වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




ගුරු ජීවිතයේ අත්දැකීම් ඇසුරින් ‘කාව්‍යා’

ගුරු ජීවිතයේ අත්දැකීම් ඇසුරින් ‘කාව්‍යා’

මිථිලා රසාදරී වික්‍රමසිංහ විසින් රචිත ‘කාව්‍යා’ සඳකඩ පහන ප්‍රකාශනයක් ලෙසින් නිකුත්වී ඇත. නාගරික මවක මුහුණ දෙන සිදුවීම් පෙළක් ලෙසින් ‘කාව්‍යා’ රචනා වී ඇත්තේ ගුරුවරියක ලෙසින් මිථිලා රසාදරී වික්‍රමසිංහ ලද අත්දැකීම්ද එකතුවෙනි.

හම්බන්තොට රිටිගහයාය විදුහලෙන් සිය ගුරු වෘත්තිය ආරම්භ කළ ඇය තිස්හතර වසරක ගුරු ජීවිතයෙන් විශ්‍රාම ගත්තේ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙසිනි. කුඩා වියේ පටන් කලා සාහිත්‍යයට විශේෂ ඇල්මක් දැක්වූ මිථිලා රසාදරී වික්‍රමසිංහ විසින් මීට පෙර ‘ආච්චි අම්මා’ නමින් කෙටිකතා සංග්‍රහයක් එළිදක්වා ඇත.

ඇය හම්බන්තොටදී ලද ගුරුජීවිතයේ අත්දැකීම් සහ මෙන්ම පරිපාලන නිලධාරියක ලෙසින් ලද අත්දැකීම් ඇසුරින් තවත් නවකතා කෘතියක් සහ ළමයින් වෙනුවෙන් ‘රාබු ගෙඩිය’ නමින් ළමා කෘතියක්ද එළි දැක්වීමට නියමිතය.


සංගීත චිකිත්සාව

‘සංගීත චිකිත්සාව’ කෘතිය තරංග සමරවික්‍රමගේ ය. වර්තමානයේ පුද්ගලයාට සුවබර දිවියකට හා මානව සමාජයට සංගීත චිකිස්තාවේ ඇති වැදගත්කම කතුවරයා මේ කෘතිය ඔස්සේ මනාව හෙළිදරව් කරයි. එමෙන්ම මානව සමාජයකට සංගීත චිකිස්තාවේ ඇති වැදගත්කම, එහි සංකල්පය, ව්‍යවහාරික ශිල්පීය හා ක්‍රමවේදීය මාන ඔස්සේ ඉදිරිපත් කරමින් වර්තමාන අවිවේකී, අතිධාවනකාරී මිනිසාගේ භාව චිත්තධ්‍යානයට සංගීත චිකිත්සාව යොදා ගැනීමේ හැකියාව ඉතා මැනවින් මේ කෘතිය මඟින් පෙන්වා දෙන්නේ ය. මේ කෘතිය සරසවි ප්‍රකාශනයකි.


සොක්‍රටීස් සමඟ සංවාදයක්

‘සොක්‍රටීස් සමඟ සංවාදයක්’ කෘතිය සිසිර කුමාර බණ්ඩාරගේ අනුවර්තනයකි. සත්‍යවාදීත්වය, නිදහස හා මානව දයාව වෙනුවෙන් සොක්‍රටීස් කළ අරගලයට ඔහු ලද තිළිණය වූයේ මරණයයි. සොක්‍රටීස්ගේ අවසන් දින කිහිපය තුළ සිදුවන සිදුවීම් සමුදායක් අලළා එඩ්වඩ් රද්සින්ස්කි විසින් රචිත සංවාදයක් 1975 වසරේ පළමු වරට මොස්කොව් නුවර මායාකෝව්ස්කි නාට්‍ය රඟහලේ වේදිකා ගතවිය. එදා සිට දෙස් විදෙස් පැසසුමට හා සම්මාන ලබමින් මේ නාට්‍යය රුසියාවේ සහ වෙනත් රටවල අදත් ප්‍රදර්ශනය වෙමින් පවතී. මේ කෘතිය සරසවි ප්‍රකාශනයකි.


මම දැන ගතිමි

එඩ්වඩ් මල්ලවආරච්චිගේ නවතම නවකතාව ‘මම දැන ගතිමි’ පසුගියදා එළිදැක්විණි. පවුලක් වටා ගෙතුණු ‘මම දැන ගතිමි නවකතාව මල්ලවආරච්චි ප්‍රකාශනයකි.


උඩරට රාජධානියේ සැඟවුණු විරු චරිත 01

තිස්ස මාලගමුවගේ ‘උඩරට රාජධානියේ සැඟවුණු විරු චරිත 01’ කෘතිය කතුවරයා සති අන්ත පුවත්පත් රාශියකට ලියන ලද ලිපිවල එකතුවකි. එහි උඩරට ඉතිහාසයේ සැඟවුණු විරු චරිත තිහක් මේ කෘතිය ඔස්සේ ගෙනහැර දක්වයි. උඩරට ගම්දනව් අතරේ සැරිසරමින් එක්රැස් කර ගත් දුලබ තොරතුරුවලින් සමන්විත මේ ලිපි ඇතුළත් කෘතිය සාරගර්භ කෘතියකි. මේ කෘතිය නිපුන් පොතකි.