වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




කියුට් චරිත මට ලැබෙන්නේ නෑ

කියුට් චරිත මට ලැබෙන්නේ නෑ

යාල්දේවිට නැඟුණු නිරංජනී

කෝ මාලි කිං එනකන් මම මඟ බලා ඉන්නවා

බොහෝ නිර්මාණකරුවන් මාව දමිල නිළියක් හැටියට කොටු කරනවා. මං ඒකට කැමැති නැහැ. මට හොඳට සිංහල පුළුවන්. මං ආසයි සිංහල චරිත කරන්න.

නිරංජනි ශන්මුගරාජා නැමැති නව පරපුරේ රංගන ශිල්පිණිය හඬ අවදි කළේ එහෙම. මේ දිනවලදී සමීර හසුන්ගේ යාල්දේවි ටෙලි සිතුවමේ අභිරාමි ලෙසින් නිරංජනි ඔබ හමුවට එනවා. කලකට ඉතදී ඉනිඅවන් සිනමාපටය ඔස්සේ ඇය විදහාලූ රංගන හැකියාව කෙළවර වුණේ හොඳම නිළිය හැටියට අභිසෙස් ලබමින්.

* නිරංජනි ඔබට ලැබෙන්නේ අභියෝගාත්මක චරිත. අභිරාමිත් එහෙමයි?

මං දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. මට ලැබෙන බහුතරයක් චරිත තුළදී දැනෙන්න යමක් කරන්න තිබුණා. ඇතැම් චරිත කර්කෂයි. ඒ වාගේම ඇතැම් ඒවා සැබවින්ම අභියෝගාත්මකයි. අර නිතර දෙවේලේ ටී. වී. එකේ පෙනෙන කියුට් චරිත මට ලැබෙන්නේ නැහැ.

* අභිරාමිව කොහොමද ඔබට ලැබෙන්නේ?

අධ්‍යක්ෂවරයාට ඒ චරිතයට මාවම ඕනෑ කරලා තිබුණා. ඒක ඇත්තටම මටම ලියා තිබුණු චරිතයක්. ඒ වගේම අධ්‍යක්ෂවරයා අභිරාමි ගැන කියද්දී ආස හිතුණා. මං හිතින් චරිතය ගොඩ නඟා ගත්තා.

* අභිරාමිට පණ පොවන ගමන් ඔබට නින්ද ගියා කියන්නේ ඇත්තද?

ඒක වුණේ මෙහෙමයි. මට පොඩි ඔළුවෙ කැක්කුමක් තියෙනවා. අව්වේ ගිය වෙලාවක ඒක මට ආවා. සාරංගත් එක්ක තමයි මට එදින රඟපාන්න තිබුණේ. ඔළුව කැක්කුමත් එක්ක රඟපාන ගමන් මං පැත්තකට වැටුණා. මට එහෙම්මම නින්ද ගිහින්. අන්තිමේ සාරංග ඉන්න පැත්ත විතරක් ෂූට් කළා.

* ජනප්‍රිය ගණයේ මෙගා නාට්‍යවල ඔබ නැත්තේ ඇයි?

මෙගා කියන්නේ මට වෙනමම දෙයක්. මුල එක කතාවක්, මැද තව කතාවක්, අග තවත් කතාවක්. අන්න ඒවා තමයි මගේ මතයට අනුව මෙගා. එහෙම අපිළිවෙලට චරිත කරන්න ආසා නැහැ මං. අනික දඩි බිඩියේ ෂූටිං මට බෑ.

* නමුත් යාල්දේවි මෙගා නාට්‍යයක්?

ඒක එහෙම නැහැ. හොඳ ආරම්භයක් සහ නිශ්චිත අවසානයක් තියෙනවා. යාල්දේවි තමයි මගේ ප්‍රථම මෙගා නාට්‍යය.

* යාල් දේවි පිටපත කියවද්දී අභිරාමිව ඔබට මැවුණාද?

මං යාල්දේවි පිටපත කියෙව්වේ නැහැනෙ. මං අර කලින් කිව්වේ අභිරාමිගේ චරිතය ගොඩ නඟා ගත්තේ අධ්‍යක්ෂවරයා කියපු දේවල්වලින්.

* ඇයි ඔබ පිටපත් කියවන්නේ නැත්තේ?

ඒක මගේ හැටි.

