසින්ම වෙනස් නිසා.

* එදා යටත් විජිත යුගයේ කරත්ත හොයා ගැනීමත් ලේසි නැතිව ඇති?

ඔව්. කරත්ත තිබුණට සතා නැහැ. සතා මස් කඩේ. ඔය වගේ ප්‍රශ්න නිසා කරත්ත හොයා ගන්න එකත් කළු නික හොයනවා වගේ වැඩක්.

* මෙතරම් ඔබ ආශාවෙන් කතා කරන සක්කර උන්නැහේ චරිතය ඔබට ලැබෙන්නේ කොහොමද?

සේන සමරසිංහගේ කැමරා අධ්‍යක්ෂ ඩැනී ඩබ්ලිව්. පතිරණ ඒ කාලේ තමයි මට ඔහුව මුලින්ම දැන හඳුනාගන්න ලැබෙන්නේ. ඒ දැන හඳුනා ගැනීම මට මේ චරිතය ලැබීමට හේතු වුණා. මගේ රංගනයේ මුල් යුගයේ වැඩ කළ කෙනෙකුගේ නිර්මාණයකට දායකවීමට ලැබීමත් සතුටට කාරණයක්.

* රිචාඩ් අයියාගේ කලා ජීවිතය ඉසව් කීපයක් ඔස්සේ ගලා යන්නක්?

මම සිනමාවෙන් වේදිකාවට ආපු නළුවෙක්. ඒ ඇවිත් ආයෙත් මම සිනමාවට ගියා. එයින් ජාත්‍යන්තර සිනමාවට ගියා. එයින් දෙමළ සිනමාවට ආවා. ඉන් පසු හින්දි සිනමාවට ගියා. ඊට පස්සේ ටෙලි නාට්‍ය රංගනයට අවතීර්ණ වුණා.

* මම හිතන්නේ රිචාඩ් නළුවෙක් වෙන්නේ ආශාවකින් අදහසකින් නෙවෙයි කියලයි?

නළුවෙක් වෙන්න මගේ කිසිම අදහසක් ආශාවක් තිබුණේ නැහැ. මට ඕනෑ කළේ ගායකයෙක් වෙන්න. මම ඉස්සර වැඩ කළේ කොළඹ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ. කාර්යාලය තිබුණේ ටොරින්ටන්වල. මගේ කාර්යාලය අල්ලපු ගොඩනැගිල්ලේ තමයි සුදර්ශී ශාලාව තිබුණේ. දයානන්ද ගුණවර්ධන වගේ ප්‍රධාන පෙළේ නාට්‍යකරුවන් එදා නාට්‍ය පුහුණු වුණේ මෙතන. මමත් ඒ පුහුණුවීම් බලන්න එතනට ගියා. ඒ ගිය විට කලාකරුවන් මට හඳුනා ගන්නත් ලැබුණා. ඒ අනුව මට මුලින්ම රත්නසිරි පෙරේරාගේ ලොකු මිනිස්සු නාට්‍යයේ සුළු චරිතයක් කරන්න ලැබුණා. ඊට පස්සේ සුගතපාල සිල්වාගේ, පී. වැලිකලගේ නාට්‍යවල රඟපාන්න ලැබුණා.

* මම හිතන්නේ ඔබ වඩාත් මිනිස්සු අතර කතාබහට ලක් වුණේ ටෙලි නාට්‍ය ඔස්සේ කියලා?

මුල් කාලයේ කළ ටෙලි නාට්‍යවල කළ චරිත විතරයි අද මිනිස්සුන්ට මතක. මිනිස්සුන්ට විතරක් නොවෙයි මටත් මතක ඒවා විතරයි. රුපිල් සත, සෝමදාස, දඩබිම, සිල්වෙස්ටර් හාමු ඉන් කීපයක්.

* මේ වෙන කොට ඔබට අපේක්ෂිත චරිත ලැබිලා තියෙනවාද?

