වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

මට ආයේ විකිණෙන්න ඕන නෑ

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්

‘කාට හරි කෙනෙකුගේ ජීවිතෙන් හැම දේම හෙළි කරන්න යන්න ඕන නෑ. මානවී, මට එහෙම දැන ගන්න ඕන කමක් නෑ. අපි කාටත් රහස් ඇති. ඒ රහස් එහෙමම තිබුණාවේ’

රවිඳු පැවසුවේය.ඔහුගේ ආලිංගනයේ වෙළී සිටීම ගත සිත පුබුදු වන්නකැයි මානවී ට වැටහිණ. මානවී ගේ ඇස් වල කඳුළු පිරෙනු රවිඳු දුටුවේ එවිටය. වීරප්පෙරුම සමු ගත්තේ මානවී ගේ ජීවිතයට කිව නොහැකි අඩුවක් තබා ගනිමිනි. ඔහු ඇසුරු කළ කාලය තුළ තම ජීවිතයට ලැබුණු දේ ගැන මානවී සිතා බැලුවාය.

ඒ සම්බන්ධව ඇය අනේක විධ අපහාස ද ලැබුවාය. අන්තිමට රට වට කොට වැට බැන්දත් කට වැට කොට වැට බැඳීය නොහැකියැයි සිතා ඇය සිතට එඩිය ගත්තාය.

‘අපේ සීයා වැඩියෙන්ම සන්තොසෙන් ඉඳල තියෙන්නේ අන්තිම කාලේ’

නයනතාරා මානවීට පැවසුවාය.ඔහු සමග අසම්මත ඇසුරක් පැවැතිය ද මේ තරුණිය තමා සමග උරණ නොවීම පිළිබද මානවී ට පුදුම සිතිනි. ඇය නිතරම මානවී හමුවට ආවාය.

‘එහෙම කොහොමද කියන්නේ’

‘මට සීයාගේ ඩයරීස් බැලුවා. ඒව යේ ඔක්කොම විස්තර තියෙනවා.’

‘මොනවද මං ගැන ලියලා තියෙන්නේ.’

‘සීයා ඔයා ගැන විතරක් නෙවෙයි දේශපාලනය ගැන රට ගැන බොහොම දේවල් ලියලා තියෙනවා.’

‘මා ගැන මොනව ද ලියලා තියෙන්නේ’

තමා ගැන ලියැවී ඇති දේ පිළිබඳ සැලකිලිමත් වෙමින් මානවී යළිත් ඇසුවාය.

‘බය වෙන්න එපා. ඔයා ගැන ලියලා තියෙන දේවල් හරි වටිනවා.වෙන රටක නම් මේ පොත් පබ්ලිෂ් කරනවා. සීයා ඩයරි ලියන්න පටන් අරන් තියෙන්නේ අවුරුදු දහයේ ඉඳන්.’

බොහෝ හැන්දෑ යාමයන්ගේ දිගින් දිගට ලියන්නට පටන් ගන්නා වීරප්පෙරුම මානවී ට සිහියට නගා ගත්තේය. වීරප්පෙරුම ගේ ලිපි සතිඅන්ත සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් දෙකකම පළ වූයේය. ඔහු කියවා ගෙන යන විට මානවී ඒවා පරිගණක අක්ෂර වලට හැරවූවාය. එයින් ඇගේ සිංහල මෙන්ම ඉංග්‍රිසි බසට ද ලොකු රුකුලක් වන බව වීරප්පෙරුම පැවසුවේය. මානවී කිසිත් නොකියා කාරියේ යෙදිණ.පරිගණකය ඉගෙන ගන්නට බල කළේ ද ඔහුය.

‘ඔයා ඔය පොත් පබ්ලිෂ් කළොත් මට මේ රටෙත් ඉන්න බැරි වෙයි.’

මානවී ගේ බසට නයනතාරා මහ හඬින් සිනාසුනාය.

‘අපේ සීයා මොන තරම් ලවර් කෙනෙක් ද කියලා හිතෙන්නේ ඒවා කියවන කොට. හැබැයි ඔයා දවසක් කිව්ව තනිකම ඒ හැම දේකම තියෙනවා.’