* පිටපතක් කියවන්නේ නැතුව චරිතයක් ගොඩ නඟාගන්න පුළුවන්ද?

සාමාන්‍යයෙන් චරිතයක් ඉම්පෲ කරගන්න නම් පිටපතක් බලන්න ඕනෑ. ඒක මං පිළිගන්නවා. ඒත් මම වෙනස්. මං පිටපත කියවන්නේ නැහැ. ඉනිඅවන් චිත්‍රපටයේ ඉඳලා එහෙම තමයි.

* පිටපත නොකියවන ඔබ කොහොමද සම්මාන ගත්තේ?

සම්මාන? අනේ මන්දා මං මට ලැබෙන චරිතත් එක්ක ජිවත් වෙනවා. එච්චරයි. හැබැයි මං මේ කියන දේවල් අහලා අලුත් කවුරු හරි පිටපත නොකියවා චරිත බාරගන්න එක වැරැදියි. මං කිව්වේ මගේ හැටි.

* ඔබ රංගනය හදාරනවාද?

ඔව්. මං ඇකඩමියකින් එහෙම නෙවෙයි රංගනය ඉගෙන ගන්නේ. තනිකරම මං රංගනය හැදෑරුවේ අත්දැකීමෙන්. අදත් එහෙමයි, හෙටත් එහෙමයි.

* ඔබගේ වෘත්තීය රංගනයද?

නැහැ අයියේ. මං වෘත්තියෙන් නිවේදිකාවක්. නේත්‍රා ටී. වී. සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩසටහන්වල තමයි මං නිවේදන කටයුතු කරන්නේ. ඒ අතරතුර රඟපානවා. විවේකයක් නැති තරමට වැඩත් ලැබෙනවා.

* දමිල රංගන ශිල්පිණියකට මෙරට මොන වගේ තැනක්ද තියෙන්නේ?

ඉතාමත් සතුටුදායකයි. මට හුඟක් චාන්සස් අරන් දුන්නේ සිංහල අය. විශේෂයෙන්ම රංගන කටයුතුවලදී ඒ අය මගේ දක්ෂතා හඳුනාගෙන ඉදිරියට යන්න මාවත විවර කරලා දුන්නා. අපේ කලා ඉතිහාසය ගැන හොයා බලද්දී දමිල නිර්මාණකරුවන්ගෙන් හොඳ දායකත්වයක් ලැබිලා තියෙනවා. මේ පරපුරේ අපි තමයි එහි කොටස්කාරයෝ.

* මේ කතාව ආරම්භයේදී ඔබ කිව්වා ඔබව එකම විදිහේ චරිතවලට කොටු කරලා කියලා?

එකම විදිහේ චරිත නෙවෙයි මට ලැබෙන්නේ දමිල චරිත කියලා මං කිව්වේ. සිංහල අය දමිල චරිත රඟපානවා වගේම මටත් පුළුවන් සිංහල චරිත රඟපාන්න. මට එහෙම අවස්ථා ලැබෙන්නේ නැහැ. ඒකයි කිව්වේ.

* නිරංජනි කොළඹ කෙනෙක් නෙවෙයි නේද?

ඔව්. මගේ ගම නුවර.

* කවදද අන්තිමේට ගමේ ගියේ?

මතකත් නෑ අයියා. එච්චරමට වැඩ.

* නිරංජනි ඉන්දියාවේ ඉපදුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

නෑ නෑ නෑ... ලංකාව හොඳයි.

* ඒත් අපේ රටට වැඩිය ගුණාත්මක චිත්‍රපට ඉන්දියාවේ හැදෙනවානේ?

ඒ වුණාට ලංකාවේ කලා ක්ෂේත්‍රය තමා හොඳ. ලංකාවේ නිර්මාණ ලස්සනයි. මිනිස්සුත් හොඳයි. ඒ වගේම ඉන්දියාව කොච්චර නිර්මාණ කළත් අප් රටේ නිර්මාණ තරම් විදෙස් උලෙළයන්වලදී සම්මානයට පාත්‍ර වෙලා නැහැ.

* මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?

දිගු කලකට පසුව කිං රත්නම් නම් වූ දමිල චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපටයක් කළා. ඒකේ නම කෝ මාලි කිං. මං එහි ප්‍රධාන චරිතයක් මැව්වා. එය එනතුරු බලාගෙන ඉන්නවා.