ඔව්. පෙම්වතා, දුෂ්ටයා, විකටයා විතරක් නෙවෙයි ගරු ගාම්භීර චරිතත් ලැබිලා තියෙනවා.

* දයානන්ද ජයවර්ධනයන්ගේ අමරණීය ආදරේ චිත්‍රපටයේ සුළු චරිතයක් හරහා ඔබ සිනමාවට විත් සේන සමරසිංහ, ගාමිණී ෆොන්සේකා වැනි සිනමා අධ්‍යක්ෂවරුන් හරහා ඔබ පෙරට ඇදෙනවා?

නිල්ල සොයා, ආශා දෑසින්, උතුමාණනි, අනුපමා, ටිකිරා, සුදු කළුවර, පුරසක්මන, තහනම් ගහ, චන්ඩිත්ගෙත් චන්ඩියා, ස්ත්‍රී, යළි හමු වෙන්නයි, සෙයිලම ඇතුළු චිත්‍රපට හැටක් විතර මම මේ වන විට රඟපාලා තියෙනවා.

* ස්ත්‍රී, සෙයිලම, සුදු කළුවර, පුර සක්මන වැනි චිත්‍රපට රංගනයන් හරහා චරිතාංග නළුවකු බවට පසක් කරන වීරක්කොඩි පත්රන්නැහැලාගේ දොන් තියඩෝර් රිචාඩ් වීරක්කොඩි සිනමාව තුළ මුල් යුගයේ වඩාත් කැපී පෙනෙන්නේ දුෂ්ට චරිත රංග ශිල්පියෙක් විදියට නේද?

තවලම, බාඳුරා මල්, උතුමාණෙනි වගේ චිත්‍රපටවල මගේ රංගනයන් විහිදී ගියේ දුෂ්ට චරිත ඔස්සේ.

* සේන සමරසිංහයන්ගේ චංචල රේඛා චිත්‍රපටය හරහා ඔබ තුළ පරිවර්තනයක් ඇති වෙනවා?

ඔව්. මම දුෂ්ට චරිත රංගනයෙන් මිදුණේ චංචල රේඛා චිත්‍රපටයේ කළ හින්නියා චරිතයෙන්. ඒක විකට රංගනයක් වූ මෙම චරිතයෙන් මම එතෙක් දුෂ්ටයාට කොටු වී සිටි යදම් බිඳ දැමුවා.

* ඔබගේ රංගනයන් මොන තරම් තාත්ත්වික වුණාද කියනවා නම් මම හිතන්නේ ඔබට සමාජය තුළින් සැබෑ ජීවිතයේ අකරතැබ්බවලටත් මුහුණ දෙන්න වුණා?

ඒ වගේ දේවල් එමට තියෙනවා. මම රඟපෑ චරිත ඒ දවස්වල පාරේ, ටවුන් එකේ, බස්එකේ කොහේදිත් කථා කළා. අනන්ත අප්‍රමාණ මට විවේචන එල්ල වුණා. ඒ හැම දෙයක්ම මට ලැබුණේ මම චරිතය හරියට කළ නිසානේ. මට මතකයි මාලිනී ෆොන්සේකාගේ ස්ත්‍රී චිත්‍රපටයේ මම කළ කලු විල්බාගේ චරිතයට මිනිස්සු මට වෛර කරපු හැටි. ගැහැනු උදවිය මට හරියට අප්‍රසාදය පළ කළා. ගැමියෝ අතර මාව සැලකුවේ තුච්ච දඩයෙක් විදියට. සාමානය ජීවිතයේ මම කිසිම සතෙක් මරලත් නැහැ , මරන්න හිතලත් නැහැ. ඒත් මම ස්ත්‍රී චිත්‍රපටයේ හරකව මරලා ඒ මස් ගෙනත් උයන් කන චරිතයක් කලු විල්බා හරහා ඉදිරිපත් කළා. ඒත් මගේ චරිතයට මිනිස්සු වෛර කළා. මට පාරේ බැහැලා යන්න බැරි තරමට සමහර අම්මලා මගේ චරිතවලින් මාව මනිනවා. මාව දැක්ක ගමන් සමහර දෙමාපියෝ දරුවෝ තමන් ළඟට ඇදලා ගන්නේ හරියට ඒ දරුවන්ටත් මම එහෙම දෙයක් කරයි කියලා වෙන්නට ඇති.