මානවී සිටියේ ඇගේ නිවහනේය. නයනතාරා එහි අසුනකට බර දී කතා කළාය.මානවී විසින් පිළියෙළ කර දුන් තේ කෝප්පයක් ඇය අත විය.

‘ඔයා තමා අන්තිමට ජීවිතය.මානවී මට තේරෙනවා. ඔයා ගේ චරිතේ මාත් ඉන්නවා අපේ අම්මාත් ඉන්නවා අපේ ආච්චිත් ඉන්නවා. ඒ ඔක්කොම චරිත ඔයා කරලා තියෙනවා’

නයනතාරා සුසුමක් හෙලුවාය.

මානවී කදුළු සඟවා ගන්නට තැත් කළාය. සියල්ලටම පොදු ගැහැනිය තමා බවට පත්ව ඇත්තේය. එයින් එහා තමා කවු ද

‘අපේ තාත්තා කථා කළා.ඒ ගොල්ල එනවාලු.’

නයනතාරා අලුත් ආරංචියක් පැවසුවාය.

‘එතකොට ඔයාත් යනවා ?

‘ඔව්.තාත්තාලා එන්නේ මෙහේ තියෙන ප්‍රොපටීස් විකුනන්න බලන්න. දැන් ඉතින් ඒව බලන්න එන්න වෙන එකක් නෑ’

මානවී කිසිත් නොපැවසුවාය.නයනතාරා ගේ හැසිරීම ජීවිතය පිළිබඳ බරක් පතලක් නැති එකියක් ගානය. එහෙත් ඇයගේ සිතුවිලි එයට වඩා වෙනස්ය.

මානවීට උඩ බැලිණ. මකුළුවෙකු වියන් බඳීමින් සිටියි. තව ටිකකින් එයට සතෙක් ගොදුරු වනු ඇත. අද පෝය දිනයයි. මකුළු දැල කැඩීම හෙටට කල් දැමිය යුතුය මානවී ඒ වෙලාවේ සිතා ගත්තාය.

‘මානවී ගේ අලුත් ප්‍රෝගෑම් මොනවාද’

නයනතාරා ඇසුවාය.

‘මම ආපහු ගමට යනවා.’

‘මේ වැඩ කටයුතු?’

‘දැන් මේ දවස් වල තියෙන්නේ ප්‍රොගෑම් එක විතරයි.අලුත් ප්‍රඩක්ෂන් එකක් හිතුවත් මොකටද කියලා හිතුනා.’

‘ඉතින් ඔයාට සල්ලි’

‘මොකටද ? මං සල්ලි නැති කාලේත් ජීවත් වුණානේ’

මානවී පවසන්නේ අමනාපයෙන් මෙනැයි නයනතාරා ට සිතිණ.සීයා වෙනුවෙන් ඇයට යම් උදව්වක් කළ යුතුය. එහෙත් ඒ ගැන පැවසීමට ඇය ඉක්මන් නොවුනාය.

නයනතාරා ඇතුලු පිරිස තවත් සති කිහිපයකින් පසු යළි විදෙස් ගත වූවාය. නයනතාරා සමුගත් දවසේ මානවී තනිවම හැඩුවාය. එය කුමන කාරණයක් නිසාවෙන්දැයි ඇයම නොදන්නීය. ටෙලිවිෂන් වැඩ සටහන නිමා කර ආපසු එන ඇය වීරප්පෙරුම ගේ නිවහන අසලින් රථය පැදවූවාය. මහල් නිවාස සංකීර්ණයේ මුදුනත දෙස බැලූ මුල් දවසේ මෙන්ම තරුවක් ඉහලින් පායා ඇති වග ඇය දුටුවාය.

මානවී කැමති නම් එහේ ඉන්න. අපි ගමේ දේවල් වික්කත් මේක විකුනන්නේ නෑ. හදිසියේ ලංකාවට ආවොත් ඉන්න තැනක් තියෙනවා නේ

නයනතාරා පැවසුවාය. එහෙත් එහි නොයන්නට මානවී තීරණය කළාය. නිරංජන් කාටවත් නොකියා විදෙස් ගත වූ පසු තොරතුරක් නැත. ඔහු ගැන දැන් කටකතා එමටය. ඔහු ගේ අනුදැනුම මත ලැබුණු නිවසින් පිටව යායුතුයැයි ඇය සිතා ගත්තාය. හදිසියෙන් ගමෙන් ආ විලාසයෙන්ම හදිසියෙන්ම ගමට යා යුතුය. කටකතා ගලා එනු ඇත.එයට බිය විය යුතු නැත. නිවසට ගිය ඇය තම ඇඳුම් පැළඳුම් අහුරන්නට පටන් ගත්තාය. ගමේ නිවස දැන් සියලු ආකාරයෙන් අංග සම්පූර්ණයය.

