වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී

සාදය මාරයි සල්ලි හමාරයි අවසන් දර්ශනය කොළඹ දී

පසුගිය වසර දෙකක කාලයක දී දර්ශන 150 ක් ඉක්ම වූ ධර්මප්‍රිය ඩයස්ගේ ‘සාදය මාරයි සල්ලි හමාරයි’ වේදිකා නාට්‍යයේ විරාමයකට පෙර අවසන් දර්ශනය මේ මස 20 වැනිදා කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගතවෙයි.

මෙහි ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක, දයාදේව එදිරිසිංහ, ධර්මප්‍රිය ඩයස්, අනුරාධා පෙරේරා, ආශෝක සම්පත්, අනුරාධ මල්ලවාරච්චි, ප්‍රේම්ජයන්ත කපුගේ රංගනයෙන් දායක වෙති. අංග රචනයෙන් ප්‍රේම්ජයන්ත කපුගේත්, වේදිකා පරිපාලනයෙන් අරුණ ජයසේනත්, අනුවර්තනයෙන් සමන් පුෂ්ප ලියනගේත්, වේදිකා පසුතල නිර්මාණයෙන් වසන්ත රත්නායකත්, රංග වස්ත්‍ර නිර්මාණයෙන් ගිහාන් ප්‍රනාන්දුත්, රංගාලෝක නිර්මාණයෙන් හා රේඛීය නිෂ්පාදනයෙන් රංග සමරකෝන් ද මේ වේදිකා නාට්‍යය සදහා සහය වෙති. මෙහි නිෂ්පාදනය ප්‍රියංකර ද සිල්වාගෙනි.


සිකියුරිටි සින්න තම්බි ට 50යි

අශෝක සෙනරත් මුදලිගේ අධ්‍යක්ෂණයෙන් හා රචනයෙන්, නිෂ්පාදනයෙන් වේදිකා ගතවන ‘සිකියුරිටි සින්න තම්බි’ පනස් වැනි දර්ශනය මේ මස 20 වැනිදා ලුම්බිණි රඟහලේ දී වේදිකා ගතවෙයි.

මෙහි රංගනයෙන් දීපාල් සිල්වා, ජීවන් හඳුන්නෙත්ති, මෙලනි අශෝකා, සුරංගි නිලූෂිණී, ගාමිණී කුමාර, ලක්ෂ්මන් ආරච්චි, ඒ.ජේ. කරුණාරත්න, සංඛ රණසිංහ යන නළු - නිළියෝ දායක වෙති. වේශ නිරූපණයෙන් හෙන්රි ප්‍රේමරත්නත්, සංගීතයෙන් රමේෂ් ජයසිංහ යන ශිල්පීහු මේ නාට්‍යයට දායක වෙති.


ලෝරන්ස්ගේ මනමාලි 19දා

සවිබල කණ්ඩායම වාර්ෂිකව සංවිධානය කරනු ලබන වේදිකා නාට්‍යය රංගගත කිරීම වෙනුවෙන් මෙවර සුජීව ප්‍රියාල් යද්දෙහිගේ නාට්‍යය නිර්මාණයක් වන ‘ලෝරන්ස්ගේ මනමාලි‘ වේදිකා නාට්‍යය නොවැම්බර් 19 වැනිදා සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී වේදිකාගත කෙරේ.


ක්වෝවාඩිස් ගුවන් විදුලියේ

නොබෙල් ත්‍යාගලාභී හෙන්රික් ෂෙන්කිවික්ස් ගේ 'ක්වෝවාඩිස්' නවකතාව ඇසුරෙන් රෝහණ කස්තුරි රචනා කරන ගුවන් විදුලි නාට්‍යය සතියේ සෑම සිකුරාදා දිනකම ගුවන් විදුලියේ පළමුවැනි සේවයෙන් රාත්‍රී 9.30 ට ප්‍රචාරය කෙරේ. ලාල් සරත් කුමාර, නාලිනි පියසීලි ජයලත්, හිලේරියන් පෙරේරා ප්‍රමුඛ නළු නිළියන් හඬකවන මෙය වජිර ඉන්දික කරුණාරත්නගේ නිෂ්පාදනයකි.