* ඇත්තද මේ සමහරු කියන්නේ රිචාඩ් ටෙලි නාට්‍යවල රඟපාන්න ආවේ බෝම්බයක් තියලා කියලා?

එහෙම කියන්නේ මම හිතන්නේ මේකයි, මාව ටෙලි නාට්‍යවලට ගෙනාවේ බර්ට්‍රම් නිහාල්. පුංචි අවධියේ ඉඳලා අපි දෙන්නා මිත්‍රයෝ. දවසක් ඔහු මට පිටකොටුවෙදි හමු වුණා. ඒ දවස්වල රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට බෝම්බ පිළිබඳ වාර්තාමය වැඩ සටහනක් කරමින් බර්ට්‍රම් හිටියා. ඒ වැඩ සටහනේ බෝම්බ තබන පුද්ගලයාගේ චරිතයට බර්ට්‍රම් මාව තෝරා ගත්තා. මොහු හඳුනනවාද? ඒ වැඩ සටහනේ නමයි.

* ඉන් පසු ඔබ ජනප්‍රිය නිර්මාණ රැසක් ඔස්සේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් අතරට එනවා?

ගම්පෙරළිය, රුපියල් සත, දඩබිම, අවිඳු අඳුර, බෝගල සවුන්දිරිස් ආදී ටෙලි නාට්‍ය ඔස්සේ මම පුංචි තිරයට එක් වෙනවා.

* ටෙලි නාට්‍යවල වගේම ඔබ ජාත්‍යන්තර සිනමාවේත් නිර්මාණ සඳහා දායක වූ පුද්ගලයෙක්?

ටෙලි නාට්‍ය අසූවක විතර මම රඟපාලා ඇති. ජාත්‍යන්තර චිත්‍රපට 26 ක මම මේ වන විට රඟපාලා තියෙනවා. තී චිත්‍රපටයේ රැජිණි කාන්ත් එක්කත් රඟපෑවා.

* කොළඹින් ඈත කුරුණෑගල වගේ ප්‍රදේශයක ජීවත්වීම ඔබේ කලා ජීවිතයට බාධාවක් නෙවෙයිද?

අද වෙනකන් බාධාවක් වෙලා නැහැ. රිචාඩ් ඕනෙ කෙනා කුරුණෑගලට හරි ඇවිත් රිචාඩ් ගෙනියනවා. මම ආසයි ඝෝෂාකාරී පරිසරයෙන් මිදිලා මේ වගේ නිස්කලංක පරිසරයක ජීවත් වෙන්න. කොටින්ම කියනවා නම් මම කුරුණෑගලට පෙරේතයි. ෂූටින්වලදී කොළඹ ඉන්න ඕනෑ නම් මට හිතවත් අයගේ වාසස්ථාන තියෙනවා. ලංකාවේ හතරදිග් භාගේ කොහේ ගියත් ෂූටින් ඉවර වුණු ගමන් මම කුරුණෑගල.

* සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ ඔබ සමීප ඇසුරක් ගෙන ගිය පුද්ගලයන්ගෙන් කෙනෙක්?