චාමර නිර්මාණය කරනු ලබන මුල්ම ටෙලි වෘතාන්තයේ රඟපාන්නට ලැබුණු ආරාධනාව ගැන යළි සිතා බැලිය යුතුය.

මේ නිවසින් ගෙනියන්නට වෙනත් කිසිවක් හෝ නැත. පසුවදා උදේ තම මෝටර් රථයෙන් ම ගමට යා හැක. මානවී බෑගය වසා දමත්ම කවුදෝ දොරට තට්ටු කළේය. මේ රාත්‍රියේ කවුරුදැ යි බලන්නට ඇය එහි ගියාය. දොර ඉදිරිපිට තිබුණ කැමරාව අමුත්තා පෙන්වා දුන්නේය.රවිඳු එහි සිටගෙන සිටීයේය.මානවී දොර ඇරියාය.

‘මේ රාත්‍රියේ කරදර කළාට සමාවන්න.’

රවිඳු ගෙතුළට පිවිසෙමින් පැවසුවේය.

‘පහුගිය දවස් ටිකේ දැක්කේ නෑ’

‘ඕන කමක් තිබුණා නම් කෝල් එකක් දෙන්න තිබ්බා නේ’

ඔහු නෝක්කාඩු කීවේය.

‘කෝල් කරන්න හිටියේ.ඔයාගේ ෆෝන් වල ලයින් බිසි’

‘මම ඔයාගේ ගමට ගිහින් හිටියා. මේ එන ගමන්.’

රවිඳු හෙළි කළේය.

‘මන් දන්නෙත් නෑ.එහේ මොක ද කළේ?’

‘මම කොල්ලොත් එක්ක වැඩ කරන්න ට්‍රයි කළා. අපි ෆිල්ම් ගැන කතා කළා. ඩ්‍රාමා ගැන කථා කළා’

‘කතා කරල විතරක් මදි’

‘ඔව්.ඉස්සරල මිනිස්සුන්ගේ උනන්දුව බලන්න ඕන’

‘උනන්දුව තිබ්බද?’

‘තිබ්බා.ඉතාම ඉහල උනන්දුවක්.’

‘නැවතුනේ.?’

‘මං අනුරාධපුරේ ඉඳන් ට්‍රැවල් කළා.මං ඔයාගේ ගෙදරත් ගියා.’

‘මට කිව්වේත් නෑ’

‘කියා කියා කරන වැඩ නෙවේ. මං ගියේ අවසරයක් ගන්න’

‘මොකක් ගැන ද ?’

‘ඔයා ගැන’

‘මා ගැන’

‘ඔව්.ඔයාගේ අම්මා ගෙන් අවසර ගෙත්තා ඔයාව බඳීන්න කියලා’

මානවී මොහොතක් ගොලු ව සිටියාය.

‘ඇයි ඔයා එහෙම ඇහැව්වේ.?’

‘නෑ. මම දැන සිටියා මට ගැලපෙන හොදම කෙනා ඔයා කියලා’

‘ඔයා මම ගැන මොනවද දන්නේ’

‘මම හැමදේම දන්නවා මානවී. ඒ එකක්වත් නෙවේ. ඔයා මහ පොලවේ පය ගහල ඉන්න හදන උත්සාහ වන්ත ගැහැනියක්. අපි කතා කරපු කාලයේ මම දැන ගත්තා ඔයා වගේ තමා මාත් ඒ වෙලාවේ තමා තීරණ ගන්නේ.’

‘ඉතින් මේවා එහෙම තීරණ කළෑකි ද’

‘මොකෝ බැරි. කැමතියි විතරක් කියන්න

රවිඳු ගේ විලාසයට මානවී සිනාසෙන්නට පටන් ගත්තාය.