ඒ ඇසුර කොච්චර සමීපද කියනවා නම් ගාමිණී මහත්තයට අන්තිමට මාව නැතිවම බැරි පුද්ගලයෙක් බවට පත් වුණා. ඒකට හොඳම සාක්කිය ගාමිණී මහත්තයගේ රියදුරු ලෙස සේවය කළ ජයලත් සිරිමාන්නගේ. හුඟක් දවස්වලට ගාමිණී මහත්තයා මට කෝල් කරලා කියනවා උඹ එනවද මේ පැත්තේ මම එන්න ද ඔය පැත්තේ කියලා. ඉතිං මම කියනවා සර් එන්න මහන්සි වෙන්න එපා. මම එන්නම් කියලා ජාඇල. ඒ මහත්තයගේ ගෙදරට මම යන්නේ හවස හතරට විතර. ආයෙත් මම ගෙදරින් එන්නේ පසුවදා පාන්දර පහට විතර.

* සක්විති ගාමිණී එක්ක ඔය ඇයි හොඳයියට මුල පිරුවේ කොහොමද?

ඊට කලින් මම එතුමා එක්ක රඟපාලා තිබුණත් මූණ බලලා කතා කරලා තිබුණේ නැහැ. ඒතරම් බයක් එතුමා ගැන මා තුළ තිබුණා. කොහොම හරි චංචල රේඛා චිත්‍රපටය ෂූටින් කරන්න මාඔයට ගිිහින් ඉන්න කොට මගේ දර්ශන නිම වෙලා තිබුණු වෙලාවක මම ඉවුර අයිණෙ තිබුණු කොට්ටම්බ ගහක ගෙඩියක් ගල්තලාවේ කියලා තල තල හිටියා. ඔය අතරේ මම ළඟට පුද්ගලයෙක් ආවා. මම හෙමින් ඔලුව ඉස්සුවා. බලපුවම ගාමිණී මහත්තයා. මම දඩි බිඩි ගාලා නැගිට්ටා. වාඩිවෙයන්, මටත් දෙක තුනක් තලල දීපන් කිව්වා. මම කොට්ටම්බ තලනවා. ගාමිණී සර් එක එක කටේ දාගන්නවා. ඔය අතරේ මෙහෙම කතාවක් කිව්වා. රිචා මේ කොට්ටම්බ මදයි අරාබි රටේ ඔටු කිරියි එකට පෑහුණොත් හරියට යගදාවක් වගේ කියලා. අන්න ඒ විහිලු කතාවෙන් පස්සේ තමයි අපි දෙන්නා අතර ලොකු මිත්‍රකමක් ගොඩ නැඟුණේ.

* ඉතිං රිචාඩ් අයියා කොහොමද දැන් පවුලේ තොරතුරු එහෙම?

මගෙ දුව පූර්ණිම දැන් විවාහ වෙලා. දුව කොළඹ මහජන බැංකුවේ රැකියාව කරනවා. පුතා එවරාඩ් එයත් කොළඹ එච්. ඩී. එෆ්. සී. බැංකුවේ රැකියාව කරනවා. පුතා නම් රැකියාවට යන්න පහසු වෙන්න කඳානෙන් ගෙයක් කුලියට අරන් පදිංචි වෙලා ඉන්නවා. මගේ බිරිය ගීතා කුමාරි මාත් එක්ක කුරුණෑගල මල්කඩුවාවේ ජීවත් වෙනවා. කුමාරි කොළඹ කෙනෙක්. මම කුරුණෑගල. අපි දෙන්නා එකතු වුණෙත් ආදර සම්බන්ධයකින්. එයා ඒ කාලේ ගුරුවරියක්. දරුවන්ගේ වැඩ නිසාම ගුරු වාත්තීයෙන් ඉවත් වුණා. මම මොන චරිත රඟපෑවත් කුමාරියි මායි අදටත් ආදරයෙන් බැඳිච්ච කුරුලු ජෝඩුවක්. දරුවෝ දෙන්න අද ඉන්න තැන දැක්කම හරිම සතුටුයි. මට හෙට මැරුණත් කමක් නෑ. මගෙන් වෙන්න ඕනෑ යුතුකම් මේ වෙන කොටත් ඉටු වෙලා ඉවරයි.

* ඔබට කතා කරන්න දුරකතන අංකය මතක් කළොත්?

071-6318633.