*************************

මේ කතාව ලියූ ලේඛකයාගේ පසුවදන

එයින් සති කිහිපයක් එළැඹෙත්ම මානවී රවිඳු අතිනත ගන්නා පුවත සමාජ වෙබ් අඩවි වල හොඳ ඕපාදූපයක් විය. ඇගේ පුවත්පත් මිතුරන් ඒ ගැන විමසුව ද නිසි පිළිතුරක් නොදී සිටින්නට තරම් ඇය ප්‍රවේශම් වූවාය. විවාහ මංගල සමාගමක හිමි කරු වකු ඇයට කතා කළේ නොමිළයේ ම උත්සවය සම්පාදනය කරන්නටය. ඡායාරූප ශිල්පී හිතවතුන් නොමිළයේ ඡායාරූප ලබා දෙන බව පැවසුවාය. ඔක්කෝටම වඩා ඇය ගේ විලාසිතා නර්මාණය කළ වැල්ලවත්ත රෙදි සාප්පු හිමිකරු ගෙන් බේරුමක් නැතිවිය.මගුල් සාරිය නොමිළයේ ලබා දෙන්නටය. තරු පහේ හෝටලයක සාමාන්‍යාධිකාරිවරයකු දවස් දෙකක් කතා කොට බැරිම තැන ඇය සොයා ආවාය.

‘අපි කිසිම උත්සවයක් ගන්නේ නෑ. පවුලේ සාමාජිකයන් විතරයි’

මානවී බැරි තැන කියා සිටියාය. රවිඳු සිය ආචාර්ය උපාධිය නිම කළ යුතුයැයි පවසා මානවී සමග විදෙස් ගත වන්නට තීරණය කළේය.

‘ඇයි කාටවත් ඒ ගැන කියන්නේ නැත්තේ.පරණ පෙම් කතන්දර එළියට එයි කියල ද?’

පුවත්පත් කලාවේදියක් වූ ප්‍රසාද් බැරිම තැන ඇගෙන් කෙලින්ම ඇසුවේය.

‘ඒවා හංගන්න බෑ.මිනිස්සු කතන්දර අහන්න ආස කරන කම් කතා කියාවි.කොහොමටත් පරණ කතා කියවා කියවා ඉන්න මිනිස්සුන්ට වෙලා නෑ. ප්‍රසාද්. මිනිස්සු අලුත්ඕපාදූප ඉක්මනින් හොයා ගනියි. අලුත් අය ගැන’

මානවී කෙලින්ම කියා සිටියාය.

‘එහෙනම් හංගන්නේ’

‘හංගන්නේ නැ. හැබැයි ඔය කියන ස්පොන්සර්ලා ආවාම මගේ වෙඩින් එක ටීවී එකෙත් යනවා .ඊට පස්සේ මේ රටේ සමහරු ඒ බලලා මං අන්දපු තැනින් අන්දා ගෙන එතැනින් සාරි අරගෙන ඒ හෝටලේ මගුල් කන්න ඉඩ කඩම් උකස් කරාවි.ඒ වගේ ඔක්කොම ස්පොන්සර්ලා මාව ගානට විකුනාවි.’

‘ඉතින් මෙච්චර ඇඩ් වල ටෙලි නාට්‍ය වල වුනෙත් ඒකමනේ ද.’

‘ඔව්.ඒ වුනාට මට ආයේ විකිනෙන්න ඕන කමක් නෑ.මම ආයේ විකිනෙන්නේ නෑ’

ඈ කතාව නිම කළාය.

මානවී දැන් විදෙස් රටකය. ඇය ඉඳ හිට මට කතා කොට දුක සැප විමසන්නීය. අලුත් වලව්ව නම් ඇගේ ටෙලි නාට්‍යය නිෂ්පාදනයේ සිට ඇය අපේ පවුලේ හිතවන්තියක ව සිටින්නිය. ඇගේ කතාව සරසවියට ලියන්නට මම ඉල්ලා සිටිය දී ඇය මගෙන් කළ එකම ඉල්ලීම හංගන්න දෙයක් නෑ. සර්. ඔක්කොම ලියන්න. පමණකි. ඉදින් එය මම වසරක් පුරා ඔබට ලියා නිමකළෙමි.